වෛද්‍ය චන්ද්‍රානි ගුණසේකර
හොඳින් කිරි උරා බීම සඳහා දරුවා පියයුරට යොමු කරන්නේ කෙසේද ?
මව් කිරි දීමේ ක්‍රියාවලියට බිළිදා සහ මව යන දෙදෙනාම එකසේ දායකත්වය ලබාදෙනවා. ඒ සඳහා උපතේ සිටම දරුවා නියම ආකාරයෙන් කිරි උරා බීමට පුහුණු කරගත යුතුයි. මව රෝහලේ සිටින කාලය තුළ දී පුහුණුව ලත් සෞඛ්‍ය සේවා නිළධාරිනියකගේ උපකාරය ලබාගනිමින් බිළිඳා නිවැරදිව පියයුරට සම්බන්ධ කරගැනීමට පුහුණු වීමෙන් ඉදිරියේදී මුහුණපාන්නට සිදුවන ගැටලු බොහෝමයක් අවම කරගැනීමට හැකි වේ.සැමවිටම මව් කිරි දීමේ ක්‍රියාවලිය මවටත්, බබාටත් පහසු විය යුතුය. එනම් කිරි දෙනවිට මවට වේදනාවක් නැති වීමත්, කිරි දීමෙන් පසු බබා අපහසුතාවයකින් තොරව සිටිමත්ය දිනකට කිහිප වතාවක් මව්කිරි දීම සිදු කළ යුතු බැවින් මෙම ක්‍රියාවලිය පහසු මෙන්ම සරල කරගැනීම අත්‍යවශ්‍ය කරුණකි.
ඒ සඳහා සැලකිලිමත් විය යුතු වැදගත්ම කරුණ වන්නේ දරුවා පියයුර අල්ලා ගන්නේත් කිරි උරා බොන්නේත් මවගේ නිවැරදි ස්ථාපිතය එනම් දරුවා නිවැරදිව ඉරියව් කිරීම මත බවයි.ඔබ ලබාදෙන්නේ දරුවාගේ එකම ආහාරය බැවින් පූර්ණ අවධානයෙන් යුතුව එය සිදු කළ යුතු අතරම
■ කිරිදීම පටන් ගැනීමට පෙර කාල වේලාව අනුව මවගේ ස්නානය, ඇඟ සේදීම, ආහාර ගැනීම, සුදුසු පානයක් ගැනීම සිදුකර තිබිය යුතුයි.
■ කිරිදීම සිදුකරන අතරතුර දුරකථන ඇමතුම් ලබාගැනීම, සතුටු සාමිචී පිළිසඳරවල යෙදීම, රූපවාහිනිය නැරඹීම වැනි බාහිර වැඩවලින් ඉවත් විය යුතුයි.
■ ඉදිරියෙන් විවෘත කර ඇති ඇඳුමක් මවගේ උඩුකය ඉදිරි පෙදෙස සම්පූර්ණයෙන් නිරාවරණය වන සේ පිළියෙල කරගත යුතුයි. ටී ෂර්ට් හෝ කුඩා ඉඩකින් පියයුර පමණක් එළියට ගැනීමට හැකිවන පරිදි සකසා ඇති ඇඳුම් යෝග්‍ය නොවේ. මන්ද එවිට මව සහ දරුවාගේ සමට සම ගැටීම අවම වීමත් මවට නිසි පරිදි පියයුර අල්ලා ගැනීමට අපහසු වීමත්ය.
■ කිරි දීම සඳහා මව ඉඳගන්නා ආසනය මවගේ පිට කොන්දට අපහසුතාවයක් ඇති නොකළ යුතුයි. පුටුවේ ඉඳගත් විට මවගේ පාද බිම නොගෑවේනම් පාද තබාගැනීම සඳහා කුඩා බංකුවක් පාවිච්චි කළ හැක.
■ මවගේ අතට ආධාරකයක් අවශ්‍ය නම් ඒ සඳහා සාමාන්‍ය කොට්ටයක් පාවිච්චි කළ හැක. දරුවා කොට්ටය මත තැබීම නොකළ යුතුයි. (දරුවා අසාමාන්‍ය ලෙස බරින් වැඩි දරුවෙක් නොවන්නේ නම්)
■ මුල් කාලයේ දී Feeding pillow භාවිතය සුදුසු නොවේ. දරුවාට වයස මාස 2 ක් 3 ක් පමණ වූ විට මෙය භාවිත කිරීමේ වරදක් නැත. (එවිට Feeding pillow එක මවගේ ඉන වටේ තබා දෙකෙළවරේ ඇති රිබන් පටිය ගැටගසා ගැනීම සිදු කළ යුතුය) එසේ වන්නේ ඒ වන විට දරුවා දිගින් වැඩී ඇති නිසාත් දරුවාගේ බර වැඩි නිසා මවගේ අත දිගේ ආධාර කරගැනීමට අපහසු නිසාත්ය.ළදරුවා,නින්දේ පසු වේ නම් අවදි කරගත යුතුයි. මුල් සති කිහිපය තුළ මෙය ඉතා වැදගත් වේ. කිසි විටෙකත් නිදිමත දරුවා පියයුරට යොමු නොකළ යුතුයි.නින්දේ පසුවන දරුවා අවදි කර ගන්නා ආකාරය මුල් කාලයේදී නින්දේ පසුවන දරුවා ශබ්ද වලට ප්‍රතිචාර නොදක්වයි. ස්පර්ශ කිරීම මගින් යම් තාක් දුරට සාර්ථක ප්‍රතිඵලයක් ලබාගත හැක. මුලින්ම දරුවා නිදා සිටින ස්ථානයෙන් ඉවත් කළ යුතුයි. උදාහරණයක් වශයෙන් ගතහොත් තොටිල්ලේ නිදාගන්නා දරුවා ඉන් ඉවතට ගෙන ඇඳ මත තබන්න. ඉන්පසු දරුවා ආවරණය කර ඇති සියලුම රෙදි ඉවත් කරන්න. නැපිය සහ කමිසය පමණක් ඉතිරිව තබන්න. ඉන්පසු දරුවාගේ දනිස් දෙකට යටින් මවගේ අත් දෙක තබා අල්ලාගෙන මවගේ මහපට ඇඟිලිවලින් දණහිස මතුපිට ස්පර්ශ කරමින් කකුල් දෙක සෙමින් සෙමින් දිග අරින්න. ඉන්පසු මවගේ අත් දෙක දරුවාගේ වළලුකර පෙදෙසට ගෙනෙන්න. නැවතත් මහපට ඇඟිලිවලින් දරුවාගේ යටි පතුල විළුඹ යට ඇඟිලි දෙසට පිරිමදින්න. එවිට දරුවා අවදි වේ. ඉන්පසු තවදුරටත් දරුවා නිදි නම් දරුවා පැත්තකට හරවා කමිසය යටින් මවගේ අත තබා ඇඟිලි තුඩුවලින් දරුවාගේ පිට බෙල්ලේ යට තට්ටම ප්‍රදේශය පිරිමදින්න. (කොඳු නාරටිය දෙපස) නිදිමත දරුවා පියයුරට තබා ගතහොත් දරුවා මවගේ උණුසුමට ඇති කැමැත්ත නිසා තව දුරටත් නිදාගැනීමට යොමු වේ. එම නිසා දරුවා අවදි කරගැනීමට ටිකක් කාලය වැය කිරීම වාසි සහගත වේ.
මීළඟට දරුවාගේ නැපිය වියළිද යන්න සොයා බැලිය යුතුය. අවශ්‍ය නම් එය මාරු කර දරුවා සුව පහසුව තැබිය යුතුයි. පරිසරය වඩාත් උණුසුම් නොවූත් වඩාත් සීත නොවූත් විය යුතුයි. වායු සමීකරණ භාවිත කරන්නේ නම් උෂ්ණත්වය සේනටිග්‍රේඩ් අංශක 26-270 සුදුසු වේ. කිරි දීමට ගන්නා විට දරුවා රෙදිවලින් එතීම නොකළ යුතුයි. එවිට දරුවාට මවගේ ස්පර්ශය ලැබීම වැලැක්වේ. දරුවාගේ අත් දෙක නිදහසේ තිබීම, දරුවාට මවගේ පියයුර ස්පර්ශ කිරීමට උපකාරී වේ. මේ මගින් මවට වැඩිපුර කිරි ශ්‍රාවය වේ.දරුවා පියයුරට ස්ථාපිත කිරීමේදීමුලින්ම දරුවාගේ පපු පෙදෙස මවගේ පපු පෙදෙසට හරවා ගන්න. (ළයට-ළය සිටින සේ) දරුවා මවගේ පපුවට ආසන්න කරන විට දරුවාගේ උරහිස මවගේ තන පුඩුව කෙලින් සිටින සේ ලංකර මවගේ වැලමිට දරුවාගේ තට්ටම ප්‍රදේශය ඇඟට තබා තද කරගැනීමටත් මවගේ අත් දණ්ඩ (බාහුව) දරුවාගේ කොඳු නාරටිය දිගේත් සිටින සේ තබාගන්න.
දරුවාගේ හිස, මවගේ අත්ල මත තැබිය යුතුයි. එම අතේ මහපට ඇඟිල්ල දරුවාගේ කනට මදක් පහළින් සිටින සේත්, අනිත් ඇඟිලි හතර හිස වටේට ගොස් අනිත් පැත්තේ (යටි පැත්තේ) කටට ආසන්නයටත් ගෙන ආ යුතුයි. මෙසේ දරුවා ස්ථාපිත කරගත් විට දරුවාගේ හිස කොටස මවගේ ශරීරයෙන් ඉවතට යනු ඇත. ඊළඟට මව කළ යුත්තේ දරුවාගේ යටි පැත්තට හැරී ඇති අත මවගේ පියයුරට යටින් වැටෙන සේ ඇදීමටයි. එවිට දරුවාගේ මුඛය මවගේ තන පුඩුවට ළඟා වනු ඇත. මෙවිට මව ඇයගේ අනිත් අතින් පියයුර දික් අතට පැතලි කර අල්ලා ගෙන තන පුඩුව දරුවාගේ යටි තොලේ ස්පර්ශ කළ යුතුයි. එවිට දරුවා මුඛය විවෘත කරනු ඇත. දරුවා මවගේ සම්පූර්ණ ඇරියෝලාව (යටි පැත්තෙන්) මුඛය තුළට ඇතුළු කරගත යුතුයි. දරුවා මුඛය විවෘත කළ ප්‍රමාණය ගැන මව සෑහීමකට පත් නොවේ නම් නැවත වරක් පළමු ලෙසටම තන පුඩුව යටි තොලේ ස්පර්ශ කරන්න. එවිට දරුවා කලින් වතාවට වඩා ටිකක් වැඩියෙන් කට අරියි. මෙයත් නොසෑහේ නම් තුන්වන වරටත් නැවත සිදු කරන්න. එවිට වඩාත් හොඳින් කට අරියි. එවිට පියයුර වෙතට දරුවා රැගෙන ඒමෙන් ඇරියෝලාව අල්ලා ගැනීමට ඉඩ අරින්න.
මව මතකයේ තබාගත යුතු කරුණක් වන්නේ කිසි විටෙකත් මව ඉදිරියට නැමී පියයුර දරුවාගේ කට ඇතුළට නොදැමිය යුතු බවයි. මව කෙලින් ඉඳගෙන දරුවා පියයුර වෙත ගෙන එන්න.ඇරියෝලාව වැඩිපුර කට ඇතුළට යා යුතු අතර දරුවාගේ නිකට පෙදෙසින් නාසය දෙසට යොමු වී ඇති ඉහළ කොටසින් ඇරියෝලාව ටිකක් එළියට පෙනීම වරදක් නොවේ. මව පියයුර අල්ලගෙන සිටින අතේ දබරඟිල්ල (දෙවෙනි ඇඟිල්ල) දරුවාගේ නිකට කෙලින් මවගේ පියයුර මදක් තෙරපීමෙන් ඇරියෝලාවේ යටි පැත්තේ වැඩි කොටසක් දරුවාගේ මුඛය තුළට ඇතුළු කරගැනීමට පහසු වේ.
මවගේ පියයුරට නිවැරදිව ස්ථාපිත වූ දරුවෙක්
මෙසේ මුඛය තුළට ඇතුළු කරගත් ඇරියෝලාවේ ක්‍ෂීධර කෝඨරක දැන් පිහිටා ඇත්තේ දරුවාගේ දිව උඩය. දැන් දරුවා මුඛය වසන විටම යම් කිසි කිරි ප්‍රමාණයක් කට තුළට ගලාගෙන එයි.එවිට දරුවා දිගටම කිරි උරාබීමට පෙළඹේ. කිරි ඉරීම යනු මෙම ක්‍ෂීරධර කෝඨරක දිව මගින් රිද්මයානුකූලව උඩු තල්ලට තබා තෙරපීමයි. ටික වේලාවක් මෙය කිරීමෙන් පසු දරුවා මදක් විවේක ගනී. මෙය තත්පර කිහිපයකි. මව ඉවසීමෙන් යුතුව ඉරියව්ව වෙනස් නොකර මෙය අධ්‍යයනය කළ යුතුයි. නැවතත් දරුවා ඉබේටම කිරි උරා බීම පටන් ගනී. විවේක ගන්නා කාලය දිගු වැඩි නම් දරුවා නින්දට වැටීද කියා බැලිය යුතුයි.