free stats

ගැබිනි මවක් සිටින නිවස සහ ඒ අවට පරිසරය පිරිසිදුව මනා ලෙස පවත්වාගෙන යාමට විශේෂ අවදානයක් යොමු කළ යුතුය. ගෙවත්ත සහ නිවස අලංකාරව ඇතිවිට සිත තුල පහන් සිතිවිලි උපදී. ගැබිනි මවට මෙන්ම ඇය කුස තුළ වැඩෙන දරුවාගේ කායික මෙන්ම මානසික සුවදායක බවට ඉතා යහපත් බලපෑම් ඇති කරන්නට එම සිතුවිලි සමත්ය.

සමීක්‍ෂණ වාර්තා අනුව අප රට තුළ සිදුවන ගැබ් ගැනීම් වලින් 50% කට වඩා සැලසුම් නොකල ගැබ් ගැනීම්ය. නොසිතු අයුරින් සිදුවන මෙවැනි ගැබ් ගැනීම් වලදී එන පීඩාකාරී ස්වභාවය අවම කර ගැනීම සඳහා තම නිවස හා අවට ගෙවත්ත පිරිසිදුව තබා ගැනීම ද උපකාරී වන බව වෛද්‍ය මතයයි.

තවද මදුරුවන්ගෙන් හෝ මැස්සන්ගෙන් බෝවන රෝග තත්ත්වයන් සහ පීඩාකාරී තත්ත්වයන් ද පාචනය වැනි රෝග තත්ත්වයන් ඇතිවීමට ද ගෙවත්තේ තිබෙන අපිරිසිදුකම බලපායි. එය ගැබිනි මවට අහිතකර සෞඛ්‍ය ගැටලු මතුවීමේ අවධානම ඉහළ යාමට හේතුවකි. එවැනි තත්ත්වයන්ගෙන් ගැබිනි මව ආරක්‍ෂාකර ගැනීම ඇයට මෛන්ම ඇයගේ කුස තුළ වැඩෙන දරුවාගේ නිරෝගී බවට ඉතාමත් වැදගත් වේ.

ගෙවත්ත තුළ විවිධ බෝග වර්ග වගා කිරීම වඩාත් සුදුසු වේ. එයින් මානසික තෘප්තිය ඉහළ යාම, අලුත් නැවුම් එළවළු හා පළතුරු ආහාරයට ගැනීම නිසා ශරීරයේ නිරෝගී බව ඇති වීම, ගැබිනි සමය තුළ ශරීරයට අවශ්‍ය ව්‍යායාම නිරතුරුවම ලැබීම වැනි ප්‍රතිලාභ බොහෝය. සාර්ථක ආර්ථික වාසි සලසා ගැනීම සඳහා ද මෙහි පිටුවහලකි. ගර්භණී මවක් වගා කටයුතු සඳහා සම්බන්ධ වීමෙන් ඇගේ මානසික තෘප්තිය ඉහල මට්ටමකට පත්වෙයි.

තවද තම නිවසේ සහ ගෙවත්තේ තිබෙන කසල නිවැරදි ආකාරයට ප්‍රතිශක්තිකරණය කිරීමද කල යුතුය. ඒ අයුරින් ක්‍රමාණුකූල ලෙස කසල ප්‍රතිශක්තිකරණයට ලක් කිරීම මඟින් අනවශ්‍ය විෂවායු ශරීරගත වීම වළක්වා ගැනීමට අවස්ථාව හිමිවේ. එසේ විෂ වායු ආග්‍රාහණය නොකිරීම ගැබිනි මවගේ සහ කුස තුළ සිටින දරුවාගේ නිරෝගීතාවයට ඉමහත් ප්‍රයෝජනවත් වේ.

නවීන විද්‍යාව සහ තාක්‍ෂණය, නවීන ඖෂධ සහ පරීක්‍ෂණ මඟින් යහපත් නිරෝගී දරුවෙකු බිහි කිරීම කල හැකි මෙන්ම තම නිවස හා ඒ අවට පිළිවලට පිරිසිදුව තබා ගැනීම නිසාද නිරෝගී දරුවෙකු මෙලොවට දායාද කල හැකි බව ගබිනි මව සිතෙහි තබා ගත යුතුය.

රෝහාන් ජයසූරිය මහතා
සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි
උඩුගම

සටහන අරුණි ජයසේකර