free stats

ගර්භණීභාවයෙන් පසු කාන්තාවන්ගේ පියයුරුවල ඇති වන වෙනස්කම් මොනවාද ?

ගර්භණි සමය තුළත් ඉන් පසුවත් දරුවාට මව් කිරි ලබා දෙන කාලය තුළත් මවකගේ පියයුරු විශාලත්වයෙන් වැඩි වීමක් සිදුවේ. එසේම තන පුඩුවේ ද විශාලත්වය වැඩි වීමක් සිදුවේ. එසේ පියයුරු විශාල වීම සමහර කාන්තාවන්ගේ සාමාන්‍යයෙන් සිදු විය යුතු ප්‍රමාණය ඉක්මවා සිදු විය හැකිය. එමෙන්ම මව්කිරි දීම නතර කිරීමෙන් පසුවත් හෝමෝන බලපෑම ඉවත් වූ පසුවත් මෙම විශාල පියයුරු නැවත යථා තත්ත්වයට පත්වීම සිදු නොවිය හැකිය.

එසේම මව්කිරි දෙන කාලය තුළ විශාලව වැඩුණු පියයුරු නැවත යථා තත්ත්වයට පත්වීමේ දී සමහර විට පියයුරු එල්ලා වැටීමක් සිදුවිය හැකියි.

සමහර අවස්ථාවල තරුණ කාන්තාවන්ගේ ගර්භණීභාවයෙන් හා මව්කිරි දීමෙන් පසුව මෙලෙස සිදුවන එල්ලා වැටීම ඉතා දරුණු ලෙස සිදුවිය හැකියි. මෙම තත්ත්වය ඉතා සාර්ථකව ප්ලාස්ටික් සැත්කම් මඟින් යථා තත්ත්වයට පත් කළ හැකියි. ලංකාවේ සිටින කාන්තාවන්ගෙන් බොහෝ දෙනෙක් මේ බව නොදනී.

අධික ලෙස විශාල වූ පියයුරු නිසා දැනෙන රෝග ලක්ෂණ මොනවාද ?

කෙනෙකුට හිතෙන්න පුලු‍වන් තමන්ගේ පියයුරු දෙක විශාලත්වයෙන් වැඩි නිසා කුඩා කර ගැනීමෙන් තමන්ගේ පෙනුම වැඩිකරගත හැකියි කියා. එහෙත් එම හේතුව එතරම් සැලකිල්ලට ගත යුතු නොවුනත් වෙනත් හේතු රාශියක් පියයුරු කුඩා කර ගැනීමට හේතු ලෙස දැක්විය හැකිය.

  1. ඔබගේ ශරීරයේ ප්‍රමාණයට සාපේක්ෂව පියයුරු විශාලව තිබීම.
  2. බෙල්ලේ, උරහිසේ සහ කොන්දේ වේදනාවන් හටගැනීම. පියයුරු විශාල වීම නිසා ද පියයුරු වල බර වැඩි වීම නිසා ද මෙය සිදුවිය හැකියි.
  3. ඔබගේ උරහිස් මත කැළැල් සහිත දාරයක් ඇති වීම. මෙය ඇතිවන්නේ ඔබ පලඳින තන පටයට දරාගැනීමට සිදුවන පියයුරු වල අධික බර නිසයි.
  4. පියයුරු වල ඇති අධික බර ඔබගේ සෘජු කාය විලාසයට බලපෑම් ඇතිකර කුදු බවක් ඇති කළ හැකියි.
  5. තනපුඩුව සහ ඇරියෝලාව පහළට හැරී පිහිටීම.
  6. පියයුරුවල බර වැඩිවීම නිසා ව්‍යායාම සහ ක්‍රීඩා කිරීමට ඇති වන අපහසුව
  7. එක් පියයුරක් වඩා වැඩියෙන් විශාල වී තිබීම
  8. පියයුරු යට දද සහ කුෂ්ඨ ඇති වීම.
  9. පියයුරු අධික ලෙස විශාල වීම නිසා නිදා ගැනීමේ දී ඇතිවන අපහසුතාව
  10. සෙනඟ ගැවසෙන තැන්වල දී තමන්ගේ පියයුරු විශාල වීම නිසා ඇති වන අපහසුතා

පියයුරුවල සිදුවන එල්ලා වැටීම සහ පියයුරු වල විශාලත්වය අඩු කිරීමේ සැත්කම් මොනවාද ?

පියයුරු වල විශාලත්වය අඩු කිරීමේ සැත්කම් ඉතා සාර්ථකව කිරීමට ප්ලාස්ටික් සැත්කමක් මගින් පුළුවන. මෙම සැත්කමේදී සිදුකරනුයේ පියයුරු වල වැඩිපුර ඇති පටක කොටස් පියයුරේ පහල ප්‍රදේශයෙන් නොහිටින සේ ඉවත් කිරීමත්, පහලට එල්ලා වැටෙන තනපුඩුව නැවත එසවීමත් ඊට අමතරව විශාලත්වය වැඩි වූ තන පුඩුව කුඩා කිරීමත් සිදුකෙරේ. කෙටියෙන් පැහැදිලි කළහොත් පියයුරේ තරුණ බව නැවත ඇති කිරීම සිදු කෙරේ.

පියයුරු විශාලත්වය අඩු නොකොට එහි එල්ලා වැටීම පමණක් ප්ලාස්ටික් සැත්කමකින් නිවැරදි කළ හැකිද ?

පියයුරු එල්ලා වැටිම පමනක් නැවත යථාතත්වයට පත් කිරීමේදී සිදුකරන්නේ වැඩිපුර ඇති සම පමණක් සුක්‍ෂමව ඉවත් කිරීමෙනි. මෙය ඉතා සාර්ථකව සිදු කල හැකි ප්ලාස්ටික් සැත්කමකි.

යම් කෙනෙකුට එල්ලා වැටෙන පියයුරුවේ පෙනුම වැඩි වන ලෙස විශාලත්වයෙන් වැඩි කර ගැනීම කළ හැකිද ?

මෙය පියයුරු වර්ධනය කිරීමේ ප්ලාස්ටික් සැත්කම් ලෙස හඳුන්වයි. මෙහිදී එල්ලා වැටීමට හේතුවන සමෙන් කොටසක් ඉවත් කර තනපුඩුව නැවත එසවීමේ සැත්කමක් මෙන්ම පියයුරු විශාලත්වය වැඩි කිරීමට සිදුකරන සැත්කමක් ද එකවර සිදු කරයි.

පියයුරේ විශාලත්වය සිලිකන් වලින් සාදන ලද කෘතිම පියයුරුවක් භාවිතයෙන් සාර්ථකව කළ හැක. දැනට ලෝකයේ භාවිතා වන සාර්ථකම කෘතිම පියයුරු අවදානම් තත්ත්වයෙන් ඉතා අඩු තත්වයක පවතී. මෙම කෘතිම පියයුරු සඳහා වසර 15කට අධික කාලයක වගකීම් සහතිකයක් බොහෝ සමාගම් දෙනු ලැබෙයි.

මෙරට බොහෝ දෙනා අතර විශාල ලෙස මේ ගැන පැහැදිලි අවබෝධයක් නැත. එහෙත් බොහෝ රටවල කෘතිම පියයුරු යොදාගෙන කරන සැත්කම් ඉතා බහුලව සිදුවෙයි. මීට අමතරව පියයුරේ විශාලත්වය වැඩිකිරීමට මේද පටක එන්නත් කිරීමෙන් ද සිදුකල හැක. කෙසේ වෙතත් මෙවැනි එන්නත් කිරීම් වල සීමාවන් ඇත. මේද පටක එන්නත් කිරීමෙන් ලැබෙන ප්‍රතිඵලයත් කාලයත් සමග සියයට 30-70% ක් ප්‍රමාණයක් නැවත අවශෝෂණය වී අඩු වී යයි.

මෙම හේතුවෙන් පියයුරු වල සමමිතික බව ලබා ගැනීමට අපහසු විය හැක. කෙසේ වෙතත් මෙසේ මේද පටක එන්නත් කිරීමෙන් ඇති විය හැකි අවදානම් තත්ත්වය අවම බැවින් මෙම ක්‍රමය ජනප්‍රිය ක්‍රමයක් ද වේ. මේද පටක එන්නත් කිරීමෙන් පියයුරු විශාල කිරීම බොහෝ විට අදියර දෙකකින් පමණ කිරීමට සිදුවේ.

මෙවැනි සැත්කම් වලින් ඇතිවන අවදානම් තත්ත්ව මොනවාද ?

සත්‍ය වශයෙන්ම මෙම සැත්කම අවදානම් තත්ත්වය ඉතා අවම මට්ටමක පවතී. මෙම සැත්කම ශරීරයේ අභ්‍යන්තරය සමඟ සම්බන්ධයක් නැති නිසා අභ්‍යන්තර රුධිර වහනයක් හෝ ජීවිත අවදානමක් නැත. කෙසේවෙතත් මෙවැනි සැත්කමක් ඔබට කර ගැනීමට අවශ්‍ය නම් ඒ සඳහා පුහුණුව හා පළපුරුද්ද ඇති ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍යවරයකු වෙත යොමුවීම වැදගත්. එසේ නොවුණහොත් බලාපොරොත්තු වන ප්‍රතිඵල නොලැබී යාමට පුළුවන.

මෙවැනි සැත්කමකින් පසුව නැවත එදිනෙදා කටයුතු කර ගැනීමට කොපමණ කාලයක් ගතවේද ?

මෙම සැත්කම ඉතා වේදනාකාරී සැත්කමක් නොවේ. බොහෝ විට පියයුරු වල බර අඩු වීමෙන් රෝගියාට පහසුවක් දැනීමට පටන් ගනී. බොහෝ විට දින කිහිපයකට පසුව නැවත එදිනෙදා කටයුතු කිරීමට බොහෝ කාන්තාවන්ට පුළුවන්. සැත්කමෙන් සමේ ඇතිවන තුවාල සතියකට පමණ පසු සුවවේ. එබැවින් සතියක දෙකක කාලයක් යන විට සම්පූර්ණ සුවය ලැබේ.

මහනුවර මහ රෝහලේ
ප්ලාස්ටික් සැත්කම් පිලිබඳ
විශේෂඥ්‍ය ශල්‍ය වෛද්‍ය ශශංක රත්නායක