දසමසක් කුස තුළ වර්ධනය වූ දරු පැටියා ඔන්න දැන් අපේ ලෝකෙට ඇවිත්. හාහා පුරා කියා දරුවෙක් ලැබුණම හැම අම්මා කෙනෙක්ටම දරු පැටියා ගැන වගේම මව්පදවිය ලැබූ තමා ගැනත් ප්‍රශ්න ගොඩක් ඇති වෙනවා. ඒ වගේම අම්මා කෙනෙක්ටම බොහොමයක් අපහසුතාවලට මුහුණ දෙන්නත් සිදු වෙනවා. නමුත් මව්පදවිය කියන්නේ අම්මා කෙනෙක්ට මහමෙරක් තරම් වටින දෙයක් නිසාම බොහෝ විට තමාව දෙවෙනි තැනට දාලා පැටියා ගැනම විතරක් සැලකිලිමත් වෙන්න අම්මාලා උනන්දු වෙනවා. ඒත් අම්මා සුවෙන් සිටියොත් තමයි පැටියාටත් ලැබිය යුතු හැමදේම උපරිමයෙන් ලැබෙන්නේ කියලා අම්මා කෙනෙක් හැමවිටම වටහාගත යුතුයි. ඒ කියන්නේ අම්මාට අසනීප තත්ත්වයක් හෝ ඇති වෙලා පැටියාගෙන් ඈත් වෙන්න සිදු වුණොත් අම්මාගේ උණුහුම ආදරය සොයන මේ පුංචි පැටියා පත්වෙන්නේ හරිම අසරණ තත්ත්වයකට. ඉතිං ඒ නිසා හැම අම්මා කෙනෙක්ම තමන්ගේ සෞඛ්‍ය තත්ත්වය ගැනත් උපරිමයෙන් සැලකිලිමත් වීම බොහොම වැදගත් වෙනවා.
ප්‍රසූතියේ ස්වභාවය අනුව මවක් තමන් ගැන සැලකිලිමත් විය යුතු ආකාරය, ප්‍රවේසම් විය යුතු ආකාරය ගැන වගේම වෛ්යවරයෙකු වෙත යොමු විය යුතු තත්ත්ව ගැනත් ඔබව දැනුවත් කිරීම අත්‍යවශ්‍යයි කියලා අපි හිතුවේ පෙර සඳහන් කළ විදියටම අම්මා, ඇයට දෙන්නේ දෙවෙනි තැන නිසාමයි.
සාමාන්‍ය ප්‍රසූතිය/අඩු හෝ වැකියුම් උපකරණ මගින් සිදුවන ප්‍රසූතිය
ඔබ සාමාන්‍ය දරු ප්‍රසූති මගින් දරුවා බිහි කළ මවක් නම් ඔබේ අත්දැකීම අනුව යෝනි විවරයේ කුඩා කැපුමක් යෙදූ බව ඔබ දැනටමත් දන්නා කරුණකි. එය දරුවා බිහිවීම පහසු කිරීම සඳහා යොදන අතරම එසේ නොයෙදීම ඇතැම් විට යෝනි විවරය ඉරීයෑමකට ලක්වීමට හේතු විය හැකිය. එසේම සාමාන්‍ය දරු ප්‍රසූතියකදී දරුවා බිහිවීම අපහසු වූ අවස්ථාවලදී අඩු හෝ වැකියුම් ක්‍රම යොදාගනිමින් දරුවාගේ හිසමත යම් බලයක් යොදා දරුවා පිටතට ගැනීම සිදු කෙරේ. මෙහිදී අඩු හෝ වැකියුම් ක්‍රම යොදා ගැනීම මගින් දරුවා පිටතට ගැනීමට පහසු වන අතරම මෙ අවස්ථාවට මුහුණ දුන් මව්වරුන්ද සාමාන්‍ය ප්‍රසූතියට මුහුණ දුන් මව්වරුන් මෙන්ම අවශ්‍ය උපදෙස් පිළිපැදිය යුතු වේ. හොඳින් ඇවිදීම නිසා මනා රුධිර පරිවහනයක් සිදුවන බැවින් මේ තත්ත්වයේ සිටින මවකට තමන්නේ තුවාල ඉක්මනින් සුව කරගැනීමට හැකියාව ලැබේ. එසේම වෛද්‍ය උපදෙස් පරිදි ව්‍යායාම ආරම්භ කිරීම ඉතා වැදගත් වේ.
සාමාන්‍ය ප්‍රසූතිය මෙන්ම අඬු හෝ වැකියුම් මගින් දරුවා ප්‍රසූත කළ මව්වරුන්දතම යෝනි ප්‍රදේශය පිරිසිදු වතුරෙන් සෝදා පිසදා වියළිව තබාගත යුතු අතරම එම ස්ථානය පිරිසිදු කිරීමට මෘදු සබන් වර්ගයක් හෝ සේදුම් දියරයක් භාවිත කිරීමේ වරදක් නැත. නමුත් කිසිදු අවස්ථාවක විෂබීජ නාශක දියර වර්ග, වෛද්‍යවරු විසින් නිර්දේශ නොකළ ආලේපන වර්ග යෙදීම හෝ නොකළ යුතුය. තවද සනීපාරක්ෂක තුවා නිසි පරිදි මාරු කරමින් එම ප්‍රදේශය පිරිසිදුව සහ වියළිව තබා ගැනීමට උනන්දු විය යුතුය. මේ ප්‍රදේශය අවට පිසදැමීමේදී ඝනකම් තුවා වැනි දේ යොදා නොගෙන පිරිසිදු කපු රෙදි කැබැල්ලක් යොදාගන්නේ නම් වඩාත් සුදුසුය.
එසේම සාමාන්‍ය ප්‍රසූතියට මුහුණ දුන් මවකට අධික ලෙස රුධිරය වහනය, යටි බඩෙහි අධික වේදනාව, හුස්ම ගැනීමේ අපහසුතා, පපුවේ වේදනාව, කෙණ්ඩාවල අධික වේදනාවක් ඇති වීම වෛද්‍ය උපදෙස් කරා යොමු විය යුතු තත්ත්වයන් වේ. එසේම රත් පැහැ සූතිකා රුධිරය දින දෙකකට වඩා වැඩි කාලයක් පුරා අධික ලෙස පිටවීම හෝ විශාල රුධිර කැට පිටවීම හෝ එසේ වහනය වන රුධිරය දුර්ගන්දයක් එසේත් නොමැති නම් සැරව සහිත නම් එවැනි මව්වරුන් අනිවාර්යෙන්ම වෛද්‍ය උපදෙස් පැතිය යුතුය. මීට අමතරව මැහුම් ගැලවීම/පැසවීම/උණ/සැරව ගෙඩි ඇතිවීමත් වෛද්‍ය උපදෙස් කරා යොමු වීමට සිදුවන අවස්ථාවන්ය. යම් හෙයකින් මවට පසු ප්‍රසව විශාදය වැනි තත්ත්වයක් නිසා හෝ දිගින් දිගටම නින්ද නොයාම, දරුවා ගැන උනන්දුව අඩු වීම, දරුවා ගැන බිය දැනීම වැනි මානසික ගැටලුකාරී අවස්ථාවක් නම් එවැනි අවස්ථාවකදීද වෛද්‍ය උපදෙස් පැතීම ගැටලු නිරාකරණය කරගැනීමට ඔට සවියක් වනු ඇත.
අඬු හෝ වැකියුම් උපකරණ මගින් සිදු වූ ප්‍රසූතියකින් එම ස්ථානයේ ඉදිමුමක් කහ පැහැති සැරව සහිත හෝ දුඟද ශ්‍රාවය පිටවීමක් නිතර නිතර අධික වේදනාවක් දැනීම, උණ/මුත්‍රා දැවිල්ල/නිතර නිතර මුත්‍රා පිටවීම හෝ නොදැනීම මුත්‍රා පිටවීම එසේත් නැතිනම් කිවිසීමේදී මුත්‍රා පිටවීම වැනි තත්ත්වයන් ඇත්නම් වහාම වෛදය උපදෙස් කරා යොමු විය යුතුය.
සීසේරියන් සැත්කම මගින් සිදුවන ප්‍රසූතිය
යම් යම් සංකූලතා හේතුවෙන් සාමාන්‍ය ප්‍රසූතියට යොමු නොකරන මව්වරුන් සිසේරියන් සැත්කම හරහා ප්‍රසූතිය සිදුකරන අතරම එවැනි මව්වරුන් ද සැලකිලිමත් විය යුතු කරුණු රැසකි. සිසේරියන් සැත්කමය යොමු වූ මව්වරුන්ට පඩි නැගීම අවම කළ යුතු බවටත් එකම ඉරියව්වෙන් එකම තැන වැඩි වේලාවක් සිටීමෙන් වලකින ලෙසත් වෛද්‍යවරු උපදෙස් ලබා දේ. සැත්කමෙන් සති හයකට පසු උදරය සඳහා අවශ්‍ය ව්‍යයාම කිරීම ආරම්භ කිරීමට වෛද්‍යවරු උපදෙස් ලබා දෙන අතරම දිනපතා ස්නානය (වෙනත් රෝග තත්ත්ව නොමැති නම්) කොට කැපුම් තුවාලය පිරිසිදුව වියළිව තබා ගත යුතුය. තුවාලය පිරිසිදු කිරීමට විෂබීජ නාශක යෙදීම නොකළ යුතු අතරම සමබල ආහාර වේලක් ලාගැනීමත් හොඳින් ජලය පානය කිරීමත් වැදගත් බව වෛද්‍යවරු පවසයි.
සිසේරියන් සැත්කමට යොමු වූ මවක් වෛද්‍යවරයෙකු වෙත යොමු විය යුතු අවස්ථා ලෙස යටි බඩේ අධික වේදනාව, අධික රුධිර වහනය හෝ පිටවන රුධිරයේ දුඟදක් හැමීම, උණ, මුත්‍රා දැවිල්ල, දිගටම පවතින කැස්ස ,මලානික බව, කෙණ්ඩා වේදනාව, තුවාල කැලල අවට රතු වීම/සැරව ඇති වීම හෝ තුවාලය විවෘත වීම වැනි අවස්ථා දැක්විය හැකිය. ප්‍රසූතියෙන් පසුව මේ ආකාරයෙන් සැලකිලිමත් විය යුතු ඔබ ගැබිනි සමයේ ඔබට පැවති රෝග තත්ත්ව සම්බන්ධයෙන් ප්‍රසූතියෙන් පසුව ක්‍රියාත්මක විය යුත්තේ කුමන ආකාරයෙන්ද යන්න පිළිබඳව වෛද්‍ය උපදෙස් ලබාගත යුතුය. උදාහරණ කිහිපයක් පහතින් දැක්වේ.
ඔබ පළමු කාණ්ඩයට අයත් ගැබිනි සමයේ දියවැඩියාව තත්ත්වයෙන් පෙළුණු මවක් නම් (ගැබ් ගැනීමට පෙර සිටම) වෛද්‍ය උපදෙස් පරිදි සාමාන්‍ය ආකාරයටම ඖෂධ ලබාගැනීම පිළිබඳව සැලකිලිමත් විය යුතුවේ. යම් හෙයකින් ඔබ ගැබිනි සමයේදී දියවැඩියා රෝගයට ගොදුරු වූ මවක් නම් ඔබ ලබා ගත් ඖෂධ ප්‍රසූතියෙන් පසුව නතර කළ යුතු අතරම ප්‍රසූතියෙන් සති හයකට පසුව රුධිර පරීක්ෂාවක් සිදු කොට දැනටත් දියවැඩියා තත්ත්වය පහව නොගිය මව්වරුන් කායික වෛද්‍යවරයෙක් වෙතින් උපදෙස් හා අවශ්‍ය නම් ප්‍රතිකාර ලබාගත යුතු අතරම දියවැඩියා තත්ත්වය පහව ගිය මව්වරුන් ඊළග ගැබ් ගැනීමට පෙර සිටම වෛදද්‍ය උපදෙස් ලබාගත යුතුය. වයස අවුරුදු 35 වැඩි කාන්තාවන් වසරකට වරක් වත් රුධිරගත සීනි මට්ටම පරීක්ෂා කිරීම වැදගත් වේ.
තවද ඔබ ගැබිනි සමයේ අධිරුධිර පීඩන තත්ත්වයෙන් පෙලුණු කාන්තාවක් නම් ප්‍රසූතියෙන් සති හයක් පමණ ගත වන විට ඒ තත්ත්වය මග හැරී යා හැකි වුවත් ඒ සති හය ඇතුළතත් වරින් වර රුධිර පීඩනය පරීක්ෂා කිරීම නුවණට හුරුය. ප්රසූයෙන් සති හයක් ගත වූ පසුවත් රුධිර පීඩනය පවතින මව්වරුන් කායික වෛද්‍යවරයෙකු හමු වී උපදෙස් හා අවශ්‍ය ප්‍රතිකාර ලබාගත යුතුය. මේ තත්ත්වයට පත් වූ කාන්තාවන්ද නැවත ගැබ් ගැනීමක් සැලසුම් කිරීමේදී පූර්ව ගර්භණී සායන සඳහා සහභාගී වී ලබා දෙන උපදෙස් පිළිපැදිම අත්‍යවශ්‍යය.
කැළණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය,
උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ
ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය
ටිරාන් ඩයස් මහතා
සටහන චමිලා සෙනෙවිරත්න