free stats

රටක අනාගතයේ තීන්දු තීරකයන් වන්නේ එරට දරු පරපුරයි. ඒ නිසා රටකට අවශ්‍ය වන්නේ නිරෝගිමත් දරුවන්ය. නිරෝගිමත් සෞඛ්‍ය සම්පන්න දරුවන් බිහි කිරීමේ වගකීම හිමි වන්නේ ආදරණීය මව්පියවරුන්ටයි. එලෙස දරුවෙක් නිර්මාණය කිරීමේදී මව්පියන්ට වැදගත්වන පණිවුඩයක් ලබා දීමට ආදරණීය අම්මි අපි අදහස් කළෙමු. ඒ අදහස පෙරදැරි කරගනිමින් කළුබෝවිල ශික්ෂණ රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය පුණ්‍යානි බන්දුතිලක මහත්මිය සමග සාකච්ඡුා කළ අතර මේ ලිපිය සැකසී ඇත්තේ එම සාකච්ඡුාව මූලිකවයි.

”දරුවන් සියුමැලිබවින් යුතු පිරිසක් වන නිසාවෙන් ඔවුන් මල්වලට සමාන කර තිබෙනවා. මල් පෙති ගණ අව් රශ්මියට තද සුළගට තද වැසිවලට ඔරොත්තු දීමට නොහැකිව තැලී පොඩිවන ආකාරය අපට නිරන්තරයෙන් දැක ගන්න පුළුවන්වන දෙයක්. අපේ දරුවනුත් ඒ වගේමයි. කුඩාකල ඔවුන්ගේ ශරීරයේ රෝගවලට ඔරොත්තු දීමේ හැකියාව පවතින්නේ ඉතා අවම මට්ටමකින්. මේ නිසා වෛරස් රෝගවලට ගොදුරු වීම, සමේ ආසාදන ඇති වීම හා වෙනත් රෝගවලට මුහුණපෑමේ හැකියාව ඉතාමත් වැඩි නිසා දරුවන් ආරක්ෂා කර ගැනීමට ඇති වගකීමෙන් මිදීමට මවුපියන්ට නොහැකි වෙනවා. දරුවන්ට සෑදෙන වෛරස් රෝග අතර සෙම්ප‍්‍රතිශ්‍යාව මූලික රෝගයක්. දරුවන්ට මෙවන් රෝග ආසාදනය වූ විටදී බොහෝ මව්වරුන් අත්බෙහෙත් ලබා දීමට පෙළඹෙනවා. මෙහි වරදක් නොමැති වුවත් රෝග උත්සන්න වනවා නම් හැකි ඉක්මනින් වෛද්‍ය ප‍්‍රතිකාර ලබා දීමට යොමු විය යුතුයි. අනෙක් කාරණය වන්නේ වෛරස් රෝග වැළදුනු පසු හැකිතාක් කාලයක් දරුවාට විවේක සුවය ලබා දීමට මව්වරුන් වගබලා ගත යුතුයි. නැතිනම් සිදුවන්නේ දරුවාගේ රෝග තත්ත්වය උග‍්‍රවෙමින් මානසික ඒකාග‍්‍රතාවයද නැතිව යාමයි. සෙම්ප‍්‍රතිශ්‍යාව, කැස්ස වැනි රෝග වැලදී ඇති විටදී දරුවාට ලේන්සුවක් පාවිච්චි කිරීමට හුරු කර තිබීම වැදගත් වෙනවා.

අදවන විට දරුවන් නිරන්තරයෙන් ලෙඩ රෝගවලට ගොදුරු වෙනවා. මීට මූලික හේතුව වී ඇත්තේ දරුවන්ගේ ශරීරයේ ප‍්‍රතිශක්තීකරණය අවම වීමයි. ඔවුන් ලෙඩ රෝගවලින් ආරක්ෂා කර ගනිමින් මනා සෞඛ්‍යක් පවත්වා ගැනීමට නම් සමතුලිත ආහාර රටාවකට හුරු කළ යුතුයි. එහෙත් අද දරුවන් හුරුවී ඇත්තේ ක්ෂණික ආහාර ගනිමින් කුස පුරවා ගැනීමටයි. කාර්යබහුල මව්වරු බොහෝ දෙනෙක් පාසලට යන දරුවාගේ උදෑසන ආහාරය පාන් පෙත්තකින් හා කිරි වීදුරුවකින් පමණක් ලබා දීමට පෙළඹී සිටිනවා. මෙවැනි ආහාර රටා නිසයි අද බොහෝ දරුවන් රෝගීන් බවට පත් වී තිබෙන්නේ. උදෑසන ආහාර වේල දරුවෙකුගේ නිරෝගී පැවැත්මට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ නිසි ලෙස අඩංගු වූ එකක් විය යුතුයි. ඒ නිසා දරුවාගේ උදෑසන ආහාරය හැකි තරම් පෝෂ්‍ය පදාර්ථ සහ ප්‍රෝටීන් අඩංගු වන ලෙස සකස් කිරීම මව්වරුන්ගේ වගකීමකි. විශේෂයෙන් උදෑසන ආහාරය ලෙස දරුවාට කඩල, කව්පි, මුංඇට වැනි ධාන්‍ය වර්ගයක් හෝ කිරිබතක් හෝ කොළ කැඳ වීදුරුවක් හෝ ලබා දීමට හැකි නම් ඉතාමත් සුදුසුයි. ඔබේ පහසුව තකා දරුවාට නිසි පෝෂණයක් නොලැබෙන ක්ෂණික ආහාර ලබා දීමෙන් සිදුවන්නේ දරුවාගේ හෙට දවස අදුරැ වීම බව මව්වරුන් මතක තබා ගත යුතුයි.

පෝෂ්‍ය පදාර්ථවලින් අනූන සමතුලිත ආහාර රටාවක් දරුවාට නොලැබුණහොත් දියවැඩියාව, අධිරුධිර පීඩනය, නීරක්තිය සහ ලෙඩ රෝගවලට මුහුණදීමේ හැකියාව නැතිව යාම සිදු විය හැකිය. පෝෂ්‍ය පදාර්ථ අතර විටමින් වර්ගවලට අපේ මව්වරු වැඩි සැලකිල්ලක් දැක්වුවත් විටමින් වර්ග අඩංගු ආහාර මොනවාදැයි ඔවුන්ට නිසි අවබෝධයක් නැහැ. සාරණ, ගොටුකොළ, කතුරුමුරුංගා වැනි කොළ පැහැති පලා ජාති සහ කොළ පැහැති එළවළු, කහ පැහැති බතල, වට්ටක්කා, කැරට් සහ කහ පැහැති පළතුරු, යෝගට්, කිරි, බිත්තර, මස්, මාලූ මගින් දරුවන්ට අවශ්‍ය ප්‍රෝටීන වර්ග සහ විටමින් නිසි ආකාරව ලැබෙනවා. මේ නිසා දරුවාගේ ප‍්‍රධාන ආහාර වේල් තුන මෙම ආහාර අතරින් කිහිපයක් අඩංගුවන සේ සකස් කළ හැකි නම් වඩාත් සුදුසුයි.

දරුවන්ට පාචනය වැනි රෝග සෑදුන විට විජලනය වැනි තත්ත්වයන් ඇතිවිය හැකියි. එවැනි තත්ත්වයන් වලදී දරුවාගේ නිරෝගීබව රැක ගැනීමට ජලය බෙහෙවින් උපකාරී වන දෙයක්. මේ නිසා හැකි සෑම මොහොතකම උණුකර නිවාගත් පිරිසිදු ජලය ඔවුන්ට ලබා දීම කළ යුතුයි.

දරුන්ගේ නිරෝගීබව යන කාරණාවේදී හොද පුරුදු ඔවුන්ට කියා දීමත් වැදගත් වෙනවා. ඒ නිසා කුඩා කාලයේ සිටම කෑමට පෙර සබන් ගා අත් සේදීම, වැසිකිලි හා කැසිකිලි යාමෙන් පසු සබන් ගා අත් සේදීම, නියපොතු කොටට කපා පිරිසිදුව තබා ගැනීම ආදිය පුරුදු පුහුණු කළ යුතුය. එසේම දරුවාට කිසිදු අසනීප තත්ත්වයක් නොමැති නම් සෑම දිනකම නහවා පිරිසිදු කළ යුතුයි. එමගින්ද දරුවාගේ සෞඛ්‍ය තත්ත්වය මනාව පවත්වා ගත හැකියි. දරුවාගේ නිරෝගී බව සහ සෞඛ්‍ය සම්පන්න බව පිළිබද කතා කිරීමේදී පණු රෝග සදහා ප‍්‍රතිකාර කිරීමත් ඉතා වැදගත්ග එනිසා වෛද්‍ය උපදෙස් ඇතිව නිසි කලට දරුවන්ගේ පණු රෝග සදහාද ප‍්‍රතිකාර කළ යුතු අතර එමගින්ද නීරක්තිය වැනි රෝග වළක්වා ගන්නට හැකියාව තිබෙනවා.

ඔබේ ආදරණීය දරුවාට ආදරය සමග පෝෂ්‍යදායී ආහාර ලබාදීමෙන් මතු දවසකදී දරුවා රටේ නිරෝගී පුරවැසියෙක් ලෙස ජීවත් වන්නට ශක්තිමත් පදනමක් සලසා ගනු ඇත. අපගේ අනාගතය දරුවන්ය. ඔවුන් ගුණයෙන් නුවණින් බබළවන්නට නිරෝගීකම ඉතා වැදගත් වූවකි. ක‍්‍රියාශීලී ජීවිතයකට අවශ්‍ය ආහාර පිළිබඳව සැමවිටම දරුවා දැනුවත් කරන්න. එමෙන්ම අලසකමින් පිරුණු සමාජයක් වෙනුවට ක‍්‍රියාශීලී බුද්ධිමත් නිරෝගී පරපුරකට අවශ්‍ය ආහාරමය ශක්තිය පිළිබඳවද ඔවුන්ට කියාදෙන්න. එවිට නිරෝගී සහ ක‍්‍රියාශීලී දරුවෙකු ලෙස ලෝකය ජය ගැනීමට හැකිවනු නොඅනුමානය.

ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය
පුණ්‍යානි බන්දුතිලක

ප‍්‍රියංගිකා කුමාරසිංහ