free stats

ඔබ අම්මා කෙනෙක් වුණු මුල් කාලේ පැටියා බලන්න ආපු අය ගැන මතක ඇති නේ. තෑගි බෝග උස්සගෙන දුර ඉදලා පැටියව බලන්න දුවගෙන ආවේ ඔබ වෙනුවෙන් ඔබේ සැමියා වෙනුවෙන් තිබෙන හිතවත්කම නිසයි. ඒ දවස්වල ලැබුණු තෑගි අතර ඔබ පැටියා වෙනුවෙන් ගන්න හිතාගෙන හිටිය බොහෝ දේවල් තියෙන්න ඇති. එයින් ඔබේ වියදම් සෑහෙන්න අඩුවුණු බව ඔබ හොඳින් දන්නවා. ඒ කාලේ ලැබුණු සබන් පවුඩර් පැටියට අවුරුද්දක් විතර වෙනකල් පාවිච්චි කරන්නත් ඇති. ඒ තරමට තෑගි ලැබෙනවා නේ.

දැන් ඉතින් ඒ ආපු අය අතරේ ඉන්න සමහර යාළුවෝ අම්මලා තාත්තාලා වෙලා ඇති. දැන් ඔබ ඔවුන්ව බලන්න යන්න ඕන. නමුත් ඉතින් එහෙම තෑගි අරන් ආපු යාළුවෝ බලන්න හිස් අතින් යන්න බැහැනේ. මොනවද එයාලට අරගෙන යන්නේ? අන්න ඒ ප්‍රශ්නයට ඔබට පිළිතුරක් දෙන්න තමයි මේ සූදානම් වෙන්නේ. තෑග්ගක් ගන්නකොට ඔබ ඒ වෙනුවෙන් වියදම් කරන මුදලට වටිනාකමක් ලැබෙනවා වගේම තෑග්ග ලබන කෙනාටත් ඒ තෑග්ගේ වටිනාකමක් තියෙන්න ඕන නේ. අන්න ඒ නිසා ඔබට හොඳම තෑග්ගක් තෝරාගන්න මේ ලිපිය ප්‍රයෝජනවත් වේවි.

  1. අම්මටත් තෑග්ගක්

හුඟක් අය ඒ තරම් නොහිතුවාට අම්මා වෙනුවෙනුත් තෑග්ගක් රැගෙන යාම ඉතාම වැදගත් වෙනවා. අම්මත් අලුත් බබා වගේම අවධානය ලැබිය යුතු කෙනෙක්. ප්‍රසූති වේදනාවක් දරාගනිමින් දරුවෙක් බිහිකළා වගේම ඇය දැන් මවක් විදියට වෙනදාට වඩා වගකීම් සහිත කෙනෙක් වෙලා ඉන්නේ. ඒ නිසා ඔබේ පුංචි තෑග්ගකින් එයා අප්‍රමාණ ප්‍රිතියට පත්වෙනවා. බබාව බලන්න යන්නේ රෝහලට නම් මතක ඇතිව මල් කළඹක් අරගෙන යන්න. පළතුරු කූඩයක්, පෝෂදායි ආහාරමය පානයක්, කියවන්න හොඳ පොතක්, මාතෘත්වයට වැදගත් ලිපි අඩංගු සඟරාවක් වුණත් ඒ අතරට ගැලපෙනවා.

  1. ඩයපර්/වෙට් වයිප්ස්/පැනල් රෙදි

අලුත් බබෙකුට ඕන කරන දේවල් අතර ඉහළින්ම තියෙන්නේ මෙන්න මේ දෙවල්. ඩයපර්/වෙට් වයිප්ස්/පැනල් රෙදි කොච්චර තිබුණත් වැඩි වෙන්නේ නැහැ. ඒ නිසා කිහිපයක් අරගෙන යන්න පුළුවන් නම් හොඳයි. නමුත් හොඳම සන්නාමයක නිෂ්පාදන තෝරාගන්න සැලිකිලිමත් වියයුතුයි. ඒ වගේම ඩයපර්වල නම් විවිධ ප්‍රමාණ තිබෙනවා. ඒ ගැනත් තරමක් සැලකිලිමත් වියයුතුයි.

  1. කොට් මොබයිල්ස්

මේවාට අපි ඉස්සර කිව්වේ කුරුළු කොට්ට කියලා. ඔයාට තාම මතක නම් ඒ කාලේ අපිට ප්ලාස්ටික්වලින් හදපු කැරකෙන කොට් මොබයිල්ස් තිබුණා. මේ වගේ උපකරණයකින් දරුවාගේ බුද්ධිය වර්ධනය වෙනවා. එයා මේ දිහා බලාගෙන ඉන්න ආසයි. කොට් මොබයිල් එක දිහා බලාගෙන තනියම කියවනවා, කුරු කුරු ගානවා ඔබ දැකලා ඇති.

  1. බබාට ඇඳුම්

බබාට ගන්න ඇඳුම් ටිකක් ලොකුවට ගත්තට කමක් නැහැ. මොකද එයාට අවුරුද්දක් විතර වුණාට පස්සේ අඳින්න අරන් තියන්න පුළුවන්. බබා ඉපදුනු මුල් කාලේ හැමෝම එයාට ඇඳුම් අරන් එනවා. අනික ඒ කාලේ එයාට ඔය ඇඳුම් අදින්නත් බැහැනේ. ඒ නිසා පස්සේ කාලේ අඳින්න පුළුවන් විදියට ටිකක් ලොකු ප්‍රමාණයෙන් ඇඳුම් අරන් යන්න.

  1. ප්ලේ මැට් එකක්

බබා පෙරලෙන්න පටන් ගත්තට පස්සේ එයා වැඩි කාලයක් ඉන්නේ ඇදෙන් බිම නේ. ඒ කාලෙට එයාට සෙල්ලම් කරන්න ප්ලේ මැට් එකක් ගොඩක් වැදගත් වෙනවා. මේකේ එක පැත්තක තියෙන්නේ ඉංග්‍රිසි හෝඩිය. අනිත් පැත්තේ තියෙන්නේ බබා ආස වර්ණවත් කාර්ටූන් චරිත.

මේ කිව්වේ ඔබ තනියම යනකොට මිලට ගන්න පුළුවන් සාමාන්‍ය මිල ගණන් සහිත තෑගී ගැන. නමුත් කාර්යාලයේ ඉන්න කට්ටිය එකතු වෙලා මුදල් එකතු කරලා තෑග්ගක් අරන් යනවා නම් මීට වඩා ටිකක් මිල අධික තෑග්ගක් අරන් යන්න පුළුවන්. අන්න ඒ වගේ වෙලාවට තෝරාගන්න පුළුවන් ත්‍යාග කිහිපයක් තිබෙනවා. මේ කියන්න යන්නේ එහෙම තෑගි ගැනයි.

  1. බේබි රොකර් එකක්

මේ උපකරණය පුංචි තොට්ල්ලක් වගේ. බබාට වාඩිවෙන්න පුළුවන් වුණාම නම් පුටුවක් විදියටත් භාවිත කරන්න පුළුවන්. බබාව නිදිකරවලා ලගින් තියාගෙන වැඩකටයුතු කරන්නත් පුළුවන්. මාස හය වගේ කාලේ බබාට කොන්ද කෙලින් කරන්න අමාරු නිසා කෑම කවාගන්න එහෙමත් පුළුවන්. බබා ලොකු වුණාට පස්සේ නම් මේ වගේ එකක තියලා තියන්න බැහැ. ඒ නිසා පුංචි කාලෙම ගෙනියන එක ප්‍රයෝජනවත් වෙනවා.

  1. ප්ලේ ජිම් එක

මේ පැටියාට හුඟක් ප්‍රයෝජනවත්. ලස්සන ලස්සන සෙල්ලම් බඩු තියෙන නිසා එයා ඒවා අල්ල අල්ල සෙල්ලම් කරනවා. පැටියා අලුත් දේවල් හොයන කාලෙට හරිම ප්‍රයෝජනවත්.

  1. ගෝ කාර්ට්/පීඩින් චෙයාර්

පැටියාට හිස කෙලින් කරලා වාඩි වෙන්න පුළුවන් වුණාම මේ උපකරණය සෑහෙන්න ප්‍රයෝජනවත් වෙනවා. පැටියාව වාඩිකරවගෙන එහේ මෙහේ යන්න විතරක් නෙවෙයි වාඩි කරවලා කෑම කවන්න වුණත් පුළුවන්. බබාව අරගෙන ඕනම තැනකට යන්න පුළුවන් ඒ වගේම එයාව තියලා අම්මට නිදහසේ ඉන්නත් පුළුවන්.

  1. රත්තරන්

මේ තෑග්ග ඇත්තටම තෑග්ගකට වඩා අනාගත ආයෝජනයක්. රත්තරන් දිනෙන් දින වටිනාකමින් ඉහල යනවා. ගැහැනු දරුවෙක් නම් කරාඹු දෙකක්, ගැහැණු පිරිමි ඕනම දරුවෙක්ට පංචායුධයක් අරගෙන යන්න පුළුවන්.

  1. බැංකු ගිණුමක්

අම්මාටයි තාත්තාටයි දරුවා වෙනුවෙන් ඉතිරි කිරීමක් අරඹන්න සහ පවත්වාගෙන යන්න මේ තෑග්ග උදව්වක්. බබා නමින් බැංකු ගිණුමක් ආරම්භ කරලා බැංකු පොත තෑග්ගක් විදියට අම්මා අතට දෙන්න. ඒ ගිණුම දිගටම පවත්වාගෙන යාම පැටියා වෙනුවෙන් කරන හොඳම ආයෝජනයක්.

ඒ වගේම ඔබ බලන්න යන්නේ දෙවනි හෝ තුන්වෙනි පැටියා නම්, ගෙදර වැඩිමල් දරුවෙක් ඉන්නවා නම් එයා වෙනුවෙන් තැග්ගක් අරගෙන යන්න අමතක කරන්න එපා. මොකද අලුත් පැටියා නිසා එයා ටිකක් විතර බයවෙලා ඉන්නවා වෙන්න පුළුවන්. අලුත් පැටියා නිසා එයාට තියෙන අවධානය අඩුවෙලා කියලා හිතෙන්න ඉඩ තියන්න එපා. එයාට ලස්සන පුංචි තෑග්ගක් අරගෙන යන්න. පුංචි හිතක් සතුටින් හිනාවෙන එක ඔබටත් සතුටක් වෙයි.

සටහන චාපා හංසිනි ආටිගල

තොරතුරු අන්තර්ජාලය ඇසුරින්