free stats

විශේෂඥ වෛද්‍ය ටිරාන් ඩයස් මහතා

කාන්තාවන් විවාහ වීමට දක්වන ප්‍රමාදය හේතු කරගෙන අතීතයට වඩා වර්තමානයේ දී නිවුන් දරු උපත් ප්‍රමාණය වැඩිව තිබෙන බව දක්නට ලැබෙනවා. උසස් අධ්‍යාපන කටයුතු හෝ වෙනත් බාහිර කාරණා නිසා හෝ අය දරු ප්‍රසූතිය ප්‍රමාද කරන්න පෙලඹෙන බව අපි දන්නවා. ඒ වගේම විවාහයට කල් ගතවීම මදසරුබව වැනි ගැටලු ප්‍රසූතිය ප්‍රමාද වීමට බලපාන්න පුළුවන්. වයසින් වැඩි වීමත සමග සිදුවන ගැබ් ගැනීම් නිවුන් දරු උපත් වලට හේතුවක්. ඒ වගේම මදසරුභාවයට ප්‍රතිකාර ලබාගන්නා අයටත් නිවුන් ලැබීමේ වැඩි ප්‍රවණතාවයක් තිබෙනවා. එම ප්‍රතිකාරවලින් ඩිම්බ කෝෂවල උත්තේජනය වීමක් සිදුවන අතර එය නිවුන් දරුවන් ලැබීමට හේතුවක්.

එක් ඩිම්බයක් නිකුත් වීම සාමාන්‍යයෙන් සිදු වුවත් මෙවැනි අවස්ථාවකදී එක්වර ඩිම්බ දෙකක් නිකුත් වීම සිදුවනවා. ඩිම්බ දෙකකට ශුක්‍රාණු දෙකක් හමුවීමෙන් නිවුන් දරු උපතක් සිදුවිය හැකි. ඒ වගේම සංසේචනය වූ ඩිම්බය ගර්භාෂය වෙත පැමිණෙන අවස්ථාවේදී දෙකට බෙදීම නිවුන් දරු උපතක් සිදුවීමට බලපාන අනෙක් සාධකයයි. තවත් අවස්ථාවකදී යුක්තානුවක් බවට පත්වීමෙන් අනතුරුව දෙකට බෙදීමක් ද සිදු වීමට ඉඩකඩක් පවතිනවා. මේ වන විට වැදෑමහ නිර්මාණය වී තිබෙන නිසා කළල 2 වතුර බෑග හෙවත් water bag දෙකක පිහිටීම සිදුවෙනවා. මෙහි සඳහන් කළ තුන් වන ආකාරය එනම් යුක්තානුව නිර්මාණය වීමෙන් අනතුරුව සිදුවන නිවුන් දරු උපත් වල යම් ගැටලුවක් ඇතිවිය හැකි අතර එවැනි පිරිසිදු ගැනීම් සිදු වන්නේ කලාතුරකින්. සංසේචනයෙන් දින අටත් 13 ත් අතර කාලයේදී බෙදීමක් සිදු වුවහොත් වර්ධනය අඩාල වීම, පෙකණි වැල පැටලීම වැනි ගැටලු ඇතිවනවා. දින 13කට පසු මෙවැනි බෙදීමක් ඇතිවුවහොත් දරුවා නිර්මාණය වී අවසන් නිසා බද්ධ නිවුන් දරුවන් ඇතිවීමේ අවදානමක් ද මතු විය හැකියි. කෙසේ වෙතත් වැදෑමහ දෙකක් සහිත එසේම වතුර බෑග දෙකක් සහිත දරුවන් හොඳම නිවුන් දරුවන් ලෙස සලකන්න පුළුවන්.

කාන්තාවකට පිටවන්නේ එක් ඩිම්බයක් වුවත් කලාතුරකින් ඩිම්බ දෙකක් පිහිටන අවස්ථා තිබෙනවා. එය අසාමාන්‍ය තත්ත්වයක් නොවෙයි. එයට වයස් භේදයක් බලපාන්නේ නැහැ. එක් පසකින් තිබෙන ඩිම්බ කෝෂවලින් මෙන්ම දෙපසින්ම මේ ආකාරයෙන් ඩිම්බ පිට වෙන්න පුළුවන්.

යම් මවකට නිවුන් දරු උපතක් සිදුවී ඇති ද යන්න නිශ්චය කර ගැනීම සඳහා ස්කෑන් පරීක්ෂාවක් සිදු කර ගත හැකියි. බොහෝ ගැටළු එමගින් කල් ඇතිව හඳුනා ගන්න පුළුවන්. ස්කෑන් පරීක්ෂණ මගින් මවට හෝ පියාට කිසිදු ගැටලවක් ඇතිවන්නේ නැහැ. ඕනෑම දරු කලලයක් මුල් කාලයේ සමානකම් වලින් වැඩියි. ඒ නිසා ල්ට්‍රා සවුන්ඩ් ස්කෑන් පරීක්ෂණයකින් කළලයේ දින ගණන අනුව වයස තීරණය කළ හැකියි. මෙයින් කිසිදු නරක ප්‍රතිඵලයක් අත් නොවන අතර අත්විය හැකි යම් යම් ගැටලු සහගත තත්ත්වයන් මග හැරී යාම සිදු වනවා.

නිවුන් දරුවන් පිලිසිද ගන්නා මවකට මුල් කාලීනව ඇතිවන සංකූලතා පිළිබඳව මෙහිදී අවධානය යොමු කළ යුතුයි. එහිදී ගර්භනී සමයේ කාර්තු තුනෙන් ඕනෑම කාර්තුවක ඇයට සංකූලතා ඇති විය හැකි බව වෛද්‍යවරුන් පෙන්වා දෙනවා. මෙහිදී ගබ්සාවක් සිදුවීම, අධික වමනය, ශාරීරික වේදනාවන්, රුධිර වහනය, වැඩි සංකූලතා ඇති වීමේ අවදනමක් පවතිනවා. මෙහිදී අමතර එක් කලලයක් ඉවත් වුවද එයින් අනෙත් කලලයට හානියක් නොවන නිසා බියවීමට අවශ්‍ය නැත.

එයට අමතරව දරුවා කලින් බිහිවීම, රුධිර පීඩනය ඇතිවීම, දියවැඩියා තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් ද තිබිය හැකිය. තනි දරුවෙක් පිළිසිඳ ගෙන සිටින මවකට වඩා නිවුන් දරුවන් පිළිසිඳ ගෙන සිටින මවක් යම් අවදානමක සිටින නිසා නිවැරදිව සායනවලට සහභාගි වීම ඇයගේ වගකීමක්. යකඩ පෙති ඇතුළු නෙකුත් පෝෂක හා ඖෂධ අවශ්‍යතාවයන් වෛද්‍ය උපදෙස් මත නිසි පරිදි ලබා ගැනීම වැදගත් වනවා. ආහාර වර්ග තෝරා ගැනීමේදී දියවැඩියා අවදානම පිළිබඳව සැලකිලිමත් වීම ඔබේ වගකීමක්.

පෝෂණ වේදී උපදෙස් ලබා ගනිමින් වඩාත් හොඳ ආහාර රටාවකට හුරුවීම හා හොඳින් වතුර පානය කිරීම කළ යුතුයි. වෛද්‍ය උපදෙස් මත අමතර ආහාර ලබා ගැනීමද කළ හැකියි. එසේම සායන මගින් නියම කරන පරිදි ට සරිලන බර පවත්වා ගෙන යාමත් අත්‍යවශ්‍ය කරුණකි. එය දියවැඩියාව වැළැක්වීමට උදව් වනවා මෙන්ම සෞඛ්‍ය සම්පන්න සිරුරක් ලබා ගැනීමට ද හේතුවකි.

එසේම නිවුන් දරුවන් ලබන කාන්තාවකගේ දරු ප්‍රසූතිය සිදුවිය යුත්තේ සියලු පහසුකම් සහිත ප්‍රදාන රෝහල කයි.

සටහන චාපා හංසිනී ආටිගල