free stats

අපි හැම දෙනෙකුම මේ ගෙවා දමනුයේ ඉතා කල්පනාවෙන් පරිසස්මින් ජීවත් විය යුතු දුෂ්කර කාල පරිච්ඡේදයකි. විශේෂයෙන්ම පැතිරී යන කොරෝනා රෝගයෙන් වැළකී සිටීමට මෙන්ම එහිදී ඇතිවිය හැකි සංකූලතා වැඩිවිය හැකි නිසා ඒ පිළිබඳව විමසිල්ලෙන් ක්‍රියාකිරීම වැදගත් වේ. මෙම රෝගයෙන් වැළකී සිටීමට නම් ප්‍රතිශක්තිකරණය ඉතා ඉහළ මට්ටමක පවත්වා ගත යුතුය. ඒ අයුරින් ඉතාමත් ඉහළ ප්‍රතිශක්තිකරණ මට්ටමක් පවත්වා ගතයුතු පුද්ගලයන් කොට්ඨාශයක් ලෙස ගර්භණී මව්වරුන් හඳුන්වා දිය හැකිය. ගර්භණී සමය කාන්තාවකගේ ජීවිතයේ ඉතාමත් පරිස්සමි විය යුතු කාලයකි. එයට හේතුව ජීවිත දෙක් පිළිබඳ වගකීමක් දැරිය යුතු දුෂ්කර කාලයක් වීමයි. එසේනම් ගර්භණී කාන්තාවක් විසින් තමාගේ සහ තම කුස තුළ සිටින දරු පැටියාගේ ප්‍රතිශක්තිකරණය ඉහළ මට්ටමක පවත්වා ගැනීම සඳහා කළ යුත්තේ කෙසේද යන්න පිළිබඳව විමසා බලමු.

ආයුර්වේදයට අනුව ප්‍රතිශක්තිය රෝගයකට ඔරොත්තු දීමේ හැකියාව (ව්‍යාදි බල නිරෝගීකම) හා රෝගයක් වළක්වා ගැනීමට ශරීරය සතු ශක්තිය (ව්‍යාදි උත්පාදක ප්‍රතිබන්ධත්ව) ලෙස සරලවම හඳුන්වයි. රෝගයක් වළක්වා ගැනීමට ශරීරය සතු බලය කාලය මත වෙනස් වේ. එනම් කාලය මතයි. ගැබිනි සමයේදී මවකට ඇතිවන විවිධාකර ශාරීරික අපහසුතා මත නිසාත් ආහාර අරුචිය වමනය වැනි උපද්‍රව නිසා යම්තාක් දුරකට ප්‍රතිශක්තිකරණය අඩාල විය හැකිය. ඒ නිසා ප්‍රතිශක්තිකරණය වැඩිකර ගත හැනි ආහාර පාන හා චර්යා රටා පිළිබඳව මෙම කාලය තුළ වඩාත් සැළකිලිමත් විය යුතුය.

මෙහිදී අප ගනු ලබන ආහාර අපගේ ශාරීරික ධාතු පෝෂණය කරන අතර අහිතකර ආහාර නිසා ධාතු පෝෂණය බිඳ වැටී ප්‍රතිශක්තිකරණය පහළ යා හැකිය. ආයුර්වේදයට අනුව දරුවාගේ ප්‍රතිශක්තිය තීරණය වන්නේ ද දරුවා කුස තුළ බිහි වූ දා සිටය. ඒ නිසා ගැබිනි මව විසින් ගන්නා අහාර පාන, ඇයගේ ඇවතුම් පැවතුම් මානසික ස්වභාවය හා අවට පරිසරය යහපත්ව පැවතීම දරුවාගේ මුළු ජීවිත කාලය පුරාවටම ප්‍රතිශක්තිය ප්‍රතියක්තිය කෙරෙහි බලපානු ලබයි.

ගර්භණී සමයේ මවට ලබා දිය යුතු දේශීය ආහාර පාන…

ගර්භණී මව විසින් ගනු ලබන යහපත් පෝෂ්‍යදායි ස්වභාවික ප්‍රතිශක්තිකරණය වර්ධක ආහාර මඟින් ඉටුවන ක්‍රියා තුනක් තිබේ. ඒවා නම්,

1) මවගේ පෝෂණය හා ප්‍රතිශක්තිය වර්ධනය වීම.
2) දරුවාගේ පෝෂණය හා ප්‍රතිශක්තිය වර්ධනය වීම,
3) මව්කිරි නිෂ්පාදනය වීම. 

මේ සඳහා හැකි සෑම විටම කරාඹු නැටි සාදික්කා, කහ, මිරිස්, ගම්මිරිස්, කුරුඳුපොතු, රතු ළුෑණු, එනසාල්, කරපිංචා, ආදී වූ දේශීය කුළුබඩු වර්ග යොදා සැකසු ආහාර පාන මවට ලබා දිය යුතුයි. ඊට අමතරව ප්‍රතිශක්තිය වර්ධනය කරන කාබනික පොහොර යෙදූ ස්වභාවික එළවළු පලතුරු, පලාවර්ග, අල වර්ග, හා දේශීය ධාන්‍ය වර්ග උදා: ලෙස කෙසෙල් මුව, කොහිල එළබටු, මුරුංගා, පොලොස් තිබ්බටු, කතුරුමුරුංගා, කොහිල දළු, සාරණ, තම්පලා, නිවිති, ලුණුවිල, ගොටුකොළ, නීරමුල්ලිය, දඹල, මුං ඇට, කව්පි, ආදිය ලබාදිය යුතුය.

අතුරුපස ලෙස සීනි යොදා රස ආහාර ගැනීමෙන් වැළකී ඒ වෙනුවට කෘතිම බවින් තොර දේශීය පළතුරු වර්ග වන බෙලි, නෙල්ලි, රඹුටන්, දිවුල්, පේර, අඹ නාරං, දොඩම්, කෙසෙල්, උගුරැස්ස, දෙළුම්, මාදං, පැණි කොමඩු, ගස්ලබු, අනෝදා වැනි පළතුරු වර්ග ආහාරයට ගැනිම වඩාත් යෝග්‍ය වේ.

උදෑසන ආහාරයට දිනපතාම ඖෂධීය කොළ කැඳ එකතු කර ගැනීම වඩාත් යහපත්ය. ඒ සඳහා පොල්පලා, මුකුණුවැන්න, ගොඩුකොල, එළබටු කොළ, හාතවාරිය කොළ, කරචිංචා හෝ කිහිපයක් යොදා ගත හැකිය. විශේෂයෙන්ම ගැබ්ගෙන මාස තුනක් ගත වූ පසු ධාන්‍ය කැද වර්ග ඉතා සුදුසු වේ. එසේම පෙර, දොඩම්, ජම්බෝල නෙල්ලි, අලිගැටපේර, පැණී කොමඩු ආදී පළතුරු යුෂද ගැබිනි මවගේ ප්‍රතිශක්තිය වර්ධනය කිරීමට උපකාරී වේ.

ගැබිනි බවේ තෙවන මාසයේ පසුවන මවක් නම්, හාල් හා දේශීය සහලින් සකස් කළ ගිතෙල් මිශ්‍ර කිරීබත් හෝ කැඳ වර්ග උදෑසන ආහාරය සඳහා සුදුසු වේ. ඔබ පසුවන්නේ මාස හතරක් හයක් අතර නම් ඉහත අහාර සමඟ එළකිරි වලින් සකසන ලද බටර් හෝ ගිතෙල් මස් හෝ මාළු වර්ග යොදා සැකසූ සුප් වර්ග ආහාරය ගැනීම ඉතා සුදුසු වේ. මාස හතර, හය මෙන්ම අවසාන මාස දෙකෙහි ද ඉරමුසු සාරණ මුල්, හාතවාරිය අල, සමඟ කිරි බදු අල සාදාගත් කැඳ වර්ග ඉතාමත් සුදුසුය.

වැදගත් පෝෂක ද්‍රව්‍යයක් වන සින්ක් බිත්තර කහ මදයේ අඩංගු වේ. එහෙත් ගැබිනි මව්වරුන් තල ආහාරයට නොගත යුතුය. ගර්භණී මව්වරුන් ප්‍රතිශක්තිය වඩවන රසායන ගුණ ඇති ස්වභාවික ඖෂධ වර්ගද ඇත. මෙහිදී ඔබ ගර්භණී තාවය පත්වී මාස තුනක් ඉක්ම යන තුරු කොත්තමල්ලි භාවිතය සුදුසු නැත. නමුත් මාස තුන ඉක් ම වූ පසුව කොත්ත මල්ලී භාවිතා කළ හැකිය. පත්පාඩගම්, රසකිඳ, ඉගුරු, වෙනිවැල් ගැට, තැම්බූ ජලය පානය කිරීම කළ හැකිය. එහිදීත් ගර්භණී සමයේ මුල් මාස තුන තුළ රසකිඳ මුල් පානය කිරීම සුදුසු නොවේ.

ගර්භණී මව්වරුන්ට සුදු ළුෑණු කුළු බඩු වර්ගයක් ලෙස භාවිතා කළ හැකිය. නමුත් මුල් මාස තුනෙහි වමනය හා උදර දාහය පවතී නම් සුදු ළුණු තැම්බූ ජලය පානයෙන් වැළකී සිටිය යුතුය. ගැබිනි මව්වරුන්ට පළමු මාසයේ සිට නවවන මාසයේ අග දක්වාම ගැබෙහි පෝෂණය ප්‍රතිශක්තිකරණය හා ගැබ වර්ධනය කර ගැනීම සඳහා යොදා ගත හැකි ආයුර්වේද ඖෂධීය සංයෝගයක් ලෙස වියළි හාතවාරිය අල කුඩු, වියළි අමුක්කරා අල කුඩු, වියළි බැබිල කුඩු, තේ හැන්ද බැගින් ගෙන එළකිරි, අඩු කෝප්ප එකකට දමා මිශ්‍රකර බීම වඩාත් සුදුසු බව සඳහන් කළ හැකිය.

ආයුර්වේද වෛද්‍ය
චමිලා කුමාරි කළුතන්ත්‍රි මහත්මිය
ආයුර්වේද රෝහල, යාපහුව

සටහන අරුණී ජයසේකර