සුදු ඇත් පොව්වෙක් සුදු පියුම හොඬින් ගෙන
පැදකුණු නොකලත් සිරියහනේ
පෙරුම් පුරා මා කුසට පැමිණි බිළිඳු
මට රජ පැටියෙක්
උතුම් මව්පදවියට සූදානමින් සිටින ඔබ කිරි සිහිනය දෝතට ගන්නට මඟ බලාසිටින බව අපි දන්නවා. බය සහ ආතතිය ඔබේ හිත තුළ නැතුවාම නෙවෙයි. ඒත් ඔබ ශක්තිමත්. ඉතින් ශක්තිමත් ඔබව තවත් ශක්තිමත් කරන්නට අපිට අවශ්‍යයි. ඒ ආදරණීය බලාපොරොත්තුව වෙනුවෙන් ජීවත් වන ඔබ ගැන තමයි මේ කතා කරන්නේ.
ධනාත්මකව මුහුණ දෙන්න.
දැරියක් යුවතියක් බවට පත්වෙමින් එයින් අනතුරුව විවාහ දිවියට ඇතුළු වී ඉන් අනතුරුව ගැබිනියක් වීම ඇයගේ ජීවිතයේ සුවිශේෂි සංධිස්ථානයක්. ඔබ මෙන්ම මිලියන ගණනක් අත්විදින ප්‍රසූතිය මොහොතේ ද එකම ප්‍රර්ථනය වන්නේ නිරෝගි බුද්ධිමත් දරුවෙක් බිහිවීමයි. මේ ධනාත්මක සිතුවිල්ල පිළිසිඳගත් දා පටන් රෝහල් ගතවන තුරුම සිය මනසේ තබාගැනීම වැදගත්ම කාරණාවකි.
ආසියාතික රටවල් අතරින් ඉහළ සෞඛ්‍ය පහසුකම් සහිත රටක් ලෙස අපේ රට ඉදිරියෙන්ම සිටිනවා. දරු ප්‍රසූතිය සඳහා අවශ්‍ය සියලු උපාංගවලින් සමන්විත රෝහල් පද්ධතියක් අපට තිබෙන අතර නොමිලේ සියලු සෞඛ්‍ය සේවාවන් ලබාදීමට ද ඔවුන් බැඳී සිටියි. රෝහල් කාර්යමණ්ඩලය, විශේෂඥ වෙෙද්‍යවරුන්, හෙද සහ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් ඔබ සමීපයෙන් සිටිමින් නිරෝගී දරු සම්පතක් පිළිබඳව ඔබේ බලාපොරොත්තු ඉටු කරගැනීමට සහය ලබාදෙනවා.
ප්රසවය සඳහා රෝහල් ගත වු තැන් සිට දරුවාටත් ඔබටත් ඇතිවිය හැකි අවධානම් තත්ත්වයන් පිළිබඳව, දෙදෙනාගේම සෞඛ්‍ය තත්ත්වය කෙසේ ද යන්න පිළිබඳව, දරුවාගේ හෘද ස්පන්දනය පිළිබඳව නිරන්තර පරීක්ෂාවට ලක්වෙනවා. මෙවැනි පරීක්ෂාවකින් පසුවත් මවට සහ දරුවාට යම් හානියක් හෝ ගැටළුවක් ඇතිවීමේ අවධානමක් තිබිය හැකිය. එයට විවිධ හේතු බලපෑ හැකි අතර එය වෙෙද්‍ය ක්ෂෙත්රයේ ගැටළුවක් බවට පත්වන්නේ ඉතාම අඩුවෙන්.
ප්රසවය සඳහා සූදානමින් රෝහල් ගතවන ඔබට ලබාදෙන උපදෙස් නිසි පරිදි පිළිපැදීම ඉතාම වැදගත් වනවා. එවැනි යම් කරුණක් තේරුම්ගත නොහැකි අවස්ථාවක ඒ පිළිබඳව නැවත විමසා බලා ගැටළු නිවැරදි කරගැනීම ඉතාම වැදගත්. ප්‍රසූතිකාගාරයේ දී ලබාදෙන උපදෙස් පිළිපැදීමත් ඉතාම වැදගත්. වෙෙද්‍ය උපදෙස්වලින් තොරව පවුලේ හෝ පිටස්තරයන්ගේ අත්දැකීම් මත ලබාදෙන උපදෙස් හේතුවෙන් විවිධ ගැටළුවලට මුහුණ දෙන්නට සිදුවනවා.
ඔබේ අවධානය ඉතාම වැදගත්
කාන්තාවක් සෑම අතින්ම ශක්තිමත් වීම නිරෝගී දරු උපතක් සඳහා වඩාත් වැදගත් කරුණක්. මේ නිසාම දරුවෙක් බලාපොරොත්තු වන මවක් අවධානය යොමුකළ යුතු කාරණා බොහෝමයක් තිබෙනවා.
සිරුරේ BMI අගය නිවැරදිව පවත්වාගෙන යාම.
මෙයින් ස්ථූලතාවය වළක්වා ගන්න පුළුවන්. ගර්භණී සමයේ ඇතිවන මලබද්ධය, අධි රුධිර පිඩනය, දියවැඩියාව වැනි රෝග තත්ත්වයන් වළක්වාගත හැකියි. මෙය සාමාන්‍ය ප්‍රසූතියකින් දරුවෙක් බලාපොරොත්තු වන කාන්තාවකට ලැබෙන සුවිශේෂි සහනයකි.
ගර්භණි සමය ආරම්භයේ පටන්ම රෝහල මඟින් පැවැත්වෙන සායන සඳහා සහභාගි වීමත් අත්‍යාවශ්‍ය වනවා. එයින් මුල් කාලයේ පටන්ම ඇතිවන ගැටළු පාලනය කරගැනීමට අවස්ථාව ලැබෙනවා. ඒ වගේම සායන මඟින් ලබාදෙන උපදෙස් නිසි ලෙස පිළිපැඳීමත් අනිවාර්යයි. ගැබිනි ඔබට සුදුසු ව්‍යායාම පිළිබඳව අප නිරන්තරයෙන් සඟරාව හරහා ලිපි මඟින් ද අවධාරණය කරනවා. දරු ගැබට හානි නොවන පරිදි ව්‍යායාමවල නිරත වීම ප්‍රසූතිය පහසු කිරීමට ඉතාම වැදගත්.
සාමාන්‍ය දරු ප්‍රසූතියෙන් ඔබට ලැබෙන වාසි
පළමු දරු ප්‍රසූතිය සිදුවන්නේ ස්වභාවිකව නම් මීලඟ දරු ප්‍රසූතිය සඳහා ස්වභාවික දරු ප්‍රසූතිය තෝරාගැනීමට අවස්ථාව ලැබීමේ සම්භාවිතාව ඉතාම ඉහළයි.
සැත්කමකින් පසුව ඇතිවන පීඩාකාරි තත්ත්වයන්ට මුහුණ දීමට සිදුනොවන අතර අධික වේදනාව, කැළැල් ඇතිවීම, තුවාල පැසවීම වැනි ගැටළු ඇතිවන්නෙත් නැහැ.
නව ජන්මයා උපන් විගස හොඳින් හුස්ම ගැනීමේ හැකියාව ලැබෙන්නේ පෙනහළු තුළ තිබෙන තරල ඉක්මනින් ඉවත් වන නිසායි. එය දරුවාට මව්කිරි හොඳින් උරා බීමට පහසුවක් වනවා. දරුවා සහ මව අතර සබධතා ඇතිවීමටත් එය වඩාත් වැදගත්.
ප්‍රසූතියෙන් පසුව මවට වෙනත් අතුරු ආබාධ නොමැති නිසා ඉක්මනින් සාමාන්‍ය ජීවන තත්ත්වයට පත්වීමට හැකියාව ලැබෙනවා.
සිසේරියන් සැත්කමක දී,
නැවත දරු ගැබක් පිහිටීමේ සම්භාවිතාව අවම වනවා.
ප්‍රථම වරට සිසේරියන් සැත්කමකට මුහුණ දුන් මවකට නැවත සිසේරියන් සැත්කමකට මුහුණ දීමට බියක් ඇතිවනවා.
කලාතුරකින් ගර්භාෂය පහත් වීම වැනි ගැටළු ඇතිවන්නට පුළුවන්.
දරු ප්‍රසූත කාලය
ගර්භණි වු ඔබගේ ශාරිරික හා මානසික ගැටළු මත කාලය වෙනස් වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් පළමු දරුවාට පැය 12 ක කාලයක සිට ප්‍රසූත වේදනාව ඇතිවනවා. දෙවන තුන්වන ප්‍රසූතියේ දී පැය 5 ත් 6 ත් අතර කාලයේ දී හෝ එයට වඩා අඩු කාලයක දී ප්‍රසූතිය සිදුවනවා.
ඔබ ප්‍රසූතියට සූදානම් ද?
ඔබට ලැබී ඇති දිනය අනුව සති 40 න් හෝ ඊට ආසන්න දින ගණනක දී ප්‍රසූතිය සිදුවනවා. සමහර විට මෙය සතියක් ඉදිරියට හෝ සතියක් පසුපසට ලෙස වෙනස් වෙන්න පුළුවන්. නමුත් නිවැරදි දින ගණන එළබෙන විට දරුවාගේ දැඟලීමක් සිදුනොවුණහොත් හෝ කැක්කුමක් ඇති නොවුණහොත් රෝහල්ගත වීම වඩාත් සුදුසුයි. වෙනත් ගැටළු සහිත මවක් නම් කල් ඇතිවම රෝහල් ගත වීම සුදුසු වනවා.
බබාලා දෙන්නෙක් නම් සති දෙකක කාලයක සිටත්, බබාලා හතරක් නම් සති දෙකත් තුනත් අතර කාලයක සිටත්, රෝහල් ගත වීම වැදගත් වනවා. නමුත් සති 40 ඉක්මවීමෙන් පසුව වුවත් කලබල වීමට අවශ්‍ය නැහැ. දරුවාගේ දැඟලීමේ අඩුවක් ඇත්නම් පමණක් රෝහල් ගතවීම වඩාත් සුදුසුයි.
සාමාන්‍ය ප්‍රසූති වේදනාව අවම කිරීමට භාවිත කරන ඖෂධ හා එන්නත්
දරු ප්‍රසූතිය කියන්නේ මවකට ඉතාම වේදනාකාරි අත්දැකීමක්. ඒ වේදනාව අවම වීම සඳහා ඔබට ඖෂධ හා එන්නත් ලබාදෙනවා.
- ඩයිනොපින්
- පෙනඩින්
යන ඖෂධ 02 ක සාමාන්‍ය වේදනාවේ සහනයට ලබාදෙනවා.
මීට අමතරව සාමාන්‍ය ප්‍රසූතියේ දී මවගේ කොන්දට එන්නතක් ලබා දෙනවා. වේදනාව අවම වීම සඳහා මෙම ප්‍රතිකාරය ඉතාම වැදගත්.
සමහර මව්වරුන් මේ වේදනා නාශවලට බියක් දක්වනවා.
සාමාන්‍යයෙන් ඕනෑම ඖෂධයක් හෝ එන්නතක අතුරු ආබාධ තිබෙන්නට පුළුවන්. ඒ පිළිබඳව වෛද්‍යවරයාගෙන් අසා දැනගත හැකියි.
ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය
මයුරමාන දේවලගේ මහතා
නැගෙනහිර කොළඹ මූලික රෝහල
සටහන මහේෂාණි මීගහපොළ