free stats

වෙළඳ නාම හා විවිධ දැන්වීම් සිය ආර්ථික ලාභය අපේක්‍ෂාවෙන් සිදුකරනු ලබන සමහර නිර්මාණයන් නිසා මව්වරුන් රැවටීමට ලක්වීම අප නිරන්තරයෙන් අත්දකින්නකි. වඩාත් හොඳම දේ දරුවා වෙත ලබාදීම සඳහා විවිධ වෙළඳ සන්නාම යටතේ නිෂ්පාදිත අධික මිල ගණන්වල නිෂ්පාදන පවා දරුවාට ලබාදීමට මව්පියන් කටයුතු කරන්නේ අනෙකුත් ආර්ථික අවශ්‍යතා පවා පසෙකින් තබමිනි. දරුවාට පැම්පස් ඇන්දවීමේ අවශ්‍යතාවයද මෙලෙස පැමිණි එකකි. සමාජ අවශ්‍යතා එකිනෙක පරයමින් නැගි සිටිමින් වෙනස් වීම් වලට භාජනය වන කාලයක එදාටත් වඩා මේ වන විට මිනිසුන් බලාපොරොත්තු වන්නේ සිය පහසුවයි. එම අවශ්‍යතාවයම වෙළඳ භාණ්ඩයක් කරගනිමින් විවිධ පහසු නිෂ්පාදන වෙළඳපලට පැමිණ තිබේ.

රැකියාවක නිරතවන වෘත්තිය වශයෙන් කාර්යබහුල මවක් නිරන්තරයෙන් පැම්පස් භාවිතයට ප්‍රධාන වශයෙන් හුරුව තිබේ. කාර්යබහුල බව නිසාම නිරන්තරයෙන් පහසුව පිළිබඳව වැඩි අවධානයක් යොමුකරන නිසා පැම්පස් නිෂ්පාදන ඔබට ලබාදෙන්නේ පහසුවකි. දරුවා නහවා ඉන් අනතුරුව පැම්පසය අන්දවා පසෙකින් තබන ඔබට සමහර විට දවස පුරාම තිබෙන අනෙකුත් කාර්යයන් අතරතුර පැම්පසය ගැලවීමට අමතක වීමට ඉඩ තිබිය හැකිය. මෙයින් දරුවාට සිදුවන්නේ වඩාත් අවධානම් තත්ත්වයකට මුහුණ දීමටයි. විශේෂයෙන්ම දරුවාගේ මුත්‍රා සහ මල එක තැන පල්වෙමින් නැවත නැවත තැවරීම නිසා දරුවාගේ නැප්කින් අන්දන ප්‍රදේශය සම්පූර්ණයෙන්ම අසාදනයට ලක්වීමට ඉඩ තිබේ. එහිදි දද හා කුෂ්ඨ ඇතිවීම මෙන්ම ඉකිලි ප්‍රදේශය ලප වලින් පිරි අඳුරු පැහැ වීමට ඉඩ ඇත. ඒ තත්ත්වය සමහර විට දීර්ඝකාලීනව පවතින්නට ද ඉඩ තිබේ.

සමහර මව්වරුන් පැම්පස් මිලෙන් වැඩි නිසා දිනකට ඉතාම අවම ප්‍රමාණයක් භාවිත කිරීමේ අරමුණෙන් පැම්පස් මාරු කිරීමට මැලි වේ. සමහර මව්වරුන් නිවසේ සියලු වැඩකටයුතු අවසන් කරන තුරු පැම්පසය ඉවත් කරන්නේ නැත. මේ නිසාම පැම්පසය මෙන්ම ඩයපරය නිසි පරිදි භාවිත කරන ආකාරය පිළිබඳව ඔබට කියා දෙන්නට අපි සිතුවා. මෙවැනි නිෂ්පාදන මඟින් ඔබට තිබෙන පහසුව නිසා මෙන්ම සමහර නිෂ්පාදන එක හෙලාම ඉවත දැමීම වෙනුවට එය නිසි පරිදි භාවිතයට ගැනීම මඟින් අත්කරගත හැකි වාසි පිළිබඳව සිතා බලා එයින් නිසි ප්‍රයෝජන ගතහැකි බව දන්නා නිසා මේ පිළිබඳව මෙවැනි ලිපියක් පළ කරන්නට අදහස් කළා.

පැම්පර්සය ලෝකයට හඳුන්වා දෙන්නේ………………….

වික්ටර් මිලනි නම් රසායනික ඉන්ජිනේරුවා විසිනි. ඒ ෆොක්ටර් ඇන්ඩ් ගැම්බල් සමාගම් සන්නාමය යටතේ වර්ෂ 1956 දීයි. සිය අලුත උපන් මුණුපුරාගේ ඩයපරය නිතර වෙනස් කිරීමට සිදුවීම නිසා සිදුවන අපහසුතාව මඟහරවා ගැනීමට මෙවැනි නිෂ්පාදනයක් අවශ්‍ය වීම හේතුවෙන් ඔහු මෙම සොයාගැනීම සිදුකර තිබේ. පී ඇන්ඩ් ජී හෙවත් ෆොක්ටර් ඇන්ඩ් ගැම්බල් සමාගමේ අනෙක් පර්යේෂකයන්ට වඩා හොඳ නිෂ්පාදනයක් හඳුන්වා දීම ඔහුගේ අනෙක් අපේක්‍ෂාව විය. මේ සඳහා ඔහුට සිය සමාගමේම සේවය කළ නෝර්මා ලූඩර්ස් බේකර්ගේ සහය ද හිමිවිය. නිෂ්පාදනය සඳහා පැම්පර්ස් යන නම භාවිත කරන ලද්දේ මෙහි පළමු දැන්වීම නිර්මාණය කළ දැන්වීම් ඒජන්සිය වූ බෙන්ටන් ඇන්ඩ් බෝල්ස් හී නිර්මාණ අධ්‍යක්‍ෂක වූ ඇල්ෆ්‍රඩ් ගෝල්ඩ්මන් විසිනි.

මෙම මුල් ඩයපර් විශාල, රේයොන් ටොප්ෂීට්, පොලිතින් බැක් ෂීට් සහිත ෆ්ලෆ් පල්ප් වලින් සමන්විත විය. 1966 දී “පියාපත් සහිත” මෝස්තරයක් නිර්මාණය කළේය. මේ කාලය වන විට පැම්පර්ස් එක්සත් ජනපදයේ ජාතික වෙළඳ නාමයක් බවට පත්ව තිබුණි. ප්‍රොක්ටර් සහ ගැම්බල් විසින් 1971 දී ඇලවිය හැකි පහසුම ආකාරයෙන් මෙය නිර්මාණය කළේය. ටොඩ්ලර් සහ නොමේරූ ළදරු ප්‍රමාණ ද හඳුන්වා දෙන ලදී. 1973 දී පී ඇන්ඩ් ජී සමාගම කකුල සහ ඉණ ප්‍රදේශ වටා ඔතා ඇලවිය හැකි මට්ටමට සිය නිෂ්පාදනය වැඩි දියුණු කළේය.

මෙරට පැම්පස් ඩයපර් භාවිතය……………….

ලංකාවේ පැම්පස් ඩයපර් භාවිතය ඈත අතීතයට දිවයයි. මේ සඳහා බොහෝ කාලයකට පෙර භාවිත කළේ නිවසේදීම සකසා ගත් තුනි රෙදි කඩකි. අලුතෙන් මිලට ගන්නා චීත්තයකින් සකස් කරගන්නා රෙදි කැබලිවලින් මුල් කාලීනව රෙදි කැබලි සකස් කරගත්ත ද පසුකාලීනව මෙම තුනී රෙදි කැබලි වෙළඳපලෙන් මිලට ගැනීමේ අවස්ථාව උදාවිය. නමුත් එය භාවිතයේ දී නැවත සේදීමට සිදුවීම, නිතර ඉවත් කිරීමට සිදුවීම වැනි හේතු නිසා මව්වරුන් වැඩි වශයෙන් පැම්පර්ස් හා ඩයපර් භාවිතයට හුරුවිය. එසේම ගමන් යනවිට දරුවා මුත්‍රා හෝ මල පිට කිරීමේ දී ඇතිවන අපහසුතාවලට විසඳුමක් ලෙසත් පැම්පර්ස් හා ඩයපර්ස් මව්වරුන් අතර ජනප්‍රිය විය.

මේ අනුව මව්වරුන් අතර ජනප්‍රිය ඩයපර් වර්ග දෙකකි.
Cloth Diaprs ක්ලෝත් ඩයපර්
Disposabl Diaprs ඩිස්පෝසබල් ඩයපර්

Cloth Diaprs ක්ලෝත් ඩයපර්

නිවසේදී පමණක් භාවිත කළ හැකි ඩයපර් නිෂ්පාදනයකි. ගමනකදී භාවිත කිරීම අපහසුය. Cloth Diaprs ක්ලෝත් ඩයපර් නැවත සෝදා භාවිත කළ හැකි වීම අතිරේක වාසියකි. ඒ සඳහා වැයවන මුදල ද අවම වේ. කිසිඳු කෘතිම රසායන ද්‍රව්‍යයක් අඩංගු නොවේ. කොට්න් රෙදි වර්ගය නිසා දරුවාට හානියක් සිදුනොවන අතර විශේෂම කාරණය වන්නේ මුත්‍රා මාර්ගය හා ගුද මාර්ගය අතර හොඳින් වායු සංසරණය සිදුවීමයි. සමේ ආසාදන ඇතිවීමේ ප්‍රවණතාවය ඉතාම අවම වේ.

Disposabl Diaprs ඩිස්පෝසබල් ඩයපර්

මෙය එක්වරක් භාවිත කල හැකි මව්වරුන් අතර ජනප්‍රියම නිෂ්පාදනයකි. තෙතමනය හොඳින් සහ ඉක්මනින් උරාගන්නා අතර මිලෙන් අධිකය. දරුවාට මෙයින් පහසුවක් දැනේ. ගමන් බිමන් යාමේ දී මල මුත්‍ර පිටවීම නිසා අපහසුතාවයට පත්නොවේ. නමුත් මුත්‍රා හෝ මල පිට කළ සැනින් ඉවත් කළ යුතුයි. නැත්නම් සමේ ආසාදන ඇතිවිය හැකියි. පැම්පර් ඩයපරය නිසා දරුවා වැසිකිලි යාමේ පුරුද්ද පමාවීමේ අවධානමක් තිබේ.

පැය දෙකකට වඩා සුදුසුම නැහැ

පැම්පර්ස් නිපදවීමට යොදාගන්නේ ඉවතලන කඩදාසියි. මේවා පල්ප් ලෙස හඳුන්වයි. සුදු පැහැ ගැන්වීමට හා පිරිසුදු කිරීමට බ්ලීචින් පවුඩර් යොදාගන්නා නිසා මෙන්ම නිෂ්පාදනයේ දී විවිධ ඩයි වර්ග සහ සැර කෙමිකල් වර්ග යොදාගනියි. මෙයින් කුඩා දරුවන්ගේ සමට වැඩි බලපෑම් එල්ල වේ. දිගුවේලාවක් තෙත්ව තිබීම බැක්ටීරියා නිපදවීමට හේතුවකි. එයින් මුත්‍රා මාර්ගයේ මෙන්ම ගුද මාර්ගයේ විවිධ ආසාදන ඇති වේ. පැම්පර්ස් නිපදවීමේ දී ක්ලෝරීන් අඩංගු බ්ලීචින් පවුඩර් යොදාගැනීම නිසා ඒවායේ අතුරුපලයක් ලෙස ඩයොක්සීන් විෂ රසායනය පැම්පර්ස් මත තැම්පත් වීම නිසා පැය දෙකකට වඩා මේවා ඇද සිටීමෙන් ආසාදනයට ලක්වීමේ බරපතල අවධානමක් තිබේ.

පිරිමි දරුවන්ට තිබෙන අවධානම

උශ්ණත්වය වැඩි වීම නිසා දරුවාගේ වෘෂණ කෝෂවලට බලපෑම් ඇතිවේ. එය මද සරු බවට හේතුවිය හැකියි. කෙසේ නමුත් දරුවෙකුට පැම්පර්සයක් ඇන්දවිය යුත්තේ වයස අවුරුදු තුන වනතෙක් පමණි. ඉන් පසුව දරුවා අනිවාර්යයෙන්ම වැසිකිලියට හුරුවිය යුතුයි.

ගැහැණු දරුවන්ට තිබෙන අවධානම

ගැහැණු දරුවාගේ ස්ත්‍රි ලිංගි පද්ධතිය පිහිටා තිබෙන ආකාරය අනුව ඩයපර් නිතර භාවිත කිරීම නිසා ගර්භාෂයට හා යෝනි මාර්ගයට විෂබීජ ඇතුළු වීම සිදුවේ. සමහර පැම්පර්ස් ඩයපර් නිෂ්පාදන ගුණාත්මක බවින් අඩුය. එය තවත් අවධානමකි. මෙවැනි ගුණාත්මක බවින් අඩු නිෂ්පාදන නිසා සෙම් රෝග, ඇඳුම, මුත්‍රා ආසාදන ඇතිවීමට ඉඩ තිබේ. එදිනෙදා චර්යාත්මක අපහසුතා ඇතිවිය හැකියි.

වර්ධනය පමාවීම
හෝර්මෝන සඳහා කරන බලපෑම
රාත්‍රියට සුව නින්දක් නොලැබීම
ප්‍රතිශක්තිය හීන වීම

සිදුවිය හැක. මේවා වෛද්‍ය විද්‍යාත්මකව තහවුරු වී තිබේ.

එබැවින් ඔබේ අවශ්‍යතාවය පරිදි පැම්පර්ස් භාවිත කරන්නේ නම් එය වඩාත් නිවැරදි ආකාරයෙන් භාවිත කළ යුතුයි. එයින් සිදුවන හානිය අවම කරගත හැකිය. එමෙන්ම නිෂ්පාදන තෝරාගන්නා විට වඩාත් හොඳම නිෂ්පාදනය තෝරාගැනීම ද කළ යුතුයි. ජනප්‍රිය සන්නාමයක් යටතේ විශ්වාසවන්ත බවින් යුතුව තෝරා ගැනීම ගැටළු අවම වීමට හේතුවේ. ඒ හැරුණු විට අත්‍යාවශ්‍යම අවස්ථාවක හැර අනෙක් සියලු අවස්ථාවල දරුවා සාමාන්‍ය කොට්න් රෙදි මඟින් නිෂ්පාදිත රෙදි පැම්පර්ස් එක භාවිත කිරීම සුදුසු වේ. එය මෙවැනි ගැටළු අවම කරන අතර මුදල් වැය වීම ද පාලනය කරයි.

සටහන තිසුරි අතුකෝරල

කොළඔ විශ්ව විද්‍යාලයේ
දේශීය වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
ආයුර්වේද විශේෂඥ වෛද්‍ය
ආර්. එස්. ජයවර්ධන