free stats

පුරුෂ මදසරුභාවය ගැන ඉස්සර කතා කළේම නැහැ. ඕනම යුවලකට විවාහ වෙලා වසරක් ගතවෙනකොට සැලසුම් කළ ආකාරයෙන් දරුවෙක් ලැබීම සිදුවිය යුතුයි. ඒ කියන්නේ ඒ දෙන්නා සැලසුම් කරලා තියෙනවා නම් දරුවෙක් ලැබෙනවා. නමුත් සැලසුම් කල විදියට දරුවෙක් නොලැබුණොත් ඒ පිළිබඳව එම යුවල සැලකිලිමත් වෙනවා. මේක ප්‍රශ්නයක් වෙන්නේ වයසත් එක්ක. ගොඩක් වෙලාවට අවුරුදු තිහෙන් පස්සේ විවාහ වෙන දෙදෙනෙක් ඉක්මනින් දරු සුරතල් බලන්න සූදානම් වෙනවා. නමුත් වයසින් අඩු දෙදෙනෙක් වුණත් විවාහ වුනු ගමන් මව්පියන් වෙන්න සැලසුම් කරන්න පුළුවන්. එවැනි අවස්ථාවකදීත් ඒ දෙදෙනා පිළිසිඳ ගැනීම ප්‍රමාද වීම කියන කාරණය පිළිබඳව සැලකිලිමත් වෙනවා.

වයස

මේ කාරණය වඩාත් බලපාන්නේ කාන්තාවන්ටයි. කාන්තාවකට දරු පිළිසිඳ ගැනීමට සුදුසු නිසි වයසක් පිළිබඳව අපි නිරන්තරයෙන් කතා කරනවා. එයට හේතුව වෙන්නේ නිසි වයසින් පසු ඒ කියන්නේ 23 ත් 33 ත් අතර කාලයෙන් පස්සේ දරුවෙක් පිළිසිඳ ගැනීමට සූදානම් වෙනවා නම් සරුභාවය පිළිබඳව අවධානමක් තිබෙනවා. නමුත් පිරිමි කෙනෙකුට එහෙම තත්ත්වයක් ඇතිවන්නේ නැහැ. පිරිමි පාර්ශවයට වයස අවුරුදු 45 පමණ කාලය වනතුරු දරු පිළිසිඳ ගැනීමක් සඳහා සුදුසු මට්ටමේ සරුභාවයක් පවතිනවා.

පුරුෂ මදසරු භාවය

විවාහ වී වසරක් ඇතුළත දරු පිළිසිඳ ගැනීමක් සිදුවුණේ නැතිනම්
වෙනත් රෝග තත්ත්වයක් සඳහා ඖෂධ ප්‍රතිකාර ලබාගන්නවා නම්
ප්‍රජනන පද්ධතිය සම්බන්ධ යම් රෝගයක් තිබේ නම්
වයස අවුරුදු 45 ට වැඩිනම්

මදසරු බව පිළිබඳව අවධානමක් තිබෙනවා. එවැනි අවස්ථාවක දී වෛද්‍ය ප්‍රතිකාර
ලබාගැනීම වැදගත්.

සමාජීය වශයෙන් ගත්තාම පුරුෂ මදසරුභාවය සහ කාන්තා මදසරුභාවය පිළිබඳව තිබුණේ 50% ක වගේ සමානකමක්. නමුත් දැන් ඒ තත්ත්වය කාන්තාවන්ට වඩා තවත් 5% කින් පමණ වැඩි වෙලා තිබෙනවා. ඒ අනුව වර්ථමානයේ කාන්තාවකගේ මදසරු බව 45% ත් පුරුෂ මදසරු බව 55% ත් අතර වෙනසකට ලක්වෙලා තිබෙනවා. ඒ නිසා දරු පිළිසිඳගැනීම ප්‍රමාදවීම හෝ යම් ගැටළුවක් තිබෙනවා නම් කාන්තාවක් පමණක් ප්‍රතිකාර ලබාගැනීම සඳහා ඉදිරිපත් වීමෙන් පලක් නැහැ. පිරිමි පාර්ශවයත් ප්‍රතිකාර සඳහා යොමුවීම වැදගත් වෙනවා.

යුවලක් ප්‍රතිකාර සඳහා ආවාම මුලින්ම පුරුෂයාගේ මදසරු බව පිළිබඳව පරීක්‍ෂා කරලා බලනවා. එතනදි යම් ප්‍රශ්නයක් තිබෙනවා කියලා දැනගත්තොත් ඒ සඳහා අවශ්‍ය ප්‍රතිකාර ලබාදීම ආරම්භ කරන්න පුළුවන්. මෙතනදි වැදගත්ම කරුණ වෙන්නේ කාන්තාවන්ට තිබෙන මදසරු බව පිළිබඳ ප්‍රශ්නවලින් 70% ක ප්‍රමාණයක් සුවකරන්න පුළුවන්. ඒ වගේම දැන් තිබෙන වෛද්‍ය විද්‍යාත්මක ක්‍රම හරහා පිරිමි පාර්ශවයේ මදසරු බව පිළිබඳ ගැටළුවලින් 90% ක ප්‍රමාණයක් පහසුවෙන් සුවකරන්න පුළුවන්.

සමහර පිරිමි අය ඉන්නවා යම් ගැටළුවක් තිබෙනවා කියලා හිතුණු වෙලාවට ඇවිත් තමන්ගේ සරුබව පිළිබඳව පරික්‍ෂා කරගන්නවා. නමුත් බිරිඳව දැනුවත් කරන්නේ නැහැ. එයින් පස්සේ මදසරු බව තහවුරු වෙන ප්‍රථිපලයක් ආවත් බිරිඳව දැනුවත් කරන්නේ නැතුව පැත්තකට වෙලා ඉන්නවා. වැරදි වෛද්‍ය සහතික සකස් කරගෙන එන අයත් ඉන්නවා.

පෞර්ෂත්වය පිළිබඳ ගැටලුවක් නොවේ

ශ්‍රැක්‍රාණු පිළිබඳ ගැටළුවක් ඇතිවුණාම එය තමන්ගේ පිරිමිකමට එහෙමත් නැත්නම් පෞර්ෂයට බලපානවා කියලා අදහසක් ඇතිවෙන්න පුළුවන්. මේ තත්ත්වයට පිරිමියෙකුගේ පෞර්ෂය අදාල වෙන්නෙ නැහැ. මදසරු බව කියන්නේ එකක් පෞර්ෂය කියන්නේ තවත් එකක්. දරුවෙක් පිළිසිඳ ගන්නවා කියන්නේ වෙනම කාරණයක්. ඒ නිසා එවැනි සිතුවිලි හේතු කරගෙන ප්‍රතිකාර ගැනීමෙන් වැළකි සිටීම සුදුසු නැහැ. දෙදෙනාම එකතු වෙලා මේ පරීක්‍ෂණ සඳහා පෙනී සිටීම හොඳ ප්‍රථිපල ලබාගැනීම සඳහා හේතුවෙනවා.

මුලින්ම පුරුෂ මදසරු බව පිළිබඳව හඳුනාගැනීමේ පරීක්‍ෂණය සිදුකළ යුතුයි. කළ යුතු පරීක්‍ෂණවල ස්වභාවය තීරණය වන්නේ ඉන්පසුවයි. ඒ අනුව වයස අනුව සිදුකරන පරීක්‍ෂණ, රුධිර පරීක්‍ෂණ සිදුකෙරෙනවා. ශ්‍රැක්‍රාණු පිළිබඳව වඩාත් වැඩි තොරතුරු ලබාගන්න අවශ්‍ය නම් ඒ සඳහා අවශ්‍ය පරීක්‍ෂණ කරන්න පුළුවන්. ශ්‍රැක්‍රාණුවේ වලිගය ක්‍රියා කරන්නේ කොහොමද, ඔලුව ක්‍රියාකරන්නේ කොහොමද කියන දේවල් බලාගන්න අවස්ථාව තිබෙනවා.

හැඩය

ශ්‍රැක්‍රාණුව කියන්නේ මාළුවෙක් වගේ හැඩයක් තිබෙන සෛලයක්. එයට පිහිනිමේ හැකියාව තිබෙනවා. ඒ වගේම වලිග කොටසක් දැකගන්න පුළුවන්. කඳ කොටසකුත් තිබෙනවා. මේ හැම කොටසක්ම තිබෙන්නේ ඒ සඳහා පැවරුනු සුවිශේෂි කාර්යයක් නිසයි. ශ්‍රැක්‍රාණුවට පිහිනා යෑමේ හැකියාව පවතින නිසා පිහිනාගෙන ගිහින් බිත්තරය එහෙමත් නැත්නම් ඩිම්බය සිදුරු කරගෙන යන්න පුළුවන්. ඒ අනුව පරීක්‍ෂණයකින් පස්සේ වෛද්‍ය වාර්ථාව ආවාම ඒ ප්‍රථිපලය පරීක්‍ෂා කරලා හරියටම ප්‍රශ්නය අඳුනාගත්තොත් ප්‍රතිකාර ලබාගැනීම පහසුයි.

සමහර අය ශ්‍රැක්‍රාණු වැඩි වෙන්න කියලා විටමින් වර්ග ගන්නවා. නමුත් එයින් බලාපොරොත්තු වෙන තරමේ ප්‍රථිපලයක් ලබාගන්න අමාරුයි. ඒ වගේම සමහර ඖෂධ වර්ග තිබෙනවා මේවා ගත්තාම ශ්‍රැක්‍රාණුවල ගුණාත්මකභාවය වැඩිවෙනවා කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. නමුත් එහෙම දෙයක් නැහැ. මීට කලින් එවැනි ඖෂධ පිළිබඳව කළ පරීක්‍ෂණ වලින් වුනත් එහෙම සනාථ වෙලා නැහැ. ඒ වගේම පුරුෂයාගේ තිබෙන ශ්‍රැක්‍රාණු ප්‍රමාණ අනුව ඒ කියන්නේ සාමාන්‍ය නිරෝගි පුද්ගලයකුගේ ශ්‍රැක්‍රාණු මිලියන 15 ක් පමණ තියෙන්න ඕන කියලා අපි කියනවා. පිහිනන වේගය 50% වඩා තිබිය යුතුයි. ඒ වගේම සාමාන්‍ය ශ්‍රැක්‍රාණු ප්‍රමාණය 4% ක් පමණ තිබීම ප්‍රමාණවත්. ශ්‍රැක්‍රාණුවල විශබීජ තියෙන්න බැහැ. ශ්‍රැක්‍රාණු කැටිගැසෙන වේගයත් ඉතාම වැදගත්. මේ සියල්ල අපි ගන්න රිපෝර්ට් එකක තිබෙනවා. මේ සියලුම තොරතුරු ගත්තට පස්සේ ඒ පුද්ගලයාට තිබෙන ගැටළුව හඳුනාගන්න පුළුවන්කම තිබෙනවා.

දැන් අලුත්ම තාක්‍ෂණික ක්‍රම හරහා ශ්‍රැක්‍රාණුවේ හිස අරගෙන ඩිම්බයක් සිදුරු කරලා දාන්න පුළුවන්. ඒ ශ්‍රැක්‍රාණුවත් වඩා හොඳ ශ්‍රැක්‍රාණුවක් වියයුතුයි. හොඳම වර්ගයේ ශ්‍රැක්‍රාණුවක් තෝරලා දැමීමේ හැකියාවක් තියෙනවා. පිරිමි පාර්ශවයට මදසරුබව සම්බන්ධ මොනවිදියේ ගැටළු ආවත් කාන්තාවන්ට සාපේක්‍ෂව ඒ ගැටළු සඳහා සුදුසු විසඳුම් ලබාගන්න පුළුවන්. මොකද ඒ අයගේ ශ්‍රැක්‍රාණු මිලියන ගණනක් තියෙනවා. ඒ අතර හොඳ ක ශ්‍රැක්‍රාණුත් තියෙන්න පුළුවන්. මොකද දරුවෙක් හදන්න ඕන වෙන්නේ ශ්‍රැක්‍රාණු දෙක තුනක් විතරයි. වෛද්‍ය සහතිකයේ සඳහන් වෙන විදියට ශ්‍රැක්‍රාණු අඩුයි, පිහිනන විදිය වෙනස්, හැඩය වෙනස් කිව්වට බය වෙන්න අවශ්‍ය නැහැ. අනිත් අතින් එක වෛද්‍ය සහතික එකක් අරගෙන වුණත් ඒ මත තීරණ ගැනීම සුදුසු නැහැ. නිවැරදිව දත්ත ලබාගන්න නම් වෛද්‍ය සහතික තුනක්වත් ලබාගත යුතුයි. ඒකත් මාස තුනකට වරක් ගැනීම වඩාත් සුදුසුයි. එයට හේතුව ශ්‍රැක්‍රාණුවක් නිපදවෙන්න මාස තුනක් ගතවෙනවා. උදාහරණයක් විදියට අද අපිට උණ හැදිලා තිබුණා නම් අද ඉදන් දවස් තුනකට පස්සේ හැදෙන ශ්‍රැක්‍රාණු හොඳ නැහැ. නමුත් ඊට පස්සේ හැදෙන ඒවා හොඳයි.

සමහර අය ඉන්නවා ඒ අයගේ ශ්‍රැක්‍රාණු හොඳ වෙන්නේ කාලෙන් කාලෙට. ඒක කෑම බීම, දේශගුණය අනුව වෙනස් වෙනවා. ඒ අනුවත් පරීක්‍ෂණය වෙනස් වෙන්න පුළුවන්. සමහර අයගේ ශ්‍රැක්‍රාණුවලට විරුද්ධව ප්‍රතිදේහ හැදෙනවා. ඒ තත්ත්වය හඳුනාගන්න තමයි රුධිර පරීක්‍ෂණ සිදුකරන්නේ. හෝර්මෝන සම්බන්ධ පරීක්‍ෂණත් අවශ්‍ය නම් කරන්න පුළුවන්. විශේෂයෙන්ම ප්‍රාණවත් වීම සම්බන්ධව වගේම හැඟීම් සම්බන්ධ ගැටළු තිබෙනවා නම් ඒවා හඳුනාගන්නත් පුළුවන්කම තිබෙනවා. ජානවල ගැටළු තිබෙන තවත් පිරිසක් ඉන්නවා. ඒ අය සඳහාත් සුවිශේෂි පරීක්‍ෂණ කළ හැකියි. අලුත් පර්යේෂණයකින් පෙන්වා දීලා තිබෙන විදියට හේතුවක් හොයාගන්න බැරි මදසරු බවට ජානමය සාධක හේතුවෙන්න පුළුවන්. එවැනි හේතුවක් සොයාගත නොහැකි මදසරුභාවය ඇති අය දහදෙනෙකුගෙන් අටක් හෝ නවයක්ම මදසරුබවින් පෙළෙන්නේ ජානමය හේතු නිසයි. ඒ වගේම ශ්‍රැක්‍රාණු හොඳයි කියලා වෛද්‍ය සහතිකයක් ආවත් ඒවා හොඳයි කියලා හිතන්න බැහැ. මොකද පස්සේ කාලෙක දි වුණත් නැවත ගැටළුවක් මතුවෙන්න පුළුවන්. ඒ වගේම ඒ වෛද්‍ය සහතිකයේ නොපෙන්වන වෙනත් ගැටළු තියෙන්නත් පුළුවන්.

ශ්‍රැක්‍රාණු තැම්පත් කිරීම

මිලියන දහයක් පමණ තිබෙනවා නම් IUTPI ක්‍රමයෙන් පැලෝපීය නාලය තුළ තැම්පත් කරන්න පුළුවන්. මිලියන පහට වඩා අඩුනම් IVF ක්‍රමය මඟින් ශ්‍රැක්‍රාණු තැම්පත් කිරීම සිදුවෙනවා. මිලියන එකට වඩා ශ්‍රැක්‍රාණු අඩුනම් ඩිම්බයට ශ්‍රැක්‍රාණුව විදීමේ ක්‍රමය තිබෙනවා. ඒ ඒ ශ්‍රැක්‍රාණුවල ස්වභාවය, ඒවායේ පිහිනිමේ හැකියාව කියන සාධක මත මේ ප්‍රතිකාර වෙනස් වෙන්න පුළුවන්.

පුරුෂයෙක් ඉක්මනින් බෙහෙත් ගතයුතු අවස්ථාවක් තිබෙනවා. Sparm dysgenesis syndrome නමින් තමයි මේ තත්ත්වය හඳුන්වන්නේ. මෙහිදි කාලයත් එක්ක, පුරුෂයාගේ වයසත් එක්ක ශ්‍රෑක්‍රාණු අඩුවෙන්න පුළුවන්. අවුරුදු 20 දි තියෙන ශ්‍රෑක්‍රාණු ප්‍රමාණය අවුරුදු 30 දි භාගයක් වෙලා අවුරුදු 40 වෙද්දි නැතිවෙලා යනවා. ඒ නිසා එවැනි කෙනෙක් එක්කෝ ශ්‍රෑක්‍රාණු ගබඩා කරන්න ඕන, එහෙමත් නැත්නම් ඉක්මනින් දරුවෙක් බිහි කරන්න උනන්දු වෙන්න ඕන. ශ්‍රෑක්‍රාණුවල ගු-ණාත්මක බව හා ප්‍රමාණය අනුව නිසි ක්‍රමවේදයක් සලසා ගතයුතුයි.

පුරුෂ මදසරු බවට බලපාන සමාජයීය හේතු.

දුම්පානය මේ අතරින් ප්‍රධානයි. එය පුරුෂ මදසරු බවට හේතුවෙනවා කියලා පර්යේෂණ රැසකින් ඔප්පු වෙලා තිබෙනවා. දිනකට පානය කරන දුම්වැටි ගණන ශ්‍රෑක්‍රාණු අඩුවීමට හේතු වෙනවා. ඒ වගේම දීර්ඝකාලීනව දුම්පානය කරන කෙනෙකුගේ ශ්‍රෑක්‍රාණුවල ගුණාත්මක බවට හානිවීමේ ප්‍රතිශතයත් ඉතාම වැඩියි. එවැනි ශ්‍රෑක්‍රාණුවකින් බිහිවන දරුවෙකුගේ ගුණාත්මකබවත් අඩුවෙන්න පුළුවන්. දරුවෙක් හදන්න බලාපොරොත්තු වෙන කෙනෙක් දුම්පානයෙන් ඉවත් වීම ඉතාම හොඳයි. කෙනෙක් දුම්පානය කරනවා වුණත් එයාට දරුවෝ ලැබෙන්න පුළුවන්. ඔබ දන්න දුම්පානය කරන කෙනෙකුට වුණත් දරුවො ඉන්න පුළුවන්. නමුත් ප්‍රශ්නය තියෙන්නේ දරුවෝ ඉන්නවද නැද්ද කියන එක විතරක්ම නෙවෙයි. අපි අද ගැන විතරක් නෙවෙයි තවත් ඉදිරියට හිතුවොත් සමහර විට උපදින දරුවාට වයස අවුරුදු 15 ක් හෝ 20 ක් ඉක්ම ගියාට පස්සේ සුවකළ නොහැකි පිළිකා තත්ත්වයක් ඇතිවෙන්න වුණත් පුළුවන්.

මත්පැන් පානය කිරීමත් මේ හා සමාන තත්ත්වයක්. ගන්න ප්‍රමාණය අනුව මේ තත්ත්වය වෙනස් වෙනවා. නිසි පරිදි නින්ද නොලැබෙන අයටත් මදසරු බව ඇතිවීමේ අවධානම බහුලයි. ඒ වගේම නිතර දුර රියපදවන අයටත් මෙවැනි අවධානමක් තිබෙනවා. එක දිගට රිය පදවන අයට මේ තත්ත්වය දකින්න පුළුවන්. නිතර උණුවතුර නාන අයටත් එවැනි අවධානමක් එන්න පුළුවන්.

පුරුෂ වෘෂණ කෝෂ එළියේ තියෙන්නත් කාන්තාවකගේ ඩිම්භ කෝෂ ඇතුලේ තියෙන්නත් හේතුවක් තිබෙනවා. කාන්තාවකගේ අභ්‍යන්තර උශ්ණත්වය ඩිම්බවලට දරාගන්න පුළුවන්. නමුත් ශ්‍රැක්‍රාණුවකට පවතින්න පුළුවන් සාමාන්‍ය උශ්ණත්වයට සාපේක්‍ෂව සෙල්සියස් අංශක 02 ක අඩු උශ්ණත්වයකයි. ශරීර උශ්ණත්වය වැඩි නිසා වෘෂණ කෝෂ තිබෙන්නේ පිටතින්. ශ්‍රැක්‍රාණුවලට දැරිය නොහැකි මට්ටමේ උශ්ණත්වයකට නිතර නිරාවරණය වෙනවා නම් ශ්‍රැක්‍රාණු නිපදවීමේ හැකියාව සහ එහි ගුණාත්මක බව අඩුවෙනවා. කුඩා කාලයේ ඉදලා පිරිමි දරුවන්ට දවස පුරා පැම්පර්ස් ඇන්දවීම, කාය වර්ධන ක්‍රිඩා කරන අය අදින ඇඳුම් නිසාත් ශ්‍රැක්‍රාණුවලට හානි වෙන්න පුළුවන්. අදින රෙදිවර්ග පවා ශ්‍රැක්‍රාණු අඩුවීමට හේතු වෙනවා.

ලිංගික හැඟීම් උද්දීපනය වෙන කාලයේ සිදුකරන සමහර ක්‍රියාකාරකම් නිසා විෂබීජ ඇතුල්වීමේ අවධානමක් තිබෙනවා. එයත් බලපාන්න පුළුවන්. සමහර විට සෛල මියයාම, ශ්‍රැක්‍රාණු පිටවන නහර සිරවීම වුණත් සිදුවෙනවා. හොඳට ශ්‍රැක්‍රාණු තිබෙන අයටත් සමහර විට කාලයත් සමඟ ශ්‍රැක්‍රාණු අඩුම මට්ටමට පත්වීමට මේ තත්ත්වය බලපානවා. මානසික ප්‍රශ්න, නිතර කල්පනා කිරීම, ආතතියත් මේ සඳහා බලපාන හේතුවක්.

වෘෂණ කෝෂ සම්බන්ධ සැත්කම් කළ අය, හර්නියා වර්ගයේ සැත්කම් කළ අයට ශ්‍රැක්‍රාණු නිපදවීමේ ගැටළු ඇතිවෙන්න පුළුවන්. ඒ වගේම ශ්‍රැක්‍රාණු නිපදවීමට හේතුවෙන වෙනත් ග්‍රන්ථි තිබෙනවා. එනම් සමහර විට පුරස්ථි ග්‍රන්ථියේ ඇතිවන ගැටළු නිසාත් ශ්‍රැක්‍රාණු නිපදවීමට බාධා මතුවිය හැකියි. තයිරොයිඞ් ග්‍රන්ථියේ දුර්වලතා, දියවැඩියාව, දීර්ඝකාලීනව බෙහෙත්වර්ග ගැනීම, වෘෂණ කෝෂ ආශ්‍රිත පිළිකා තත්ත්ව පවා ශ්‍රැක්‍රාණු අවම වීමට හේතුවක්.

මෙවැනි ප්‍රශ්නයක් නිසා යම් පුද්ගලයෙක් සැත්කමකට භාජනය වෙනවා නම් සැත්කමට පෙර ශ්‍රැක්‍රාණු තැම්පත් කිරීමේ ක්‍රමයකට යොමුවීම වැදගත්. සිරුරෙන් ඉවත් කළ ශ්‍රැක්‍රාණු තැම්පත් කළ හැකි ක්‍රම තිබෙනවා. මේවා මඟින් වසර 15 කට වඩා අධික කාලයක් වුණත් ශ්‍රැක්‍රාණු ප්‍රවේසම් කරගන්න පුළුවන්. ජානමය වශයෙන් Y ක්‍රොමසෝමයේ ඇතිවන ගැටළු නිසා වයසත් සමඟ ශ්‍රැක්‍රාණු අඩුවෙනවා. ඒ අයටත් මේ ක්‍රමයෙන් ශ්‍රැක්‍රාණු ප්‍රවේසම් කරගන්න පුළුවන්.

සතුටුදායකම කාරණය වන්නේ ශ්‍රැක්‍රාණු නැති වුණත් වෘෂණ කෝෂ විදලා වුණත් ශ්‍රැක්‍රාණු අරගෙන දරුවෙක් හදන්න පුළුවන්. ඒ සඳහා අවශ්‍ය තාක්‍ෂණය දැන් අපේ රටෙත් තිබෙනවා.

ඒ නිසා තමන්ට යම් ගැටළුවක් තිබෙනවා නම් හැංගෙන්නේ නැතිව පරීක්‍ෂණවලට මුහුණ දීලා අතීත කාරණා කියලා ගැටළුවට ප්‍රතිකාර ලබාගන්න පුළුවන්. ඒ අයට කිසිම දෙයකට බයවෙන්න අවශ්‍ය නැහැ. කාන්තාවන්ට වඩා ඉක්මනින් මේ ගැටළු විසඳාගන්න පිරිමි පාර්ශවයට අවස්ථාව තිබෙනවා.

විශේෂඥ වෛද්‍ය
හෙලරුවන් පසන් කුමාර

සටහන චාපා හංසිනි ආටිගල