free stats

මව්කිරි දීමේ ක්‍රියාවලිය පිළිබඳව දැනුවත් වෙමුපියයුරට යොමු කරන ලද දරුවා කිරි උරා බීම ආරම්භ කරන ආකාරය පසුගිය කලාපය හරහා අපි සකච්ඡා කළා. පළමු විනාඩි දහය තුළදී ළදරුවා ඔහුට අවශ්‍ය කරන කිරි ප්‍රමාණයෙන් 85% ක් පමණ උරා බීමට සමත් වේ. මේ අවස්ථාවේදී දරුවා වේගයෙන් සහ ගැඹුරින් කිරි උරා බීම සිදු කරන බව මවට දැනෙයි. ඒ සමගම කිරි ගිලින බව මවට ඇසෙයි. ස්ථීර වශයෙන්ම කාල සීමාව තීරණය කළ නොහැකි වුවත් දළ වශයෙන් ගත් කළ විනාඩි 15-20 පමණ කාලයක් පළමු පියයුරෙන් කිරි උරා බීමට ඉඩ සැලසිය යුතුවේ.

දරුවා කිරි උරන අතරතුර නින්දට වැටෙයි නම් එයින් අදහස් කරනුයේ ආරම්භයේදී මෙන් කටට කිරි ගලා නොඑන බවයි. මෙය සිදු වන්නේ මව නොදැනුවත්වම දරුවා ඇරියෝලාවෙන් පිටතට පැමිණ තන පුඩුව උරමින් පසුවන විටයි. එවිට කටට ගලා එන කිරි ප්‍රමාණය අල්ප නිසා දරුවාට නින්ද යයි. අනිත් අවස්ථාව වන්නේ පියයුරේ කිරි ප්‍රමාණය ආරම්භ අවස්ථාවට සාපේක්‍ෂව අඩු වී තිබීමයි. දරුවා කිරි උරා බොන ආකාරය පිළිබඳව මව අවධානයෙන් පසු වුවහොත් මෙම අවස්ථාව මවට පහසුවෙන් හඳුනාගත හැක. මෙවිට දරුවා අනිත් පියයුරට මාරු කිරීම කළ යුතු වේ. මීට ප්‍රථම දරුවා කිරිත් සමග ගිලින ලද වාතය (ගුඩුස්) යැවීම කළහොත් දරුවාගේ නිදිමත ගතියද නැති වී යයි. සෑම කිරි වේලකදීම දෙවන පියයුරද දරුවාට දිය යුතුයි.

සමහරවිට දරුවා පළමු පියයුර තරම්ම කාලයක් දෙවන පියයුර උරන්නේ නැත. දරුවාගේ බඩ පිරී ඇත්නම් එම පියයුර ස්වල්ප වේලාවකින් අතහරියි. සමහරවිට දරුවා ගිලින ලද වාතය නිසි පරිදි ඉවත් නොකළහොත් දරුවාගේ ආමාශයේ අපහසුතාවය නිසා කිරි බීම නැවැත් වීමට ඉඩ තිබේ. සමහරවිට දරුවා කිරි උරා බීම ආරම්භ කරයි. මෙහිදී මව මතක තබාගත යුතු වැදගත් කාරණයක් වන්නේ දරුවා ඉක්මණින් පළමු පියයුරෙන් දෙවන පියයුරට මාරු කිරීම නොකළ යුතු බවයි. ඒ මක්නිසාද කිවහොත් කිරි වේලක මුලට එන කිරිවල ජලය ප්‍රමාණය වැඩිය. මෙයද දරුවාට අත්‍යවශ්‍යය. දියවන විටමින් වර්ග ඇතුළු අනෙකුත් පෝෂ්‍ය පදාර්ථ බොහෝමයක් මෙම කොටසේද අඩංගු වේ. මේවා දරුවාගේ නිරෝගීමත් වර්ධනයට අවශ්‍ය වේ. පසුව ශ්‍රාවය වන කිරිවල ප්‍රෝටීන සහ මේදය වැඩි ප්‍රමාණයක් අඩංගු වේ.

මෙම කිරි දරුවාගේ මාංශ පේශී සහ මොළයේ වර්ධනයට උපකාරී වේ. දරුවාගේ බර වැඩි කිරීමට උපකාරී වේ. එම නිසා දරුවා දෙවන පියයුරට යොමු කිරීමට ප්‍රථම ඔහු නිසි පරිදි පළමු පියයුරෙන් කිරි උරා බීම සිදු කළාද යන්න ගැන මව සෑහීමකට පත් විය යුතුය.කිරි වේලක අවසානයේ දරුවා තෘප්තිමත්ව පසුවිය යුතුය. සුව පහසුවෙන් සිටිය යුතුයි. වේදනාවෙන්, අසහනකාරී ලෙස කෙඳිරිලි හඬ නඟමින් සිටින්නේ නම් බොහෝ විට දරුවාගේ ආමාශයේ ගිලුන වාතය රැඳී ඇති බවත් දරුවා මවට මේ බව පවසන්නේ ඇඟිලි කටේ දමාගෙන උරන්නට තැත් කිරීමත්, තවදුරටත් කිරි බීමට සොයන්නාක් මෙන් නොසන්සුන් බවත් පෙන්නුම් කිරීමත්ය. මව විසින් මේ බව වරදවා තේරුම් නොගත යුතුයි.

දරුවාට කිරි මදි යැයි සිතමින් නැවතත් පියයුරට යොමු කරනවාට වඩා මෙහිදී කළ යුත්තේ දරුවාගේ උදරයේ වම් පස ඉහළ කොටස පිම්බී ඇත්දැයි බැලීමයි. මෙවිට එම ස්ථානය සෙමෙන් පිරිමදිමින් ඇඟිලි තුඩුවලින් ඇතුළට තෙරපීමෙන් ගුඩුස් යැවීම සිදු කරන්න. මෙවිට දරුවා හිදුවා (වාඩිකර) හිස සහ පිටට මවගේ අත්ල තබා අධාර කරගෙන කොඳු නාරටිය කෙලින් තැබීම සිදු විය යුතුයි. තෙරපීම සිදු කළ යුතු වන්නේ වම් පස පර්ශූවලට මදක් උඩින්. ගුඩුස් යැවීමට තවත් පහසු ක්‍රමයක් වන්නේ මෙම කොටස මවගේ පියයුරට තද වන සේ දරුවා වඩාගෙන සිටීමයි. මෙවිට දරුවාගේ උදරයේ වම් පස මවගේ පියයුරට හේත්තු වන සේ දරුවා කෙලින් වඩාගෙන දරුවාගේ හිස සහ තට්ටම ප්‍රදේශයේ ආධාර කරගෙන සිටීමයි. මෙම ක්‍රම දෙකෙන් මවට පහසු සහ ආරක්‍ෂාකාරී යයි හැඟෙන ක්‍රමයක් භාවිත කළ හැක. වැදගත් කාරණය වන්නේ කුමන ක්‍රමයෙන් හෝ ගිලුන වාතය ඉවතට ගැනීමයි. කිරි උරා බොන අතර දරුවා පියයුරේ නින්දට වැටුනහොත් කිසි විටෙකත් දරුවා ඒ ආකාරයෙන්ම නිදි කරවීම සිදු නොකළ යුතුයි.

ගුඩුස් යැවීම නිසි ආකාරයෙන් සිදු නොකළහොත් දරුවා කිරි වමනය කිරීමට පුළුවන. දරුවාට කිරි හිරවීම, ස්වසන අවයව තුළට කිරි ඇතුළු වීම සිදුවිය හැක. මෙය ඉතා අවදානම් තත්ත්වයකි. මෙය ළදරු මරණවලට එක් හේතුවකි. දරුවා පැත්තකට හරවා හිසට කොට්ට නොතබා නිදි කරවිය යුතුයි. මෙයින් කිරි හිරවීම වළක්වා ගත හැකි වුවත් මෙය ගුඩුස් යැවීමේ ක්‍රමයක් නොවේ. ආමාශයේ ඇති වාතය ගුඩුස් යැවීමෙන් ඉවතට නොගතහොත් එම වාතය කිරිත් සමඟ බඩවැල් වලට ඇතුළු වීමට පටන් ගනී. මෙවිට බඩවැල් වාතය නිසා පිම්බේ. බබාගේ බඩ ඉදිරියට පිම්බී තිබෙනු දැකීමට පුළුවන. අතින් හිමින් බඩට තට්ටු කළහොත් රබානකට තට්ටු කරන විට මෙන් බොල් හඬක් නංවයි. වාතය පිරුණ විට බබාගේ බඩ රිදෙන නිසා දරුවා කිරි බීම ප්‍රතික්‍ෂේප කරයි. නිරතුරුවම කෙඳිරිලි හඬක් නංවයි.

දරුවාගේ ආමාශය ප්‍රදේශය පිරිමැදීම වේදනාවක් ගෙනදෙන බැවින් දරුවා හැඬීමට පටන් ගනී. දරුවාගේ උදරය ප්‍රදේශය මවගේ හෝ අන් අයකුගේ පපුවට තදවන සේ වඩාගත් විට හැඬීම නවත්වයි. මෙවිට කළ යුත්තේ හැඬීම නැවැත්වීමට දරුවා පියයුරට යොමු කිරීම නොව ගුඩුස් යැවීමයි. අවශ්‍ය නම් දොවාගත් කිරි ස්වල්පයක් හැන්දකින් හෝ කෝප්පයකින් පෙවීම ගුඩුස් එළියට ගැනීමට පහසු කරවයි. කිරි පෙවීමේ ක්‍රියාවලිය සම්පූර්ණ වන්නේ ගුඩුස් පිට කිරීමෙන් පසුවයි. කිරි වේල් දෙකක් අතර පරතරය අඩුම වශයෙන් පැය 2 සිට 2 ½ දක්වා කාලයක් වත් විය යුතුය. මේ අතර කාලයේදී දරුවා සුව පහසු ලෙස නිදාගනු ඇත.