වෛද්‍ය අරුණි ලියනමාන.
දෙමාපියන් සතු අගනාම සම්පත තමන්ගෙ දරුවන්. ඔවුන් කිසිවිටෙකත් සිතාමතා දරුවාට අහිතක් කරන්නේ නැහැ. නමුත්, ඔවුන්ගෙ නොදැනුවත්කම හේතුවෙන් කරන ඇතැම් ක්‍රියාකලාපයන් දරුවාට හානිදායක වෙන්න පුළුවන්. උදාහරණයක් ලෙස දරුවා ඉල්ලන ඕනෑම දෙයක් (සෙල්ලම් බඩුවක්, ඇඳුමක්) එසැණින් ගෙනැවිත් දීමට ඔබට ඇති හැකියාව ගැන දෙමාපියන් ලෙස ඔබ උදම් වනවා විය හැකියි. ඉන් දරුවාට වන අහිතකර බලපෑම ගැන බොහෝවිට ඔබ නොදන්නවා ඇති. නැතහොත් දන්නවා වුවත් එතරම් තැකීමක් නොකරනවා ඇති. ඒ පිළිබඳ වගේම තවත් එවැනි බහුලව අවධානයට ලක් නොවන කරුණු කිහිපයක් මෙම සටහනින් සාකච්ඡා කෙරෙනවා. දරුවාට සුන්දර ළමා වියක් උරුම කරන්න. ඒ මත ගොඩනැගෙන වැඩිහිටි විය නිතැතින්ම සුවදායී හා ඵලදායී එකක් වනු නොඅනුමානයි.
1). අසමත්වීම්වලින් හා අවධානම්වලින් දරුවාව සැමවිටම ආරක්ෂා කිරීම.
දෙමාපියෙක් ලෙස දරුවාගේ ආරක්ෂාව සහතික කිරීම ඔබේ වගකීමක්. ඒ ගැන විවාදයක් නැහැ. නමුත් මේ තත්වය පමණ ඉක්මවා කරන්නට යාම එතරම් සුබදායී තත්වයක් නොවෙයි. යම් ගැටලුවක් විසඳීමට බොහෝ පහසු ක්‍රමවේදයක් තිබියදීත්, තම දරුවා ඉතා අසීරු ක්‍රමවේදයන් ඔස්සේ එය විසඳන්නට යාම දෙමාපියන් ඉවසන්නෙ නැහැ. ඔවුන් වහාම ඉතා මටසිළුටු මාවත දරුවාට පෙන්වනවා. දරුවාද, ඉතා සුව පහසුවෙන් ගැටලුවට මුහුණ දෙනවා. තනිව ඒගැන ඉගෙනීමට, වැරදීම්වලින් අත්දැකීම් එක්කර ගැනීමට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ.
ඔබට ඔබේ දරුවාව අධිආරක්ෂිත කලාපයක තබා රැක බලා ගත හැකිවන්නේ යම් සීමාවක් තුළදී පමණයි. ඉන් ඔබ්බෙහි ඔබට තවදුරටත් ඉහත ක්‍රියාවලිය කළහැකි වන්නේ නැහැ. ඔබේ දරුවා තනිවම සමාජය සමග ගැටෙන දිනයක් එළඹෙනවා. එහිදී අභියෝග, ගැටුම්, අපහසුතාවන්, අසමත්වීම්වලට දරුවාට මුහුණදීමට සිදුවීම අනිවාර්ය්යි. ඒ සඳහා වූ පන්නරය දරුවා නිසිලෙස ලබා නොතිබුණේ නම් ඇතිවිය හැකි තත්වය භයානකය. එනිසා දරුවා ඔබේ දැඩි සුපරීක්ෂාවට යටත්ව ඉහත කී තත්වයන්ට සුදුසු පරිදි නිරාවරණය කරවන්න. අඩුතරමින් එවැනි තත්වයන්ද ජීවිතයට ඇතිවිය හැකි බව දරුවාට අවබෝධයක් ලබාදීමට තරම් හෝ කල්පනාකාරී වන්න.
02).තමාට ඇවැසි දේ පමණක්ම දරුවාගෙන් අපේක්ෂා කිරීම.
බොහෝ දෙමාපියන් තම ජීවිතයට වඩා උසස් ජීවිතයක් තම දරුවන් ගත කරනු දැකීමට ආසා කරයි. ඇතැමුන් මෙහිදී ඉතා අන්තගාමී හා ආත්මාර්ථකාමී හැසිරීමක් පෙන්වයි. තමාගේ න්‍යාය පත්රයෙක දරුවා කොටු කරන ඔවුන්, ඒ තුළ පමණක්ම දරුවා ජීවත් වියයුතු බවට විශ්වාස කරනවා. දරුවාගේ ජීවිතය විඳීමේ අයිතිය අහිමි කරවනවා. දරුවා ඔබේ වූ පමණින් දරුවාගේ ජීවත් වීමේ අයිතිය සහමුලින්ම පාලනය කිරීමේ අයිතිය ඔබට පැවරෙන්නේ නැහැ. දරුවන් යනු ඔබේ ජීවිතයේ ඔබට ළඟාකරගත නොහැකි වූ සිහින හඹායාම සඳහා වූ මෙවලම් නොවෙයි. දරුවා වඩා උගත්, යහපත් හා උසස් මනුෂ්‍යයෙකු කිරීමේ වගකීම ඔබට පැවරෙනවා. දරුවාගෙන් ඔබ බලාපොරොත්තු වන දෑ සඳහා දරුවා මෙහෙයවන්න. මෙහිදී දරුවා දක්ෂතා, කුසලතා හා ආකල්ප පිළිබඳ මනා වැටහීමකින් මෙය සිදුකිරීම ඉතා වටිනවා. නමුත් එහිදී, දරුවාට යළි කිසිදා නොලැබෙන ළමාකාලයේ රස මිහිර අහිමි නොකරන්නට වගබලා ගන්න. මිනිසා තුළ වූ “දරුවා” මරාදැමූ කල, ඉනික්බිතිව ගොඩනැගෙන්නේ කෘතීම වැඩිහිටියෙක් විනා මානවවාදී මනුෂ්‍යයෙකු නොවෙයි.
3). දරුවාව පමණට වඩා තෘප්තිමත් කිරීම.
තමා කුඩා කාලයේ තමා අත්නොවිඳි, තමා සතු නොවූ බොහෝ දේ තම දරුවාට ලබා දීමට ඇතැම් දෙමාපියන් පෙළඹෙනවා. එහි වරදක් නැහැ. නමුත් මෙය පමණ ඉක්මවා යාම එතරම් සුබදායී නැහැ. එදාට වඩා බොහෝ දේ අද දරුවන්ට ලබාදීමට අපට හැකි බව සැබෑවක්. අධි තාක්ෂණික සෙල්ලම් බඩු, විනෝද ක්‍රීඩා, පරිඝණක ඇතුළු තවත් අරුමෝසම් තාක්ෂණික උපකරණ ඇතුළු බොහෝ දේ ඒ අතර වනවා. මේවායින් සපිරි ළමා දිවිය පරිපුර්ණ එකකැයි බැලූ බැල්මට හැඟෙන්නට පුළුවන්. නමුත් මෙහි ප්‍රායෝගික කරුණු කාරණා ඒ සිතුවිල්ලට තරමක් වෙනස්.මෙවැනි විවිධ ආටෝපයන්ගෙන් තම දරුවාව අසීමාන්තිකව තෘප්තිමත් කිරීමට වෙහෙසෙන දෙමාපිය කුලකයේ පහත පොදු ලක්ෂණ දැකිය හැකියි.
• එම දෙමාපියන්ට ප්‍රමාණවත් තරම් කාලයක් දරුවා සමග ගත කරන්නට හැකියාවක් නැහැ. එය ඔවුන්ට වරදකාරී හැඟීමක් ඇති කරවනවා. ඉන් මිදීමට ඔවුන් දරුවාට වැඩිවැඩියෙන් තෑගි-බෝග ගෙනැවිත් දීමට පෙළඹෙනවා.
• ඔවුන් දරුවා යමක් ඉල්ලූ විට ප්‍රතික්ෂේප කිරීමට මැලි වෙනවා. නැතිනම් බිය වෙනවා. දරුවා දුකට, පශ්චාත්තාපයට පත්වීම හා තමා නරක මාපියෙකු බවට පත්වේ යැයි යන කල්පනාව නිසා.
• දරුවාගේ ගැටලුවලට නිසි පරිදි පිළිතුරු දීමට ඔවුන් අසමත්. දරුවාව අස්වසාලන්නේ කෙසේදැයි ඔවුන් නොදැනුවත්. ඉදින්, ඔවුන් දන්නා එකම ක්‍රමවේදය වන දරුවාට තෑගිබෝග බොහොමයක් ගෙනැවිත් දීමට පෙළඹෙනවා.
මෙය දරුවා කෙරෙහි අහිතකර ලෙස බලපාන්නේ කෙසේද? පමණට වඩා භෞතික සම්පත් දරුවා වෙත ගොඩගැසීම තුළ ඒවාට නොලැබිය යුතු තරමේ ප්‍රමුඛතාවක් දරුවා (පසුකාලීනව වැඩිහිටියා) තුළ ගොඩනැගෙනවා.
නැවත නැවතත්, සිතූ හැමදේම ළඟා කරගන්නට ඔවුන් වෙර දරනවා. මෙය එක්තරා සීමාවකදී කළනොහැකි වෙනවා. එය දරුවා කෙරෙහි ප්‍රබල අපේක්ෂාභංගත්වයක් ඇතිකරවනවා. අනෙක් අතට, ඕනෑතරම් තිබෙන නිසාත්, තවත් ලැබීමට නියමිත බව දන්නා නිසාත්, දැනට තිබෙන දේ රැකගැනීමට ඔවුන් උනන්දුවන්නේ නැහැ. ඒ පිළිබඳ තැකීමක් නැහැ. ඒවා රිසිසේ කඩා බිඳ දමමින් තවතවත් ඉල්ලා හඬනවා. මෙවැනි චරිත සමාජගත වූ පසු ඇතිවන තත්වය සැකෙවින් මෙලෙස විස්තර කළ හැකියි.
නවීනතම ජංගම දුරකතනය සාක්කුවේ ලාගෙන, මිල අධික අතිසුඛෝපභෝගී කාරයෙන්, නවීන පන්නයේ ඇඟලුම් භාවිතා කිරීම ඔවුන්ගේ ජීවිතයේ අනිවාර්ය්ය කරුණක්. ඒ සඳහා අනවශ්‍ය තරමේ ප්‍රමුඛතාවක් ඔවුන් ලබාදෙනවා. ඔවුන් කිසිවකින් සෑහීමට පත්වන්නේ නැහැ. තමාට රිසි දේ තමා සතුනොවීමට ඔවුන්ට මදිකමක්. මානව සම්බන්ධතා, මානව ගුණධර්ම, මානව ප්‍රේමය ආදී අධ්‍යාත්මික කරුණු සඳහා ඔවුන් තුළ ඇති “ඉඩ” ඉතා අල්පයි. මෙහි ව්‍යාකූලත්වය ඔබට යම් තරමක් හෝ අවබෝධ වන්නට ඇතැයි සිතනවා. දරුවාව ප්‍රමාණවත් පරිදි තෘප්තිමත් කරන්න. ඔබට තිබුවා වූ, වඩා උසස්, ළමා දිවියක් ඔවුන්ට හිමිකර දෙන්නට වෙහෙසෙන්න. ඒ අතරම අසීමාන්තික ආශාවේ ආදීනව කියාදෙන්න. තමා සතුදේ රැකගැනීමේ වැදගත්කම ඒත්තු ගන්වන්න. භෞතික සම්පතින් සෑහීමට පත්වූ, අධ්‍යාත්මික ගුණවගාවෙන් හෙබි “මනුෂ්‍යයෙකු” සමාජයට තිළිණ කරන්න.
4). තමාගේ රීති රාමුව තමා විසින්ම බිඳ දැමීම.
ඔබ යම් රීති රාමුවක් දරුවා කෙරෙහි හෝ ඔබ කෙරෙහි නඩත්තු කරන්නේ නම් සාධාරණ හේතුවක් රහිතව ඒවා කඩ කිරීමට නොයන්න. නිරතුරුව ඔබේ ප්‍රතිපත්ති වෙනස් කිරීමට යාම දරුවා කෙරෙහි වැරදි පූර්වාදර්ශයක් වනු ඇත. එය ආදර්ශයට ගන්නා ඔබේ දරුවාද, හිතුමනාපයට තම ප්‍රතිපත්ති වෙනස් කරනු ඇත. තමාටම අනන්‍යතාවක් ගොඩනගාගැනීමට අපොහොසත් වනවා ඇත.
එමෙන්ම, ඔබ කියන දේ සහ කරන දේ අතර පරස්පරයක් තිබීම සුදුසු නැහැ. දරුවාට ඔබ කරන්නට යැයි යෝජනා කරන දේ, ඔබ ක්‍රියාවෙන්ද කර පෙන්වීම මගින් ආදර්ශවත් වීම වැදගත්. එසේ නොමැතිවීම තුළ දරුවා තුළ අදාළ උපදෙස් පිළිබඳ අවිශ්වාසයක් ගොඩනැගීමට හේතු වනවා. දරුවා තවදුරටත් ඔබේ උපදෙස් බරපතළ ලෙස බාර නොගැනීමටද ඉඩ තිබෙනවා.
5). වඩාත් “හොඳ” මව/පියා වීමට ඔබ හා සහකරු/සහකාරිය අතර ඇති තරඟය.
මෙය බහුලව සාකච්ඡාවට ලක් නොවුණත්; ඇතිවිය හැකි තත්වයක්. ඇතැම්විට ඔබ දෙදෙනා නොදැනුවත්වම එවැනි ප්‍රවණතාවයක් ඇතිවිය හැකියි. එකිනෙකා පරයායමින් දරුවාට සමීප වීමට තැත්කිරීම පසෙකලා, දෙදෙනා එක්ව සාමූහික ක්‍රියාවලියක් තුළින් දරුවාට වඩා උසස් ළමා දිවියක් තිළිණ කිරීම වඩා ඵලදායී වනවා.
දරුවා කෙරෙහි වඩාත් හොඳ මාපියෙකු වීමට ඔබ දෙදෙනා අතර “තරඟය”, ඔබ හා දරුවා අතර සේම, ඔබ දෙදෙනාගේ අන්‍යෝන්‍ය සම්බන්ධතාවයට ද අහිතකර ලෙස බලපාන්නට පුළුවන්. හැකි හැමවිටෙකම ඔබේ සහකරුවා දරුවාට සමීප කරවන්නට උත්සහ කරන්න. ඔබ හා දරුවා අතර සම්බන්ධතාව නිරෝගීව නඩත්තු කරන අතර තුරදීම, ඔබේ සහකරුවා හා දරුවා අතර සම්බන්ධතාව ද ශක්තිමත්ව පවත්වා ගැනීමට කල්පනාකාරී වන්න.
ඒ සඳහා ප්‍රමාණවත් දායකත්වයක් අදාළ සහකරුවාගේ පාර්ශවයෙන් නොලැබෙන්නේ නම්, ඔහු/ඇය ඒ සඳහා උනන්දු කරවීමටද කටයුතු කරන්න. දරුවාගේ අනාගත සාර්ථකත්වය උදෙසා මවගේ මෙන්ම පියාගේද, සම දායකත්වයක් පවතින බැව් සිහිතබා ගන්න.