විශේෂඥ වෛද්‍ය අශෝක කරුණානන්ද මහතා
ගොඩක් වෙලාවට අපේ රටේ කාන්තාවකගෙන් ප්‍රශස්ත උස විදිහට අපි සලකන්නේ අඩි 5.5. නමුත් ඊට වඩා අඩු උස ප්‍රමාණයකින් යුතු කාන්තාවනුත් අපි අතර ඉන්නවා. සමහර වෙලාවට අඩි හතරයි 10ට වඩා අඩු උසින් යුතු අයත් ඉන්නවා. මේ අයව අපි සලකන්නේ මිටි එහෙම නැත්නම් කොට අය විදියට.
මෙතැනදී ගොඩක් කාන්තාවන්ට ඇතිවන ගැටළුවක් තමයි තමන්ගේ උස කියන සාධකය දරු ප්‍රසූතියේදී කොහොමද බලපාන්නේ කියන කාරණය. ගොඩක් වෙලාවට මේ උස කියන කාරණය ඒ තරම් දුරට දරු ප්‍රසූතියට බලපාන්නෙ නැහැ. මොකද කාන්තාවක් මිටි වුණා කියලා හෝ උස වුණා කියලා හෝ එයාලගේ අවයව සුවිශේෂ වෙනසක් සිදුවෙන්නේ නැහැ කියලා වෛද්‍ය විද්‍යාත්මකව පැහැදිලි වෙලා තියෙනවා.
සමහර වෙලාවට අපිට වඩා ගොඩක් මිටි ජපානය කාන්තාවන් ස්වභාවික දරු ප්‍රසූතියට යොමු වෙද්දී පිට වඩා ගොඩක් උසින් හා මහතින් වැඩි අප්‍රිකානු කාන්තාවන්ට සිසේරියන් සැත්කම් කරන්න සිද්ධ වෙන අවස්ථා තියෙනවා. මේ තත්ත්වය ඇති වෙන්නේ දරුවාගේ ප්‍රමාණය ඒ වගේම මවගේ ඒ මොහොතේ ඇති වන ගැටලු ඇයගේ යම් යම් තීරණ ආදිය මත මිස උස මත නෙවෙයි.
යම් කාන්තාවක් උස වුණා කියලා ඇගේ ශ්‍රෝණියේ හෝ ලිංගික අවයව වල විශේෂ වෙනසක් සිද්ධ වෙන්නෙ නෑ. ඒ කියන්නේ උස කෙනෙකුට ලොකු ශ්‍රේණියක් සහ විශාල ලිංගික අවයවයක් හෝ මිටි කෙනකුට කුඩා ශ්‍රේණියක් සහ කුඩා ලිංගික අවයවයක් පිහිටන්නේ නැහැ.ඒ වගේම උස කෙනෙකුට එයාගේ උසට සාපේක්ෂව තරමක් වැඩුණු දරුවෙක් ලැබෙද්දී සමහර විට මිටි කෙනෙකුට එයාගේ උසට සාපේක්ෂව දරුවා කුඩා වෙන්න පුළුවන්.
ඒ නිසා තමයි අපි පෙර ලිපියක සඳහන් කළ අම්මා පොඩි නම් බබා පොඩි වෙන්න පුළුවන් ඒ නිසා බබා පොඩි කියලා ඒ ගැන දුක් වෙන්න එපා කියලා. මොකද අම්මගෙ හා තාත්තගේ ප්‍රමාණය මත තමා දරුවාගේ ප්‍රමාණය තීරණය වෙන්නේ අම්මයි තාත්තයි දෙන්නම පොඩි නම් සාපේක්ෂව දරුවත් පොඩි යි. නමුත් සමහර අවස්ථාවක දී මිටි අම්මා කෙනෙකුට ලොකු බබෙක් ලැබෙන්න පුළුවන්. එවැනි අවස්තාවකදී දරුවා හිරවීමෙන් සම්භාවිතාවක් තියෙනවා.
මෙන්න මේ බබාගේ ප්‍රමාණය කියන කාරණය මත සමහර අවස්ථාවකදී සිසේරියන් සැත්කමකට යොමු වෙන්න තියන අවදානම ටිකක් විතර වැඩියි. ඒ වගේම අපි මේ කොටයි එහෙමත් නැත්නම් මිටි කියලා කියන ප්‍රමාණයට වඩා අසාමාන්‍ය ලෙස මිටි මවක් නම් ඇයට සිසේරියන් සැත්කමකට යොමු වෙන්න සිදුවෙනවා. ඒ හැරෙන්න මිටි වුණා කියලා ලොකු අවදානමක් ඇති වෙන්නේ නෑ.
නමුත් මෙවැනි ප්‍රසූතියකදි වෛද්‍යවරුන් දැඩි අවධානයෙන් ඉන්නවා. බබා ගේ පැමිණීම අම්මගෙ ගර්භාශයේ සිදුවන සංකෝචන බබාගේ දැඟලීම දිගහැරීම ඒ වෙලාවෙදි මනින්න බෑ. අන්න ඒ අවදානම අරගෙන තමයි ගොඩක් වෙලාවට වෛද්‍යවරු සාමාන්‍ය දරු ප්‍රසූතියකට සූදානම් වෙන්නේ. මේ අවදානම ගොඩක් වෙලාවට උස අම්මා කෙනෙකුටත් ඇතිවෙන්න පුළුවන්. ඒ නිසා යම් අවධානමක් ඇති වුනොත් ඒ තත්ත්වයට මුහුණ දෙන්නත් වෛද්‍යවරුන් සූදානමෙන් තමයි ඉන්නේ. ඒ වගේම උස අම්මා කෙනෙකුට වඩා ඉක්මනට මිටි අම්මා කෙනෙකුට දරුවා ලැබෙන්න ඉඩ කඩ තිබෙනවා.
ඒ නිසා උස අම්මා කෙනෙක්ට සාපේක්ෂව මිටි අම්මා කෙනෙකුට දරාගැනීමේ කාලය ඉතාම අඩුයි. නමුත් එයාගේ දෙපා කොට වුණත් යෝනියේ වෙනස්කම් තිබුණත් උදරේ ඉඩ ප්‍රමාණය මදි වීමක් සිදු වෙන්නේ නෑ. ඒ ඉඩ සාමාන්‍යයෙන් මවකගේ උදරයේ තිබෙන ඉඩ ප්‍රමාණය ට සමානයි. මුලින් කිව්ව වගේ ඔවුන්ගේ ලිංගික අවයවයක් පිහිටලා තියෙන්නෙත් ඒ ඒ අයගේ සිරුරට ගැලපෙන අනුපාතය අනුවයි. ක්‍රියාකාරීත්වය වෙනසක් ඇති වෙන්නෙත් නැහැ. මව්කිරි දීමේ වෙනසක් සිදු වෙන්නෙත් නෑ. යම් අවදානමක් ආවත් ඒ අවදානම් ඇති වන ඉතාම කලාතුරකින්. ඒක බබාගේ ප්‍රමාණය මත වෙනස් වෙන්න පුළුවන් මොකද හැම බබෙක් ම එක සමාන නැහැ.
සමහරවිට හොඳ උස මහත කෙනෙකුට උනත් ප්‍රමාණයෙන් විශාල බබෙක් ලැබෙන්න ආවොත් සිසේරියන් සැත්කමකට යොමු වෙන්න සිදුවෙනවා. මොකද දරු ප්‍රසූතියේ කියලා කියන්නේ ඇත්තටම අවධානමක් තියෙන අවස්ථාවක්. අපිට කලින් අනාවැකි බලලා මෙන්න මේ විදියට මේ විදිහට සිදු වෙයි කියලා කියන්න බෑ. ඒ මොහොත තමයි අපි දරු ප්‍රසූතිය ගැන දැනගන්නේ ඒ මොහොත තමයි බබා එන්නෙ කොහොමද කියලා අපිට අවදානමක් ගන්න සිද්ධ වෙන්නේ. ඒ නිසා වෛද්‍යවරු සෑම මොහොතකටම සූදානම් වෙලා ඉන්නේ.
කවුරුහරි අම්මා කෙනෙකුට හිතෙනවා නම් තමන් උසින් අඩු නිසා දරු ප්‍රසූතිය වේදනාකාරී වෙයි හෝ දරු ප්‍රසූතිය අවදානමක් ඇති වෙයි කියලා තමන්ගේ ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍යවරයා හමු වෙලා ඒ පිළිබඳ උපදෙස් ලබා ගන්න පුළුවන්. ඒ වගේම තමන්ගේ දරු ප්‍රසූතිය සිදු වෙන්නේ කොහොමද කියන එක පිළිබඳව වෛද්‍ය උපදෙස් ඇතුව තමන්ට පුද්ගලිකව තීරණයක් ගන්න පුළුවන්. ඒ නිසා යම් යම් ගැටලු පිළිබඳව හෝ අනිත් අයගේ අදහස් නිසා බයක් හෝ ගැටලුවක් ඇති කර ගන්න අවශ්‍ය නැහැ.
සටහන චාපා හංසිනී ආටිගල