free stats

අයිරාංගනී ගගලගමුව පවුල් සෞඛ්‍ය සේවා නිළධාරිනි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය බුලත්සිංහල

මිනිස් සිරුරෙහි ශක්තිමත් හා මියගිය පසුවද දිරාපත් වීමට වැඩිම කාලයක් කාලය ගන්නා කොටස වන්නේ දත්ය. දත් කැල්සිභවනය වූ පටකවලින් හා මෘදු පටකවලින් සමන්විත වී ඇත. දත් සෑදීම ආරම්භ වන්නේ දරුවා මව්කුස පිළිසිඳ සත්වන සතියේදීය.

ගැබිනි සමයේ සිව්වන මාසය වන විට කිරි දත්වල කැල්සියම් තැන්පත් වීම සිදුවන අතරම උපදින විට දන්ත මස්තකයේ කැල්සියම් තැන්පත් වීම අවසන් වී තිබේ. මෙසේ දතක මූලාරම්භය සිදුවන අතර දරුවෙකුගේ පළමු දත මතුවීම මෙදින සිදුවෙතැයි කිව නොහැකි මුත් බොහෝ විට ඉපදී මාස 6-9 පමණ වන විට පළමු දත මතුවීම බොහෝ විට සිදුවේ. එසේ වුවද දත් මතු වීමට වසරක පමණ කාලයක් ගත වන දරුවන් ද සිටින අතරම මාස 18ක් පමණ ගත වන තුරුත් දත් මතුවීම ප්‍රමාද නම් එම දරුවන් දන්ත ශල්‍ය වෛද්‍යවරයෙකු වෙත රැගෙන යා යුතුය.

දත් මතුවීමේ ලක්‍ෂණ ලෙස දැකිය හැක්කේ විදුරු මස් එකිනෙක තද කිරීම තුලින් හැපීමේ අවශ්‍යතාවය පෙන්වීමයි. මේ අවස්ථාවේදී දරුවා හසුවන සෑම දෙයක්ම හපන නිසා නිතර හැපීමට යමක් එනම් පිරිසිදු කරන ලද රබර් වළල්ලක් (මේවා වෙළදපලේ ඇත) වැනි දෙයක් දිය හැකි අතරම හැපීමට හැකිවන සේ ආහාරය කැබලි ලෙස ලබාදීමද වැදගත් වේ.බොහෝ විට පළමුවෙන්ම මතවන්නේ කෘන්තක දත් වන අතරම ඒවා මතු වීමේදී විශේෂ අපහසුතා නොපෙන්වුවද සමහර අවස්ථා වලදී විදුරු මස්වල ඝන ස්වභාවය නිසා උණ ඇති විය හැකි අතරම ඒ සමග ඇතිවන ශාරීරික අපහසුතා හේතුවෙන් දරුවා නොසන්සුන්ව ඇඬීමටද හැකිය.

එක් හනුවක 10 බැගින් කිරි දත් 20 ක් අවුරුදු 2 ½ -3 වන විටදී සම්පූර්ණ වීම සිදුවේ. එය එක ඇන්දක කෘන්තක 4, රදනක 2 හා චාර්වක දත් 4 ක් ලෙසින් වන අතර කිරි දත්වල පුරෂ්චාර්වක දත් නොමැත.කිරි දත් මගින්

■ ආහාර විකීමට, කැබලි කිරීමට ආධාරකයක් වන නිසා ජීර්ණ ක්‍රියාවලිය පහසු කරයි.

■ උඩ හා යට හනුවල තුලිත වර්ධන ඇති කරයි

■ ස්ථිර දත් ඇන්ද නියමිත ලෙස ස්ථානගත කිරීම හා නිසි පරිදි වර්ධනය සිදු කරයි

■ වචන උච්චාරණය හොඳින් සිදු කිරීම

■ මුහුණේ පෙනුම ආරක්‍ෂා කිරීම සිදු කරයි.කිරි දත් වයස අවුරුදු 6-7 වන වන විට හැලී ස්ථිර දත් මතු වුවද කිරිදත මගින් ස්ථිර දත ස්ථාන ගත කිරීම නිවැරදි කරන නිසා කිරිදත් අකාලයේ විනාශ වීමට නොදී ආරක්‍ෂා කළ යුතුය.

මේ නිසා පළමු දත මතු වූ දා පටන්ම දත පිරිසිදු කිරීමේ කටයුත්ත නිසි පරිදි සිදු කළ යුතුය. දරුවකුට වයස අවුරුදු 8 වන තුරුම දෙමාපියන්/වැඩිහිටියන් හෝ රැකබලා ගන්නන් විසින් බුරුසුවක් භාවිත කර දරුවාගේ දත් මැදීම සිදු කළ යුතු අතර දරුවන් මෙන්ම වැඩිහිටියන් සඳහා ද (මෘදු කෙඳි සහිත දත් බුරුසුවක් තෝරා ගත යුතුය. එසේම සෑම කෙනෙකුටම ෆ්ලෝරයිඩ් සහිත දන්තාලේපයක් අවශ්‍ය කරනවා මෙන්ම කුඩා දරුවන් සඳහා දන්තා ලේප භාවිත කළ යුත්තේ බුරුසුවේ කෙඳි මත දන්තාලේපය තුනී පටලයක් ලෙස වන ප්‍රමාණයකිනි. දත් මැදීමෙන් පසු මුව සේදීම වරක්/දෙවරක් පමණක් සිදු කිරීම ෆ්ලෝරයිඩ්වල ක්‍රියාකාරීත්වයට ඵලදායී හේතුවක් විය හැකිය.

වසරක් ගතවූ දරුවෙකුගේ දත්/මුඛය දන්ත ශල්‍ය වෛද්‍යවරයෙකු ලවා පරීක්‍ෂා කරවා ගත යුතු අකරම වසර 3 ක් වන තෙක් මාස 6 කට වරක් දන්ත වෛද්‍යවරයා වෙත දරුවා රැගෙන යා යුතුය. එසේම වසර 3 කට පසු දත්/මුඛය පරීක්‍ෂාව සඳහා පාසැල් දන්ත චිකිත්සක වෙත රැගෙන යා හැකිය.දරුවන් මෙන්ම වැඩිහිටියන්ගේද දන්ත සෞඛ්‍යයට පැණි රස හා පිටි සහිත ආහාර බලපෑම් සිදු කරන බැවින් පැණි රස ආහාර ප්‍රධාන වේල්වලට සීමා කිරීමත්, ප්‍රධාන ආහාර වේල්වලින් පසුව දත් මැදීමට හුරු කිරීම දන්ත සෞඛ්‍ය හා මුඛ සෞඛ්‍ය යහපත් කිරීමට හේතුවක් වේ.