free stats

ලොව පුරා සෑම රටකම පිළිගත් පරිදි අලුත උපන් දරුවකුට මව්කිරි දීම අනිවාර්යය වුවත් තරුණ මව්වරු බොහෝ දෙනෙක් මව්කිරි දෙන්නට අකැමති වන කාරණයක් තිබෙනවා. එයට හේතුව වන්නේ දිගුකලිනව මව්කිරි ලබාදීම හේතුවෙන් පියයුරුවල හැඩය වෙනස් වන බවට මව්වරුන් අතර තිබෙන මතයයි. නමුත් එහි කිසිඳු සත්‍යතාවක් නැහැ. මව්කිරි ලබා දීම මඟින් පියයුරු එල්ලා වැටීම පියයුරු මහත් වීම හෝ වෙනත් කිසිඳු වෙනසක් සිදුවන්නේ නැහැ.

නමුත් ඇත්තෙන්ම පියයුරුවල හැඩය වෙනස් වනවා. එයට හේතු වන කරුණු විවිධයි. අනෙක් ශාරිරික අවයව බොහෝමයක මෙන් පියයුරුවල මස්පිඩු ඇත්තේ නැහැ. එහි අඩංගු වන්නේ තෙල් හෙවත් මේදය, පටක හා කිරි නිෂ්පාදනය කිරිමට උපකාරි වන ග්‍රන්ථි පමණයි. මේ නිසා අනෙක් අවයව මෙන් පියයුරුවල හැඩය එක ලෙස පවතින්නේ නැහැ. අනෙක් අවයවවලට සාපේක්ෂව එහි හැඩය ඉක්මනින් වෙනස් වනවා.

පියයුරුවල හැඩය පවත්වාගෙන යාම සඳහා උපකාරි වන්නේ ඉලාස්ටික් නම් ප්‍රෝටීනයයි. මෙම ප්‍රෝටීනය පියයුරු අභ්‍යන්තරයේ අන්තර්ගතව පවතිනවා. වයසට යාමත් සමඟ මෙම ප්‍රෝටීන දුර්වල වීම නිසා පියයුරු එල්ලා වැටීම ආරම්භ විය හැකියි. ඒ අනුව ඕනෑම කාන්තාවක් වයසට යන විට පියයුරු එල්ලා වැටීම සාමාන්‍යයි.

මීට අමතරව අඩු වයසෙන්ම පියයුරු එල්ලා වැටීමට බලපාන හේතු තිබෙනවා. යම් කාන්තාවක් දුම්වැටි පානයට හෝ මත්පැන් පානයට හුරු වී සිටී නම් ඇය දරුවකුට මව්කිරි දුන්නත් නැතත් ඇගේ පියයුරු එල්ලා වැටීම සිදුවනවා. එයට හේතුව එවායෙහි අඩංගු රසායන ද්‍රව්‍ය ඉලාස්ටික් ප්‍රෝටීනයට අහිතකර බලපෑම් එල්ල කිරිමයි. එමෙන්ම කාන්තාවක් ගර්භණී වු විට ඇයගේ සිරුරේ සිදුවන බර වැඩිවීම හා පියයුරුවල මේදය එක්රැස් වීම නිසාත් පියයුරු එල්ලා වැටීම සිදුවෙනවා.

මේ නිසා සෑම කාන්තාවක්ම ගර්භණි සමයේ සිටම තමන්ගේ බර වැඩිවීම පිළිබඳව අවධානයෙන් සිටිය යුතුයි. සෑම කාන්තාවක්ම සමබල ආහාර වේලකට හුරු වීම වඩාත් වැදගත් වන්නේ එබැවිනි. එයට අමතරව හොඳින් ජලය පානය කිරිම වඩාත් හොද ප්‍රතිකාර ක්‍රමයක් වනවා. එමඟින් ශරිරය නිරෝගි වන අතර පියයුරුවල නිසි හැඩය පවත්වාගෙන යාමටත් එය හේතු වනවා.

ඔබ අදින ඇදුම් පැළදුම් ද පියයුරු එල්ලා වැටීමට හේතු විය හැකියි. බොහෝ කාන්තාවන් නිවසේ සිටින විට බ්‍රෙසියරයක් අදින්නට උනන්දු වන්නේ නැහැ. ඒ වගේම මව්කිරි දීමේ පහසුව සලකා බ්‍රෙසියරයක් ඇදීමට උනන්දු නොවන කාන්තාවන් ද සිටිනවා. එය පියයුරු එල්ලා වැටීමට හේතුවක්. එම නිසා පියයුරු එල්ලා වැටීම පාලනය සඳහා සෑම විටම තද, සිරුරට ගැලපෙන බ්‍රෙසියරයක් අදින්න. රාත්‍රියට පමණක් බ්‍රෙසියරයක් ඇදීමට අවශ්‍ය නැහැ. ඒ වගේම සිරුරට නොගැලපෙන පියයුරුවල ප්‍රමාණයට වඩා විශාල බ්‍රෙසියර් ඇඳිමෙන් පියයුරු ඉක්මනින් එල්ලා වැටෙනවා.

මීට අමතරව පියයුරු එල්ලා වැටීම වලක්වා ගැනීම සඳහා විවිධ ප්‍රතිකාර සිදුකල හැකියි. අයිස්, ඔලිව් ඔයිල්, කෝමාරිකා වැනි ද්‍රව්‍යක් ගෙන පියයුරුවල ගල්වා මුල සිට අගට හොඳින් රවුම් හැඩයට විනාඩියක් සම්භාහනය පමණ කරන්න. එයින් පියයුරුවල හැඩය සකස් කරගත හැකියි. මෙහිදි එක්වරකට විනාඩියක් පමණ කාලයක් සම්භාහනය කරගැනීම ප්‍රමාණවත්. එක දිගට සම්භාහනය කිරිම සුදුසු නැහැ. සතියකට දින කීපයක් එලෙස සම්භාහනය කිරීම සෑහෙනවා.

මව්කිරි දීම මඟින් කිසිසේත්ම පියයුරු එල්ලා වැටීමක් සිදුවන්නේ නැහැ. මව නිරෝගීව සිටී නම් පළමු මාස හය අනිවාර්යයෙන්ම මව්කිරි ලබා දීම කලයුතුයි. මව්කිරි දරුවාගේ බුද්ධි වර්ධනයට ඉතාමත් වැදගත් වන අතරම මනා සෞඛ්‍ය තත්ත්වයක් පවත්වාගෙන යන්නත් උපකාරි වෙනවා. එමෙන්ම මව සහ දරුවා අතර බැදීම වර්ධනය වීමටත් දරුවාට මව්කිරි ලබා දීම හේතුවකි.

මව්කිරි නොදීම නිසා පියයුරුවල කිරි ගල් වීමෙන් නොයෙකුත් ආසාදන ආදිය මතු වන්නට පුලුවන්. සැරව ගෙඩි පවා ඇතිවන්නට පුලුවන්. සමහර විට සැත්කම්වලට යොමු වීමට සිදුවන තරම් එම රෝග තත්ත්වය දරුණු වනවා. අනෙක් අතට මව්කිරි දෙන මව්වරුන්ට පියයුරු පිළිකා ඇතිවීමේ අවධානම ඉතාම අඩුයි. එම නිසා මවගේ ආරක්ෂාවට මෙන්ම දරුවාගේ යහපැවැත්ම උදෙසා මව්කිරි ලබාදීම වඩාත් සුදුසුයි.


ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරි
වෛද්‍ය ඉන්දික සේනාරත්න
මුලික රෝහල
දඹුල්ල.

සටහන චාපා හංසිනි ආටිගල