පළමු දරු ප්‍රසූතියෙන් පසුව දෙවන දරු ප්‍රසූතිය සඳහා සුදුසුම කාල සීමාව පිළිබඳව අප නිතර කතා කරනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ දරුවන් දෙදෙනා අතර පරතරය වසර දෙකක කාලයක් වීම වඩාත් සුදුසු බවයි. මේ සඳහා බලපාන හේතු කිහිපයක්ම තිබෙනවා. ප්‍රධාන වශයෙන්ම දරු ප්‍රසූතියකින් පසුව නැවත යථා තත්ත්වයට පත්වීමට මවට කාලය අවශ්‍යයි. මේ සඳහා සාමන්‍යයෙන් වසර දෙකක කාලයක් ගතවෙනවා. ඒ වගේම පළමු දරුවාට මව අවශ්‍යම කාලයේ දී නැවත ගර්භණී වුවහොත් එයින් එම දරුවා වෙනුවෙන් වෙන් කරන කාලය අවම වන්නට පුළුවන්. එය වැඩිහිටි දරුවා නොසලකාහැරීමක් හා සමාන වනවා. ඒ නිසා වැඩිමල් දරුවාට වසර දෙකක කාලයක් වනතුරු මවත් සමඟ වැඩි කාලයක් ගතකිරීමට අවස්ථාව තිබිය යුතුයි. එසේම වැඩිමල් දරුවා සහ කුඩා දරුවා අතර මිත්‍රත්වය වැඩි වීමටත් මෙය අවස්ථාවක් වනවා. දෙදෙනා අතර වයස් පරතරය වසර දෙකක් වන විට දෙදෙනා වර්ධනය වන්නේ එකටයි. එසේම අවශ්‍යතා සහ සිතුම් පැතුම් බොහෝ විට එක හා සමානයි. නමුත් මේ කාරණයේ දී වසර දෙකට වඩා වයස් පරතරය වැඩිවීමත් සුදුසු නැහැ.
මේ හැරුණු විට තම පළමු දරු ප්‍රසූතියෙන් පසුව සෑහෙන කාලයක් යනතුරු නැවත පිළිසිඳගැනීමක් සිදුනොවන මව්වරුන් සිටිනවා. එසේම පළමු දරුවාගෙන් පසුව නැවත කිසිම දිනක දරු සම්පත් නොලබන මව්වරුන් ද දකින්න පුළුවන්. මේ සඳහා බලපාන විවිධ හේතු තිබෙනවා.
මව්කිරි දීම
මව්කිරි දෙන කාලයේ දී ෆ්රෝලැක්ටීන් සහ ඔක්සිටොසින් හෝර්මෝනය ශ්‍රාවය වන නිසා ඩිම්බ පිටවීම නවතිනවා. බොහෝ දෙනා ස්වාභාවික උපත් පාලන ක්‍රමයක් ලෙස හඳුන්වන්නෙත් මේ තත්ත්වයයි. මාස හයක් වනතුරු දරුවාට නොකඩවා මව්කිරි ලබාදෙන අතර මාස හයෙන් පසුව අතිරේක ආහාර ලබාදෙන නිසා දරුවාට මව්කිරි ලබාදිය යුත්තේ වෛද්‍ය උපදෙස් අනුවයි. අවුරුද්දකට පස්සේ දරුවන්ට ප්‍රධාන ආහාර වේල් තුනක් ලබාදෙන නිසා මව්කිරි දෙන්න අවශ්‍ය වෙන්නේ අවම මට්ටමෙන්. නමුත් සමහර මව්වරු දරුවා නිදාගන්න වෙලාවට, මව්කිරි දෙනවා. මෙය වසර කිහිපයක් වුණත් කරන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවක දී නිරන්තරයෙන් ෆ්රෝලැක්ටීන් හා ඔක්සිටොසින් ශ්‍රාවය වන නිසා ඩිම්බ පිටවන්නේ නැහැ. එයින් නැවත මවක් වීමට බාධාවක් සිදුවෙන්න පුළුවන්.
පළමු දරුවාට මව්කිරි දෙන අතරතුර යම් මවක් නැවත ගර්භණීවීමට සූදානම් වීමෙදි තවමත් ඔසප් චක්‍රය අක්‍රමවත් නම්, මාස තුනක කාලයක් ගතවනතුරුත් ගර්භණී වූයේ නැතිනම් මව්කිරි දීම නැවැත්වීම පිළිබඳව අවධානය යොමුකළ යුතු වනවා. නමුත් සෑම මවකටම මේ තත්ත්වය එක හා සමානව බලපාන්නේ නැති නිසා අනිසි බියක් ඇති කරගතයුතු නැහැ.
BMI අගය අසමතුලිත වීම
ගොඩක් වෙලාවට ස්ථුල කාන්තාවකට දරු පල ලැබීම සම්බන්ධව ගැටළු තිබෙනවා. ශරීර ස්කන්ධ දර්ශකය පෙන්වන සම්මත ප්‍රමාණයට වඩා බර වැඩි වුණාම කාන්තාවන්ගේ ඉන්සියුලීන් ශ්‍රාවය වීම වැඩි වෙන්න පුළුවන්. එවිට සිදුවන්නේ වැඩි ඉන්සියුලීන් ශ්‍රාවය නිසා ඩිම්බ පිටවීම ප්‍රමාද වීම හෝ ඩිම්බ පිටවීමේ ගැටළු ඇතිවීමයි. හුඟක් අම්මලා ගර්භණී කාලෙදි ස්ථූල වෙනවා. එහෙමත් නැත්නම් බර වැඩි වෙනවා. නමුත් ඒ අම්මලාගෙන් 80% ක් දරු ප්‍රසූතියෙන් පසු තමන්ගේ බර අඩුවීම ගැන සැලකිලිමත් වෙන්නේ නැහැ. ඒ තත්ත්වය මදසරු බවට හේතුවක්. මේ නිසා පළමු දරු පිළිසිඳ ගැනීමටත් පෙර සිට නිසි උපදෙස් මත ආහාර පාලනය සිදුකළ යුතු අතර ව්‍යායාම ඉතාම වැදගත් වනවා. එසේම පළමු දරු ප්රසූතියෙදිත් බර පිළිබඳව අවධානය යොමු කිරීම ඉතාම වැදගත් කරුණක්.
ලිංගික කාර්යයට උනන්දු නොවීම
අපේ රටේ තිබෙන සංස්කෘතික පසුබිම සහ පවුල තුළ තිබෙන අවබෝධය මත ලිංගික කාර්යයට ඇති කැමැත්ත පිළිබඳ ගැටළු මතුවෙන්න පුළුවන්. දරුවෙක් ලැබුණට පස්සේ කාන්තාවක් වැඩි අවධානය යොමු කරන්නේ දරුවාගේ කටයුතු සඳහා පමණයි. සැමියා සමඟ එක්වීම පිළිබඳව තිබෙන අවධානය අවම වන්නේ ඒ නිසා. මෙයින් නැවත දරු පිළිසිඳ ගැනීමකට අනිවාර්යයෙන්ම බාධාවනවා. සමහර කාන්තාවන්ට පළමු දරු ප්‍රසූතියෙන් පසුව ලිංගික කාර්යයට ඇති අවශ්‍යතාවය අවම වන්නටත් පුළුවන්. ඒ පිළිබඳව වෛද්‍ය උපදෙස් ගැනීම වඩාත් සුදුසු වනවා.
ප්‍රසූතියේදී ඇතිවන සංකූලතා
සිසේරියන් සැත්කමකින් දරු ප්‍රසූතියක් සිදුකලා නම් සමහර අවස්ථාවලදී සංකූලතා මතුවන්නට පුළුවන්. විශේෂයෙන්ම ගර්භාෂයේ නාල අවහිර වීම සිදුවන්නට වැඩි ඉඩක් පවතිනවා. එසේම සාමාන්‍ය ප්‍රසූතියකින් වුවත් සංකූලතා ඇතිවන්නට හැකියි. විෂබීජ ඇතුල් වීම නිසා ගර්භාෂයට හෝ ගැබ් ගෙලට හානි වීම එයින් ප්‍රධාන තැනක් ගන්නවා.
පළමු දරු පිළිසිඳ ගැනීමට කල්ගතවීම
මේ වනවිට විවිධ හේතු නිසා කාන්තාවන් සිය පළමු දරු ප්‍රසූතිය සඳහා කල්ගත කරනු දකින්නට ලැබෙනවා. සමහර කාන්තාවන් වයස අවුරුදු 35 වන විටත් පළමු දරු පිළිසිදගැනීමට සූදානම් වන්නේ නැහැ. එයින් සිදුවන්නේ සරු කාලය අවම වීමයි. කාන්තාවකගේ උපතේදීම ඇයට ඩිම්බ පිහිටන අතර පළමු ඔසප් වීමෙන් පසුව මසකට එක බැඟින් පිටවෙනවා. මෙහිදි කාන්තාවකගේ ඇති සරුම සහ හොඳම වර්ගයේ ඩිම්බ වයස අවුරුදු 25 ත් 30 ත් අතර කාලයේ දී පිටවී අවසන් වනවා. ඉන් අනතුරුව පිටවන්නේ සාමාන්‍ය සරු බවකින් යුතු ඩිම්බ යි. අවුරුදු 35 න් පසුව ඩිම්බ පිටවීම සීග්‍ර ලෙස අඩුවෙනවා. මේ නිසා නැවත දරු ප්‍රසූතියක් සඳහා සූදානම් වීම අපහසුයි. එසේම පළමු දරුවා බිහිවන්නේ මවගේ වයස අවුරුදු 35 දී නම් නැවත දරු පිළිසිඳගැනීමක් සඳහා වයස ප්‍රමාණවත් වන්නේ නැහැ. එමෙන්ම තවත් දරුවෙක් අවශ්‍ය වුවත් වයස ප්‍රමාණවත් නොවන නිසා දරුවන් දෙදෙනා අතර පරතරයක් නොමැතිව දෙවන දරු ප්‍රසූතියට සූදානම් වීමට සිදුවිය හැකියි. එය බොහෝ ගැටළු ඇතිවීමට හේතු වනවා. එසේම වයස්ගත වන විට විවිධ සංකූලතා මතුවීමත් දරු පිළිසිඳ ගැනීමට ගැටළු ඇතිකළ හැකියි.
වයසත් සමඟ සෞඛ්‍ය තත්ත්වය අසමතුලිත වීම
වයසට යාමත් සමඟ ඇතිවන අධිරුධිර පීඩන තත්ත්වය, තයිරොයිඩ් ග්‍රන්ථියේ ඇතිවන ගැටළු, දියවැඩියාව, වැනි තත්ත්වයන් නිසාත් නැවත දරු ප්‍රසූතියකට යාම වැළැකෙනවා.
ගර්භණී බව සැලසුම් කිරීම මෙවැනි තත්ත්වයන් වළක්වා ගැනීමට හොඳම පියවරක් වනවා. එලෙස සැලසුම් කිරීමෙන් අනතුරුව වෛද්‍ය උපදෙස් ගැනීම වඩාත් සුදුසයි. ෆෝලික් ඇසිඩ් ලබාගැනීම විශේෂයෙන් කළයුත්තක්. වයස අවුරුදු 25 ත් 30 ත් අතර කාලයේ පළමු දරු ප්‍රසූතිය සඳහා සූදානම් වියයුතුයි. එසේම යම් කාන්තාවක් පළමු දරු පිළිසිඳ ගැනීම සඳහා සූදානම් වන්නේ වයස අවුරුදු 35 දී නම් ඉතා ඉක්මනින් ඒ සඳහා කටයුතු සලසාගත යුතු වනවා. මව්කිරි ලබාදෙන මවක් නම් මාස හයෙන් පසුව මව්කිරි ලබාදෙන ප්‍රමාණය අඩුකල යුතුයි. එමෙන්ම දරුවා වෙනම නිදි කරවීම ද අත්‍යාවශ්‍ය කරුණක්. දරුවා ආරක්ෂා සහිත ලෙස වෙනත් කාමරයක නිදිකරවා තැබීම කළ හැකියි. යම් කාන්තාවකට පළමු දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම පිළිබඳව අසතුටුදායක හැඟීමක් ඇතිවනවා නම් දෙදෙනාම උපදේශනය සඳහා යොමුවීම ද වැදගත් කරුණක්. එසේම සිරුරේ බැර පාලනය කරගැනීම ද අත්‍යාවශ්‍යයි. සාමාන්‍ය බරක් සහිත මවකට පළමු දරු ප්රසූතියෙදී 10නට බර වැඩිවීම ප්‍රමාණවත් වනවා.
විශේෂඥ වෛද්‍ය ප්‍රබෝධන රණවීර
ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය
ද සොයිසා කාන්තා රෝහල
ජාතික රෝහල කොළඹ
සටහන චාපා හංසිනි ආටිගල