free stats

ඇගේ ලේ අඩුකම, එහෙමත් නැත්නම් රක්ත හීනතාවය යන්න ගැබිණි මව්වරුන් සම්බන්ධයෙන් නිතර නිතර අහන්න ලැබෙන දෙයක්. ගැබිණි මවකට  තමන්ගේ ශරීරයේ ලේ අඩුයි කියලා දැනගන්න ලැබුණොත්  ඇය ගොඩක් බය වීමත් සාමාන්‍ය තත්ත්වයක්. ඒ නිසාම ඇගේ ලේ අඩු නොකර ගැනීමට නම්  අවශ්‍ය පෝෂණ සංඝටක මොනවාදැයි දැන සිටීම වැදගත් වෙනවා. ගැබ් ගැනීමෙන් පසුව කොතරම් ආහාර පාන ගත්තත් ඒවා පිළිබඳව නිසි අවබෝධයක් නොමැතිව ගන්නවා නම් පෝෂණ ඌනතා ඇති වෙන්න පුළුවන්. එම නිසා ගන්නා සෑම ආහාරයකම පෝෂණ ගුණය පිළිබද අවබෝධයකින් ආහාරයට එක් කර ගන්නවා නම් දෛනික පෝෂණ අවශ්‍යතා නිසි ලෙස සපුරා ගන්නත් පෝෂණ ඌනතා මගහැරගන්නත් හැකියාව ලැබෙනවා.

නිරක්තිය එහෙමත් නැත්නම් රක්ත හීනතාව යන්නෙන් අදහස් වෙන්නේ ශරීරයේ ලේ නැත්නම් රුධිරය අඩුයි කියන එකයි. ශරීරයේ ලේ වඩවන්න පුළුවන් ප‍්‍රදානතම පෝෂණ සංඝටකය වෙන්නේ යකඩයි. ශරීරයට ලැබෙන යකඩ ප‍්‍රමාණය අඩු වීමෙන් විවිධ සංකූලතා ඇති වෙන්න පුළුවන්. ගර්භනී මවකට මේ තත්ත්වය විශේෂයි. මේ අවධියේ වර්ධනය වන රුධිර සෛල සදහාත් කළලයේ සහ වැදෑමහේ වර්ධනයටත් යකඩ අත්‍යාවශ්‍ය වෙනවා. ගැබ් ගෙන පළමු මාස තුන ඉක්ම යාමෙන් පසුව සහ ප‍්‍රසූතිය ආසන්නයේත්, ප‍්‍රසූතියෙන් පසුව කිරිදෙන අවස්ථාවේදීත් මවගේ යකඩ අවශ්‍යතාවය ඉහළයි. ඇතැම් කාන්තාවන් ගැබ්ගත් බව නොදැන සිටීම නිසා ගර්භනී බවට පත්ව මුල් අවස්ථාවේදී නිරක්තිය ඇතිවීමේ අවධානමක් තිබෙනවා. මේ නිසා ගැබ් ගැනීමට සූදානමෙන් පසුවන සෑම කාන්තාවක්ම ශරීරයට අවශ්‍ය යකඩ ලබාදෙන ආහාර ගැනීමට යොමු වීම වැදගත් වනවා.

සාමාන්‍යයෙන් රුධිරයේ හිමොග්ලබීන් ප‍්‍රමාණය ඩෙසිලිටරයකට ග‍්‍රෑම් 11කට වඩා අඩුවීම නිරක්තිය වශයෙන් හඳුන්වනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව රුධිරයේ හිමොග්ලබීන් ප‍්‍රමාණය ඩෙසිලීටරයකට ග්රූම් 7කටත් වඩා අඩු වීම උග‍්‍ර නිරක්තියයි. ලෝකයේ බොහෝ ගර්භනී කාන්තාවන් මේ තත්ත්වයෙන් පෙලෙන බව පරීක්ෂණ වලින් සොයාගෙන තිබෙනවා.

සාමාන්‍යයෙන් ශරීරයේ ඇට මිදුළු තුළ තැන්පත් කරනු ලබන යකඩ ප‍්‍රමාණය අවසන් වීමෙන් පසුව නිරක්තිය එහෙමත් නැත්නම් යකඩ ඌනතාවය ඇති වෙන්න පුළුවන්. යකඩ ඌනතාවය ඇති වීමේ අවධානම සහිත කණ්ඩායම් තුනක් තිබෙනවා. එනම් ගර්භණී මව්වරුන්, කිරිදෙන මව්වරුන් සහ මාසික ඔසප්වීම් සිදුවන කාන්තාවනුයි.

යකඩ ඌනතාවය නිසා මළ දරු උපත් මෙන්ම දරුවාගේ වර්ධනය බාල වීම සහ දරුවා ඉපදීමෙන් පසුව මිය යාම වැනි තත්ත්වයන් ඇති වන්න පුළුවන්. ඒ වගේම ගබ්සා ඇති වීමටත් යකඩ ඌනතාවය හේතු වන අවස්ථා තිබෙනවා. ඒ වගේම දරුවෙක් උපන් පසුව පළමු වසර දෙක තුළදී ශරීරයට අවශ්‍ය යකඩ ප‍්‍රමාණය යහමින් නොලැබුණහොත් එම දරුවාගේ මොළයේ නිසි වර්ධනය සිදු වන්නේ නැහැ.

එමෙන්ම යකඩ යහමින් ශරීරයට ලැබීමෙන් තෙහෙට්ටුව වළක්වා ගන්නත්, සුව නින්දක් ලබාගන්න වගේම ශරීරයේ ප‍්‍රතිශක්තිය වර්ධනය කරගන්නත් හැකියාව ලැබෙනවා. ඊට අමතරව ශරීරයේ උෂ්ණත්ව පාලනය කිරීමට සහ යම් දෙයකට දක්වන අවධානය වැඩි කිරීමටත් යකඩ ඉවහල් වෙනවා.

සාමාන්‍යයෙන් ශ‍්‍රී ලංකාවේ ගර්භනී මව්වරුන් සදහා යකඩ අතිරේක විටමිනයක් ලෙස සායන වලදී ලබා දෙනවා. ගැබ්ගෙන පළමු සති 12 ඉක්ම ගිය පසුව සමස්ත ගර්භනී කාලය තුළත් දරු ප‍්‍රසූතියෙන් පසුව මාස 6ක් යනතුරුත් යකඩ ගිලින පෙති වශයෙන් ලබා ගැනීමට නිර්දේශ කරනවා. මෙම යකඩ පෙති ආහාර ලබාගැනීමට පෙර ගැනීමට උපදෙස් දෙන මුත් තරමක් කටුක රසයකින් සහ වර්ණයකින් යුත් නිසාම ඇතැම් මවුවරුන්ට ඔක්කාර ගතියක් පවා ඇතිවිය හැකි නිසා ආහාර ගැනීමෙන් පසුව වුවත් ලබාගන්න පුළුවන්. මෙලෙස අතිරේකව ලබාගන්නා යකඩ පෙති ගබඩා කිරීමේදී වාතය ඇතුළු නොවන අදුරු පැහැ ඇසුරුමක් භාවිත කිරීමෙන් ඒවා ඔක්සිහරණය වීමෙන් වළක්වා ගන්න පුළුවන්.  අතිරේක විටමිනයක් ලෙස යකඩ ශරීරයට එකතු කර ගැනීමට අමතරව යකඩ අඩංගු ආහාර පිළිබද දැනගැනීමෙන් යකඩ ඌනතා ඇති වීම මගහැර ගන්න හැකියාව ලැබෙනවා.

තද කොල පැහැති පලා වර්ග යකඩ බහුල වශයෙන් අඩංගු ආහාර වර්ගයක්. දෛනික ආහාරවේලට පලා වර්ගයක් පුරුද්දක් වශයෙන් එකතුකර ගන්නවා නම් නිරක්තිය ඇති වීමේ අවධානමක් නැහැ. විශේෂයෙන්ම අප අඩු වශයෙන් ආහාරයට ගන්නා නිවිති වල යකඩ බහුල වශයෙන් අඩංගු වෙනවා. එමෙන්ම සාරන, තම්පලා, මුකුණුවැන්න සහ ගොටුකොල වැනි පලා වර්ග වලත් යකඩ බහුලව අඩංගුයි.

එ් වගේම ඌරු මස්, හරක් මස්, එළු මස් සහ කිරි බිත්තර වලත් යකඩ  අඩංගු වෙනවා. හාල්මැස්සන්, ඉස්සන් වැනි කලපු මසුන්ගේ සහ කරවල, මාළු  යකඩ අඩංගු සෙසු ආහාරයි. කැරට්, බීට් සහ මුරුංගා යකඩ බහුල එළවළු වර්ග ලෙස හදුන්වනවා. ඒ වගේම නෙළුම් අල වගේම  බඩ ඉරිගු, කුරක්කන් වැනි ධාන්‍ය වලත් යකඩ අඩංගු වෙනවා. සහල්, කව්පි, මුං ඇට ආහාරයට එක් කර ගැනීමෙනුත් යකඩ ලබාගන්න පුළුවන්. මේ ආහාර අතරින් මාංශමය ආහාර වල ඇති යකඩ පහසුවෙන් ශරීරයට අවශෝෂණය කරගන්නවා. ශාකමය ආහාර වල අඩංගු යකඩ අවශෝෂණය කර ගැනීමට නම් ඒ සමග විටමින් සී බහුල ආහාර ගැනීම වඩා ඵලදායී වනවා. දෙහි, දොඩම්, නෙල්ලි, පේර සහ කෙසෙල් වැනි පළතුරු විටමින් සී වලින් පොහොසත්.

නමුත් ඇතැම් රසායන ද්‍රව්‍යයන් නිසා යකඩ ශරීරයට අවශෝෂණය කිරීමට බාධා ඇති කරන්න පුළුවන්. එවන් රසායන ද්‍රව්‍ය  අතර තේ සහ කෝපි වල අඩංගු වන කොකේන් සහ ටැනින් යන රසායන ද්‍රව්‍යත් කැල්සියම් වැනි ඛනිජ ලවණත් ප‍්‍රධානයි. එම නිසා ප‍්‍රධාන ආහාරවේලක් ගැනීමෙන් පසුව පැයක් වත් ගතවන තුරු තේ හෝ කෝපි පානය කිරීම සුදුසු වන්නේ නැහැ.

බොහෝ අවස්ථාවලදී ගර්භනී කාන්තාවන් පෝෂණ ඌනතාවයන් සදහා මුහුණපාන්නේ නොදැනුවත් භාවය නිසයි. මුදල් වියදම් කිරීමකින් තොරව එදිනෙදා ආහාරයට ගන්නා ආහාර මගින් තම පෝෂණ අවශ්‍යතා පහසුවෙන් සපුරා ගත හැකි බව ඔවුන් දන්නේ නැහැ. මිල අධික විටමින් වර්ග භාවිතය වෙනුවට නිසි අවබෝධයෙන් යුතුව සමබල ආහාරවේලක් ගැනීමට යොමු වනවා නම් තමන්ට සහ දරුවාට ඇති වන පෝෂණ ඌනතා වියදමකින් තොරවම පහසුවෙන් වළක්වා ගන්න පුළුවන්.

සයුරි අචින්ත්‍යා ධර්මසිරී