පරම්පරාව ඉදිරිය ගෙන යන්න පිරිමි දරුවෙක් ඕනේ කියලා අපේ අත්තම්මලා ඉස්සර කියනවා අපි අහලා තියෙනවා. ඒත් ඒ පරම්පරාව සෞඛ්‍ය සම්පන්නව නිරෝගිව ගෙනයන්න පුළුවන් කාන්තාවකටම පමණක් බව ඒ අය එදා දැන සිටියේ නැහැ. ඒ නිසාම අත්තම්මලා විතරක් නෙවෙයි අපේ අම්මලාත් ගෙදර පුතාලාට තමයි හොදින් සලකන්නේ. හොදින් සලකනවා කියන්නේ කෑම බීම දෙනකොට මුලින්ම පුතාලට දීල තමයි දුවලට දෙන්නේ. බත්හැලියෙන් මුලින්ම බෙදන්නේ පුතාලාට ඊට පසුව තමයි දුවලට බෙදන්නේ. අපේ අම්මාලා ආත්තම්ලා එදා කල්පනා කළේ තමන්ගේ පරපුර ඉදිරියට ගෙන යන්නේ පුතාලා කියලා. ඒත් ඒ තත්ත්වය අද වෙනස් වෙලා. අද ගෙදර ඉන්න දුවට තමයි මුල්ම බත් හැන්ද බෙදන්නේ. මොකද තමන්ගේ පරම්පරාව නිරෝගිව ඉදිරියට ගෙන යාමෙ වගකීම පැවරෙන්නේ කාන්තාවට. ඇය මනා පෝෂණයෙන් යුක්ත නම් නිරෝගි නම් ඇය විසින් බිහිකරන දරුවා නිරෝගි සෞඛ්‍ය සම්පන්න බවකින් යුක්තයි. නිරෝගි දරුපරපුරක් සිටින රටක් සංවර්ධනය කරා වේගයෙන් ගමන් කරනවා. ඒ නිසාම නිරෝගි දරුපරපුරක් බිහිකිරීමේ වගකීම හිමිවෙන්නේ ගෙදර අම්මාටයි.
නිවසක තම දියණිය විවාහ වූණාට පසුව ඇය කෙදිනක හෝ මවක් වෙනවා. ඇය මවක් වීමට පෙර ඒ කියන්නේ විවාහ වීමට බලාපොරොත්තුවෙන් සිටින කාලයේදීම මව විසින් ඇයට මනා පෝෂණයක් ලබා දීම ඉතාමත් වැදගත්. මෙහිදී ඇය උසට සරිලන බරකින් විටමන් හෝ අයඩින් ඌණතාවයකින් තොරව රක්තහීනතාවයකින් තොර නිරෝගී
යෞවනියක් විම ඉතාමත් වැදගත්. ඇය විවාහ වූවාට පසුව දරුවෙකු බිහිකරන බැවින් ඇයට හොද පෝෂණයන් ලබා දීම නැන්දම්මාගේද යුතුකමක්. තම පරම්පරාව ඉදිරියට ගෙන යාමට ඇය බිහිකරන දරුවා නිරෝගි සෞඛ්‍ය සම්පන්න විය යුතු නිසා. ඇය අපගේ පෙර පුරුද්ද ඒ කියන්නේ නිවසේ වැඩි පෝෂණය පිරිමි දරුවන්ට ලබා දීම හේතුවෙන් මේ වන විට විවාහ අපේක්ෂාවේ පසුවන යෞවනියන්ගෙන් සියයට 22ක ප්‍රතිශතයක් නීරක්තියෙන් පෙළෙනවා. ඒ කියන්නේ සෑම සෑම තරුණියන් 5න්ම 1 අයෙක් නීරක්තියට ගොදුරු වී තිබෙන බවයි.
නිවසේ නව යෞවන වයසේ පසුවන දියණිය කම්මැලි ගති පෙන්වයි නම් නිදිමත ගතියෙන් යුක්ත නම් බලා සිටියදී සුදුමැලි වෙනවා නම් එය දරුවා රක්ත හීනතාවයෙන් පෙළෙනබව අගවන ලක්ෂණයක් විය හැකියි.
රුධිරය මිලිලීටර් 100ක හිමොග්ලොබින් ග්රූම් 12කට වඩා අඩුනම් එවැනි දරුවන් නීරක්තියෙන් පෙළෙනවා. මෙවැනි දරුවන් විවාහයෙන් පසුව බිහිකරන දරුවන්ගේ වැඩීම ඉතාමත් අඩාලයි. ශරීරයට අවශ්‍ය ඔක්සිජන් ගෙන යනුයේ රුධිරයේ පවතින
හිමොග්ලොබින් මගින්. මවගේ සිරුරේ හිමොග්ලොබින් අඩු වීමෙන් කලලයට ලැබෙන ඔක්සිජන් ප්‍රමාණය අඩුවෙනවා. මේ හේතුවෙන් කලලයේ වැඩීම බාලවෙනවා. නීරක්තියෙන් පෙළෙන මවක් බිහිකරනේ අඩු බර දරුවන්.
දරුවා අඩුබරින් යුක්ත වන්නේ ශරීර අභ්‍යන්තර අවයවයන් නියමිත පරිදි වර්ධනය වී නොමැති නිසා. නියමිත පෝෂණය හා ඔක්සිජන් නොලැබීමෙන් දරුවා වර්ධනය වන්නේ අඩුපීඩන තත්ත්වයක් තුල මෙවැනි දරුවන්ගේ හෝමෝන පද්ධතිය ඒ වගේම එන්සයිම පද්ධතිය වෙනස් වෙනසකට ලක්වෙනවා. මෙහි ප්‍රතිපලය වන්නේ අප ගන්නා ආහාරයේ පවතින කාබෝහයිඩ්ඩ්රේට ප්‍රෝටීන හා ඛනිජ ලවණ වෙනසකට ලක්වෙන්නේ නියමිත ආකාරයට නෙවෙයි. මෙහි අනිසි ප්‍රතිපලය වන්නේ දරුවන් අඩුවයසේදීම දරුවා බෝ නොවන රෝගයන්ට ගොඳුරු වීමයි.
මේ තත්ත්වය වලකා ගැනීම සදහා අප හැම විටම නිවසේ සිටින පිරිමි දරුවන්ට වඩා ගැහැණු දරුවන්ගේ පෝෂණය ගැන වැඩි අවදානයක් යොමුකළ යුතුය. ඇය මනා පෝෂණයකින් යුක්ත නම් රටක අනාගත පරපුරම නිරෝගි වන බව රහසක් නොවෙයි. ශක්තිය වර්ධක හා ආරක්ෂක ආහාරවලින් සමන්විත සමබල ආහාර හැම විටම දියණියට ලබා දීම මවක් වගබලා ගන්න ඕනේ.
ශක්තිය අඩංගු ආහාර ධාන්‍ය වර්ග කුරක්කන් බඩඉරිගු මෙනේරි අල බතල කොස් දෙල් යනාදි ශක්තිය ගෙන දෙන ආහාර පිඟානෙන් හරි අඩක් තිබිම ඉතාමත් වැදගත්.
වර්ධක ආහාර මස් මාලු බිත්තර කරවල වැනි සත්ව ආහාර වගේම ධාන්‍ය වර්ගයක් ලෙස ඇටවර්ග කව්පි කඩල මුංඇට වගේ දෙයක් මෙන්ම ආරක්ෂක ආහාර ලෙස එළවලු පළතුරු හා පළාවර්ග ප`ිගානෙන් තුනෙන් දෙකක් තිබීමත් ඉතාමත් වැදගත්.
ඒ නිසා හැම විටම නිවසේ මවක් ලෙස ඔබ ඔබගේ දියණියගේ පෝෂණයට මුල්තැන දෙන්න. එය සමස්ත රටේම අනාගත ආයෝජනයක් බවත් අමතක නොකරන්න.
ප්‍රජා වෛද්‍ය විශේෂඥ
ශාන්ති ගුණවර්ධන
සටහන ශ්‍රියානි විජේසිංහ