free stats

පුංචි පැටියා ඔබේ ලෝකයට ඇවිත් දැන් මේ ගෙවෙන්නේ තුන්වෙනි මාසය. පැටියගේ සුරතල් එක්ක තනිවුණු ඔබට කාලය ගෙවිලා යනවා දැනෙන්නත් නැතුව ඇති. කැලැන්ඩරේ දින ගනන් ගෙවුණත් පැටියා තාම ජිවිතේ අල්ලගන්නේ
හරිම හෙමින්. ඒ නිසාම හෙමින් හෙමින් අලුත් දේවල්වලට හුරුවෙන පැටියා ඔබට අරගෙන එන්නේ අලුත්ම අත්දැකිමක්. ඒ වෙනස ඔබේ ජිවිතය වෙනස් කලා වගේ ඔබට දැනේවී.

මුල්ම මාස දෙකේ පැටියා අදුනගෙන තිබුනේ අම්මා ගේ සුවඳ විතරයි. දැන් පැටියට අම්මාව දැකපු ගමන් අදුනගන්න පුලුවන්. අම්මා තමන්ගේ ලඟ ඉන්නවා කියලා දැනුනු ගමන් එන ආදරණිය හැඟීම පැටියා අම්මට පෙන්වන්නේ හුරතල් සිනහවකින්. අන්න ඒ හිනාව අම්මා කෙනෙකුට ගෙන එන්නේ පුදුම හැගීමක්. මුලින් ම පැටියා හිනාවුණු දවස හුගක් අම්මලාට කවදාවත්ම අමතක වෙන්නේ නැහැ. “ මගේ රත්තරන් පැටියා හිනා වුණා ” කියලා ඔබේ ආදරණිය සැමියට විතරක් නෙවෙයි අම්මට නැන්දම්මට පවා කියන්න තරම් අම්මා ගේ හිත සතුටින් පිරෙනවා.

ඔන්න ඉතින් ඔය විදියට හිනාවෙන්න පටන් ගත්තු රත්තරන් පැටියට දැන් වටපිට බලන්නත් පුලුවන්. තනිකමක් පාලුවක් දැනුනු වෙලාවක අම්මා කාමරේ ඉන්නවද කියලා ඇස් හරව හරව බලන්නේ අන්න ඒ නිසයි. දැන් පුංචි සද්දයක් ඇහුණත් ගැස්සෙන්න තරම් පැටියා සංවේදියි. ඒ නිසා පැටියා බය වෙන සද්දවලින් තොර නිස්කලන්ක පරිසරයක පැටියාව තියන්නත් අමතක කරන්න එපා. මොකද පැටියා මේ වයසට බයවෙන එක ඒ තරම් හොද නැහැ.

දැන් ඉතින් නිතරම පැටියා ලඟ කෙනෙක් ඉන්න ඕන කාලේ. හවස් වරුවට නම් පැටියා ලඟ ඉන්න වෙන්නේ තාත්තාට. මොකද අම්මා ඒ වෙලාවට කාර්යබහුලයි නේ. හැබැයි දවල් වරුවම පැටියා ගත කරන්නේ අම්මා එක්ක. ඒහෙමත් නැත්නම් එයාගේ ආච්චිලා සියලා එක්ක. මේ නිසා පැටියගේ ආරක්ෂාව ගැන බයවෙන්න දෙයක් නැහැ. හැබැයි පැටියව තනියම නම් තියලා යන්න එපා. මොකද එයා දැන් කකුල් අත් සොලවමින් දඟවැඩ කරන කාලේ. මේ කාලේ ඇදේ තනියම ඉන්න පැටියා හදිසියේම වැටෙන්න වුණත් පුලුවන්.

ඒ වගේම අපේ පුංචි චණ්ඩියා මේ කාලෙදි තද පාට වර්ග අදුනගන්නත් දන්නවා. ඒ නිසා පුලුවන් වෙලාවට පැටියට තද වර්ණ සහිත රෙදි සෙල්ලම් බඩු දෙන්න අමතක කරන්න එපා. එයින් පැටියාගේ ඇස් පෙනීමේ අඩුපාඩු කම් වුනත් තියෙනවා නම් අදුනගන්න හැකියාව ලැබෙනවා. හැබැයි නිතරම පැටියා අතට දෙන්න ඕන මෘදු ආරක්ෂිත සෙල්ලම් උපකරණ පමණයි. නැත්නම් පැටියා ට අනතුරක් වෙන්න ඉඩ තියෙනවා. විශේෂයෙන් කුඩා කොටස් ගැලවෙන ඇට බෝල සහිත සෙල්ලම් උපකරණ කොටස් පැටියට ගිලෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා ඒ ගැනත් අවධානයෙන් ඉන්න.