free stats

දරු පැටියා හඬන විට බොහෝ මව්වරුන් වේදනාවට මානසික පීඩනයටත් ලක්වේ. මෙසේ දරුවන් හඬන සෑම අවස්ථාවකම ඔවුන් සිතන්නේ එයට හේතුව මව්කිරි මදි වීම බවයි. මේ නිසාම දරුවාට අවශ්‍ය වුවත් නැතත් මව්කිරි ලබාදීම, ඒ සඳහා වෙනත් ආදේශක ලබාදීමට පෙළඹේ. නමුත් එය වැරදි තීරණයකි.

වැඩිපුර හැඬීමට හේතු ගණනාවකි. දරුවා සහ මව අතර ඇති බැඳීමේ අඩුවක් දැනෙනවා නම් ඒ බව ප්‍රකාශ කරන්නේ හැඬීමෙනි. පවුලේ අනෙකුත් සාමාජිකයන් නොසන්සුන් වීම ද මේ නිසා සිදුවේ. එබැවින් හැඬීමට බලපාන විවිධ හේතු පිළිබඳව දැනුවත් වී සිටීම වඩාත් වැදගත් වේ.

වර්ධනයේ වේගය නිසා ඇතිවන කුසගින්න

දරුවා ඉපදී ටික කාලයකට පසුව තද කුසගින්නක් හටගත හැකිය. එයට හේතුව ඒ කාලයේ දී ඇතිවන වර්ධන වේගයයි. මේ අවස්ථාවේ දරුවාට නිතර නිතර ආහාර අවශ්‍ය වේ. සති දෙක, සති හය, මාස තුන යන වයස් වලදී ද සමහර විට අනෙකුත් අවස්ථාවලදී ද දරුවාට නිතර නිතර ආහාර අවශ්‍ය බව පෙන්වයි. දින කිහිපයක් තුළ දරුවා නිතර නිතර කිරි බීම සිදුකරන අතර මේ හේතුවෙන් කිරි නිෂ්පාදනය ද වැඩි වේ. නමුත් මේ කාල සීමා පසුවන විට කිරි බීමේ රුචිය අඩුවී යා හැකිය.

මවගේ ආහාර

මව ගන්නා සමහර ආහාර වල අඩංගු ප්‍රෝටීනවලට දරුවා ආසාත්මිකතා පෙන්නුම් කරයි. එළකිරි, සෝයා, බිත්තර, රට කජු හෝ මව්කිරි ලබාදීමට ප්‍රථම කෘතීම කිරි ලබා දීම මෙවැනි ආසාත්මිකතාවලට හේතුවිය හැකිය. මව කෝපී හෝ කෝලා වර්ග පානය කරන විට එහි ඇති කැෆේන් වර්ග මව්කිරි සමඟ එකතු වේ. මෙයින් දරුවාට යම් අසාමාන්‍ය තත්ත්වයක් ඇතිවීමට ඉඩ තිබේ. එබැවින් මව ගන්නා ආහාර පිළිබඳව සැලකිලිමත් වීම වැදගත් වේ. විශේෂයෙන් මව්කිරි ලබා දෙන මවක් ආහාර රටාව පිළිබඳව වෛi උපදෙස් සඳහා යොමුවීම වැදගත් වේ.

මව ලබාගන්නා ඖෂධ වර්ග

දුම් පානය කිරීම මෙන්ම සමහර ඖෂධ වර්ග නිසාත් දරුවාට යම් යම් ආසාත්මිකතා ඇතිවේ. එයට හේතුව ඒවායෙහි ඇති විවිධ සංඝටක මව්කිරි සමඟ එක්වීමයි. අක්‍රිය දුම්පානය නිසා මවට ඇතිවන බලපෑම ද දරුවාට විවිධ අන්දමේ ආසාත්මිකතා සහ ගැටළු ඇතිවීමට හේතු වේ.

මව්කිරි වැඩියෙන් නිපදවීම

පියයුර සහ දරුවාගේ මුව අතර ඇති දුර්වල සම්බන්ධය නිසා මව්කිරි නිපදවීම වැඩිවේ. එයට හේතුව වන්නේ දරුවා නිතර නිතර මව්කිරි බීමට රුචියක් දැක්වීමයි. එක් පියයුරකින් කිරි බී අවසන් වීමට පෙර තවත් පියයුරකින් කිරි බීම නිසා නිසි ලෙස කුස පිරීමක් සිදුනොවීම ද මෙයට හේතු වියහැකියි. නිතර නිතර බුරුලට මල පිටවීම ද සිදුවන අතර එයින් දරුවාගේ බඩගින්න උග්‍ර වේ. ඒ නිසා දරුවා නිතර නිතර හඬා වැටෙන බැවින් මවට හැඟෙන්නේ නිසි ලෙස මව්කිරි ලබාදී නොමැති බවයි.

බේබි කෝලික්.

ඉහත සඳහන් කිසිඳු හේතුවක් නොමැතිව දරුවා නිතර නිතර හඬයි නම් එසේ හඬන්නේ නිෂ්චිත කාලයක, නිෂ්චිත ක්‍රමයකට නම්, විශේෂයෙන් සවස් කාලයට නම්, එය බේබි කෝලික් හෙවත් බඩේ කැක්කුම් තත්ත්වයක් විය හැකියි. එහිදි උදරාබාධයක් ඇති ආකාරයට කකුල් ඉහළට ඔසවයි. කිරි බීමට අවශ්‍ය බව පෙන්වයි. අස්වසාලීමට පහසුය.
උදරෙයේ හුළං පිරී ඇති ආකාරයක් ද දැනේ. නමුත් මේ තත්ත්වය මාස තුනක් ඉක්ම ගියපසු සුවපත් වේ.

අවශ්‍යතාවය වැඩි දරුවන්

අනෙක් බිළිඳුන්ට වඩා වැඩියෙන් හඬන දරුවන් ද සිටියි. එම දරුවන් අනෙක් දරුවන්ට වඩා වඩාගැනීමේ අවශ්‍යතාවයෙන් පෙළෙයි. නිදාගැනීමට වෙනම තොටිල්ලකින් තබන දරුවන් අන් දරුවන්ට වඩා වැඩියෙන් හඬන්නේ මවගේ ස්පර්ශය වැඩි වූ විටයි. මව්වරුන් ඒ පිළිබඳව අවධානය යොමුකිරීම වැදගත් වේ.

නිතර දරුවා හඬන විට තමා වැරදිකාරයෙක් හෝ දුර්වලයෙක් ලෙස යම් මවකට හැඟෙන්නට පුළුවන්. අනෙක් පුද්ගලයන් ද මවට ඒ ආකාරයෙන් සිතෙන්ට හේතුවන අන්දමේ හැසිරීම් පෙන්විය හැකියි. දරුවා පිළිබඳව වැරදි ප්‍රතිරූපයක් ඇතිකරගන්නා පුද්ගලයන් එනම් දරුවා නරක, දඟකාර දරුවෙක් යයි හැඟෙන ආකාරයෙන් හැසිරෙන පුද්ගලයන් ද සිටියි. නමුත් මෙවන් සංවේදී අවස්ථාවලදී මවට අවශ්‍ය සහය ලබාදීම පවුලේ අනෙක් අයගේ වගකීමයි.

සීතල, උණුසුම, පරිසරයේ විවිධ වෙනස්කම් දරුවාගේ හැඬීමට හේතු වේ. එවැනි අවස්ථාවලදී මව්කිරි මදිවී යයි සිතා මව්කිරි දීමට උත්සහ කරනු වෙනුවට හැඬීමට විවිධ හේතු ඇති බව අවබෝධ කරගැනීම වැදගත් වේ. මේ ලිපිය එයට ප්‍රයෝජනවත් වනු ඇත.

හෙද නිලධාරිනි
එම්. කේ. එස්. නිල්මිණි මහත්මිය
ශික්‍ෂණ රෝහල
මහමෝදර

සටහන අරුණි ජයසේකර