free stats

දරුවෙක් ලැබෙන්න ඉන්න කාලෙ දි උදරය ඉදිරියට නෙරා එන එක සාමාන්‍ය දෙයක්. බබාගේ පරිමාව, වැදැමහේ ප්‍රමාණය, ඒ වටා ඇති තරලය ආදි කාරණා හේතුකරගෙන තමයි මෙහෙම වෙන්නේ. නමුත් ප්‍රසුතියෙන් පසුවත් සමහර කාන්තාවන්ගේ උදරය අඩුවන්නේ නැහැ. මෙසේ වීමට හේතු කිහිපයක්ම තියෙනවා. කුස වර්ධනය වීමේ දි උදරයේ ඉදිරිපස ඇති මාංශ පේශි ඇදිමට ලක් වීම එක් හේතුවක්. දරුවාට මව් කුස තුළ සිටිමට අවශ්‍ය ඉඩ ප්‍රමාණය සකසා ගැනීම සඳහා පේශි කණ්ඩරා ඇදීමට ලක් වෙනවා. මෙය තවත් එක් හේතුවක්. ඒ වගේම සිරුරේ හෝර්මෝන වෙනස් වීම උදරය ඉදිරියට නෙරා ඒමට සහ ප්‍රසුතියෙන් පසුවත් එලෙසම පැවතිමට හේතුවක් වනවා.

ඒ වගේම මේ කාලෙ දි කාන්තාවක් ඉස්සරට වඩා වැඩියෙන් ආහාර ගන්නවා. එයාට දැන් ගෙදර අයගෙන් ලැබෙන ආදරය සහ සැලකීමත් ඉස්සරට වඩා වැඩියි. මේ නිසාම ඉස්සර වගේ වැඩ කරන්න දෙන්නේ නැහැ. ගර්භනි කාලෙදි වුණත් කරන්න පුලුවන් වැඩ තියෙනවා. මේවායින් සිරුරට අවශ්‍ය ව්‍යායාම ලබාගන්න පුලුවන්. දරුවා ලැබිලා ටික කාලයක් යනතුරුත් කාන්තාවන් නිවසේ කටයුතුවලට යොමුවන්නේ නැහැ. මේ නිසා උදරය අඩුවෙන්න බාහිරව කිසිම පෙළඹවීමක් ලැබෙන්නේ නැහැ.

ප්‍රසුතියෙන් පසුව උදරය අඩුවෙන්න දින 49 ක් එහෙමත් නැත්නම් සති 6 ක් පමණ ගතවෙනවා. මේ කාලය ව්‍යුහාත්මකව එක් එක් අයට වෙනස් වෙන්න පුලුවන්. සමහර කාන්තාවන්ගේ බඩ අඩු වෙන්නේ ඉතාම සුලු කාලයක් තුල දී. සමහර කාන්තාවන්ට බඩ අඩු කරගන්නම බැහැ. ඒ ඒ අයගේ ශරිර ස්භාවය අනුවත් මෙය වෙනස් වෙනවා. වැඩිපුර ආහාර අරගෙන මේදය තැන්පත් වුණා නම් උදරය අඩුකරන එක ටිකක් අමාරුයි.

මුලින් හිටියා වගේම ලස්සන සිහින් සිරුරක් ලබාගන්න නම් කාන්තාවන්ට ටිකක් සැලකිලිමත් වෙන්න සිදු වෙනවා. තෙල් සහිත ආහාර වගේම අධික පැණි රසයෙන් යුතු ආහාර සුදුසු නැහැ. අපේ සමාජයේ මතයක් තියෙනවා දරුවෙක් ලැබෙන්න ඉන්න අම්මා කෙනෙක් දෙන්නෙකුට ඇතිවෙන්න කන්න ඕන කියලා. නමුත් එහෙම ආහාර ගන්න අවශ්‍ය නැහැ. වැඩිවෙන්න ඕන ගන්න ආහාර ප්‍රමාණය නෙවෙයි ආහාරයේ ගුණාත්මක භාවයයි. වැඩිපුර එළවලු පළතුරු එකතු කරගන්නවා නම් ආහාරය බොහෝම පෝෂ්‍යදායී එකක් වෙනවා. ඒ වගේම කොළපාට එළවලු පලාවර්ග වැඩියෙන් කෑමට එකතු කරගන්න පුලුවන්. මේ වගේ දේවල් අපේ පරිසරයෙන් බොහොම පහසුවෙන් සපයාගන්න හැකි නිසා වියදමත් අඩුයි.

ව්‍යායාම කිරිම මෙතනදි වැදගත්ම කාරණයක්. අනවශ්‍ය මේදය ඉවත් කර උදරය අඩු කරන්න එයට පුලුවන්. නමුත් දරු ප්‍රසුතියෙන් පසුව කාන්තාවක් ව්‍යායාමවලට යොමුවිය යුත්තේ වෛද්‍ය උපදෙස් මත පමණයි. ස්වභාවික දරු ප්‍රසුතියකින් සති දෙකකට පසුව ඒ සඳහා යොමු වෙන්න පුලුවන්. සිසේරියන් ක්‍රමයට දරුවා බිහිකල කෙනෙක් නම් ප්‍රසුතියෙන් සති හයක පමණ කාලයකට පස්සේ ව්‍යායාම වලට යොමු වීම වඩාත් සුදුසුයි. මේ සඳහාම සැකසුනු විශේෂ ව්‍යායාම තියෙනවා. ප්‍රසුතිය සිදුවන මොහොතේ එය පහසුකරවීම සඳහා ලිහිල් වුණු පේශි නැවත සකස් කිරිම මෙම ව්‍යායාම වලින් කෙරෙනවා. යම් කාල සීමාවකින් පසු මෙ මගින් අවශ්‍ය ප්‍රතිපල ලබාගන්න පුලුවන්.

මෙයින් එක්තරා විශේෂ ව්‍යායාමයක් තියෙනවා. එය නිවසේ සාමාන්‍ය කටයුතු කරන අතරතුර වුණත් කරන්න පුලුවන්. යම් කාර්යයක නිරත වෙන අතරතුර උදරයේ පේශි කොටස් විනාඩි 10 ක් 15 ක් පමණ වේලාවක් තද කරගෙන ඉන්න එක තමයි මෙතනදි වෙන්නේ. මේ විදියට කාලයක් කරද්දි ඉබේම ඒ තද කරන තැන තියෙන මස් පිඩු ශක්තිමත් වෙනවා. මේ වගේම උදරය ඉදිරිපස ශක්තිමත් කරන මේදය අඩුකරන ව්‍යායාමත් තියෙනවා. නිවැරදිව මෙම ව්‍යායාම පුහුණු කිරිමෙන් හිර ඇදුමක් අදින්න ඕන නම් සපෝර්ට් බෙල්ට් පාවිච්චි කරන්න පුලුවන් මෙයින් හානියක් වෙන්නේ නැහැ. නැවත දරු ප්‍රසුතියට බාධා මතුවන්නෙත් නැහැ.

මත්පැන් සහ මත්ද්‍රව්‍ය වලින් ඉවත් වීමත් අනවශ්‍ය ලෙස උදරය නෙරා ඒම වැලැක්වීමේ තවත් ක්‍රමයක්. මත් පැන් පානය කරන විට ඒ සමඟ අධික තෙල් සහිත මස් වර්ග, ඒ වගේම තෙලෙන් බදින ලද ආහාර කැවෙනවා. එය උදරය ඉදිරියට නෙරා ඒමට හේතුවක්. තෙල් කෑම වර්ග පාලනය කිරිම වගේම වැඩියෙන් ජලය පානය කිරිමත් සාර්ථක ප්‍රතිපල සඳහා හේතුවක් වනවා.

වෛද්‍ය ඉන්දික සේනාරත්න
වෛද්‍ය නිලධාරි
මුලික රෝහල
දඹුල්ල.