free stats

කාන්තාවක් සිය ගර්භණී සමය තුළ සැලකිලිමත් විය යුතු කරුණු ගණනාවක් තිබෙනවා. ඒ අතරින් අප නිරන්තරයෙන් කතා කරන ආහාර පුරුදු, සෞඛ්‍යමත් ජීවන රටාව, පිරිසිදුකම, අවට වට පිටාව පිරිසිදුව පවත්වාගෙන යාම ආදී නොයෙකුත් කාරණා පිළිබඳව ඔබ දැනටමත් බොහෝ සෙයින් දැනුවත්ව තිබෙනවා වන්නට පුළුවන්. නමුත් ඔබ කිසිසේත්ම අවධානයක් යොමු නොකරන කාරණාවන් ද තිබිය හැකියි. අද අප කතා කරන්නට සූදානම් වන්නේ එවැනි කාරණාවක් පිළිබඳවයි.

පොත් කියවීම, චිත්‍රපට බැලීම, වැනි පුරුදු කා අතරත් තිබීම ඉතාම සුවිශේෂී වටිනාකමක්. නිදහස් වේලාවට පොතක් කියවීම හෝ පුවත්පතක් කියවීම වැනි කාර්යයක නිරත වීමෙන් රට ලෝකය පිළිබඳව පුළුල් දැනුමක් ද ලබාගත හැකියි. මෙහිදි ඔබ කියවන පොත හෝ බලන චිත්‍රපටය අයත් ශානරය තෝරාගත යුත්තේ ඔබයි. එය ඔබේ රස වින්දන පරාසය මත තීරණය වන්නක්. නමුත් ගර්භණී සමයේ දී කියවිය යුතු පොත් පත් හා සඟරා පිළිබඳව ඔබ අවධානය යොමු කිරීම ඉතාම වැදගත්. ඒ සඳහා බලපාන ප්‍රධාන හේතුවක් තිබෙනවා.

දරුවා සිටින්නේ මව්කුස තුළ වුවත් ඔහුට බාහිර පරිසරය හා තිබෙන්නේ සුවිශේෂි සබධතාවක්. විශේෂයෙන්ම අවට ඇසෙන ශබ්ධ පිළිබඳව හොඳ අවදානයක් පැටියාට තිබෙනවා. එසේම මවට ඇතිවන සිතුවිලි පිළිබඳවත් දරුවාට තිබෙන්නේ දැඩි බැඳීමක්. කාන්තාවක් ගැබ් ගත් දිනයේ සිටම කියවන පොත්පත්, ශ්‍රවණය කරන ගීත, නරඹන වැඩසටහන් පවා මවගෙන් දරුවාට සම්ප්‍රේෂණය වන බව විද්‍යාත්මකව තහවුරු වී තිබෙන බව ඔබ දන්නවා. එසේ වන්නේ මව්කුස සිටින දරුවා අම්මාගේ ඉස් මස් ලේ නහර සමඟ සම්බන්ධ වීමේ ප්‍රථීපලයක් ලෙසයි.

ඒ නිසා දරුවා කුස තුළ වර්ධනය වන කාලයේ මව කියවිය යුත්තේ දරුවාගේ සංවේදී බව, මානුෂීය ගුණාංග, නිර්මාණශීලි බව හා ධනාත්මක ආකල්ප වර්ධනය වන පොත් සහ සඟරායි. එසේම චිත්‍රපට නැරඹීමේ දී දරුවන්ට වඩාත් සුදුසු නිර්මාණශීලි හා ධනාත්මක අවසානයකින් යුතු ඒවා නැරඹීම වඩාත් සුදුසු වනවා. දරු ගැබක් දරාගෙන සිටින කාන්තාවක් අතට හසුවන ඕනෑම පොතක් කියවීම සුදුසු නැහැ. යුධ ගැටුම් සම්බන්ධ පොත්, දූෂණ, නීති විරෝධි ක්‍රියාකාරකම් සම්බන්ධ පොත් මෙන්ම අනුවේදනීය හැඟීම් බහුල පොත් කියවීමෙන් වැළකී සිටිය යුතුයි.

වඩාත් සංවේදී කතා සාරයන් සහිත පොත් කියවීම මවගේ මෙන්ම දරුවාගේ හෝර්මෝන ක්‍රියාකාරිත්වයට දැඩි බලපෑමක් ඇති කරනවා. ඛේදාන්ත, ශෝකාන්ත නැති සුඛාන්තයන්ගෙන් අවසන් වන පොත් කියවීමෙන් දරුවා තුළ මවටත් නොදැනීම ප්‍රසන්න සිතුවිලි වර්ධනය වනවා.

එසේම මව පොත් කියවීමට පමණක් සීමා නොවී ගීත ශ්‍රවණය සඳහා ද කාලය වෙන්කර ගත යුතුයි. එයින් දරුවා තුළ ඉවසීම, සිතීමේ ශක්තිය වර්ධනය වීම සිදුවනවා. නමුත් මෙහිදි සංයමයෙන් යුතු ගීත තෝරා ගැනීම වඩාත් වැදගත්. ඝෝෂාකාරි, අරුත් සුන්, විලාප වැනි ගීතවලට සවන් දීමෙන් මවගේ සිතේ කලබලකාරි සිතුවිලි ඇතිවන්නට පුළුවන්. එයින් දරුවාටත් බලපෑමක් විය හැකියි. උපදින දරුවා වැඩිහිටියෙක් වූ විට සෞන්දර්යාත්මක හැඟීම්වලින් තොර, අරුත් සුන් ක්‍රියාවල නිරතවන්නෙක් බවට පත්වන්නේ එවිටයි. වෛරයෙන් හා ද්වේශයෙන් සමාජය දකින්නේ ද එවැනි දරුවන් වන්නට පුළුවන්. එම නිසා දරු ගැබක් දරා සිටින මව සරල, මිහිරි හා ශ්‍රාස්ත්‍රීය ගීත ශ්‍රවණය සඳහා කාලය යෙදවිය යුතුයි. කෙදිනක හෝ මව පියා ගැන පමණක් නොව මුළු ලෝකයම පිළිබඳව ආදරය හා කරුණාව ඇතිවන්නේ එවැනි දරුවන් තුළයි.

මවක් රාත්‍රි කාලය වැඩි වශයෙන් ගත කරන්නේ රූපවාහිණිය ඉදිරියේ නම් තමන් නරඹන නාට්‍ය හා අනෙකුත් දෑ පිළිබඳව අවධානය යොමුකල යුතුයි. දැන් කාලයේ විකාශනය වන බොහෝ ටෙලි නාට්‍යවල තිබෙන්නේ අවසන් නොවන පවුල් ප්‍රශ්න, විවාහ ගැටලු වැනි දේවල් නිසා එයින් නරඹන්නාට හරවත් කිසිවක් ලබාගැනීමට අවස්ථාවක් උදාවන්නේ නැහැ. නිතර ගැටුම් ඇතිවන, පවුල් ජීවිත විනාශ වන, දෙමව්පියන්ගේ වෙන්වීම් නිසා දරුවන් අසරණ වන මෙවන් ටෙලි නාට්‍ය නැරඹිමෙන් දරුවා තුළ ඔබ සිතනවාටත් වඩා සංවේදී සිතුවිලි පහල වනවා.

එසේම බහුතරයක් රූපවාහිණි නාලිකා මාධ්‍යවේදීන් තුළ පැවතිය යුතු ආචාර ධර්ම තඹයකට මායිම් නොකරමින් හදිසි අනතුරු, මරණ, දරුවන්ට සිදුවන අතරවරයන් පවා නරඹන්නා වෙත ගෙන එනවා. මෙවැනි පුවත් නැරඹීමේ දී ගැබිනියන් තුළ ඇතිවන ගැස්ම දරුවාට බලපාන්නේ නොදැනුවත්වමයි. මේ නිසා තෝරා බේරාගෙන වඩාත් ධනාත්මක, ප්‍රබෝධමත් වැඩසටහන් සඳහා පමණක් කාලය වෙන් කිරීම ගැබිනි මවට ඉතාම සුදුසුයි.

වැඩසටහන් නැරඹීමේ දී හා පොත් කියවීමේ දී ගැබිනි සමයට වඩාත් සුදුසු පොත් හා වැඩසටහන් තෝරා ගැනීම වඩාත් ප්‍රයෝජනවත් වනවා. එයින් දැනුම දියුණු කරගන්නට පුළුවන්. ඔබට ඔබේ ගැබිනි සමය පිළිබඳව වඩාත් වටිනා දේ බොහෝමයක් දැනගන්නටත් එය අවස්ථාවක් වනවා. ඒ නිසා මේ කාලයේ දී නිරන්තරයෙන් වඩාත් ගැලපෙන වටිනා දේ තෝරාගන්නට මවක් ලෙස ඔබ අවධානය යොමුකළ යුතුයි.