free stats
         

කාන්තාවක් තමන්ගේ වයසත් එක්ක විවිධ ආකාරයේ කායික වෙනස්කම්වලට භාජනය වෙනවා. ඒවා හොඳ පැත්තට වගේම නරක පැත්තටත් හේතු වෙන්න පුළුවන්. වයස අවුරුදු 35 න් පසුව තමන්ගේ අනාගත සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව දළ අවබෝධයක් ලබාගැනීම සඳහා සුවනාරි සායනයකට යොමුවිය යුත්තේ අන්න ඒ නිසයි. සුවනාරි සායනය මඟින් ප්‍රධාන රෝග තත්ත්වයන් දෙකක් හා අනෙකුත් කාන්තා රෝග බොහෝමයක් හඳුනාගන්නවා. මුල් අවදියේ හඳුනාගැනීමෙන් නිසි ප්‍රතිකාර ලබාදී නිට්ටාවට සුවකර ගැනීමේ හැකියාව අති නිසා කලින්ම හඳුනාගැනීම ඔබට වඩාත් ප්‍රයෝජනවත් වනවා.

කොහෙද තියෙන්නේ

සුවනාරි සායනය සෑම මාතෘ රෝහලකම සහ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරයෙක් සිටින මහ රෝහල්වලත් තිබෙනවා. ඒ වගේම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල වල එහෙමත් නැත්නම් හැමෝම දන්න විදියට කියනවා නම් MOH වලත් සුවනාරි සායනය ක්‍රියාත්මකයි. තමන්ගේ පළාතේ ළඟම තියෙන රෝහලෙන්, පවුලේ වෛද්‍යවරයාගෙන් MOH එකෙන් අවශ්‍ය තොරතුරු ලබාගන්න පුළුවන්.

මේ සායනය කාටද

අවුරුදු 35 ට වඩා වැඩි, විවාහක අවිවාහක ඕනම කාන්තාවකට මේ සායනය සඳහා සහභාගි වෙන්න පුළුවන්. ඒ වගේම විශේෂයෙන්ම පවුලේ කාටහරි පියයුරු ආශ්‍රිතව හෝ ගැබ්ගෙල ආශ්‍රිතව යම් කිසි රෝග තත්ත්වයක් හෝ පිළිකා තත්ත්වයක් තිබුණා නම් සුවනාරි සායනයකට යොමුවීම වඩාත් සුදුසුයි.

සිදුකරන පරීක්‍ෂාවන් මොනවාද?

රුධිර පීඩනය පරීක්‍ෂා කිරීම, නාඩි පරීක්‍ෂාව, පියයුරු පරීක්‍ෂාව, ගැබ්ගෙල පරීක්‍ෂාව ආදිය සිදුකරගන්න පුළුවන්. මෙහිදි ඔබ මෙයට පෙර යම් රෝග තත්ත්වයකට ප්‍රතිකාර අරගෙන දැන් ප්‍රතිකාර නවත්වා තිබෙනවා නම් ඒ පිළිබඳ පරීක්‍ෂාවක් කරගන්නත් හැකියාවක් තිබෙනවා. උදාහරණයක් විදියට තයිරොක්සීන් පරීක්‍ෂාව වැනි පෙර ප්‍රතිකාර ලබාගත් රෝග තත්ත්වයක් පිළිබඳව නැවත පරීක්‍ෂා කරගත හැකියි.

සුවනාරි සායනයෙන් ඔබට අත්වන වාසි මොනවාද?

සුවනාරි සායනය වෙන්වෙන්නේ කාන්තාවන් වෙනුවෙන්. කාන්තාවන් අතර බහුලව දකින්න ලැබෙන තත්ත්වයක් තමයි ගැබ්ගෙල පිළිකා සහ පියයුරු පිළිකා කියලා කියන්නේ. මෙම රෝග තත්ත්ව දෙකේම විශේෂත්වය වෙන්නේ මුල් අවදියේ හඳුනාගත නොහැකි වීම. රෝග තත්ත්ව දෙකම හඳුනාගන්නේ ශරීරය පුරා පැතිරී ගිහින් සුවකළ නොහැකි අවස්ථාවේ දියි. අන්න ඒ නිසා ගැබ්ගෙල පරීක්‍ෂාව හා පියයුරු පරීක්‍ෂාව මඟින් එවැනි අවධානමක් තිබෙනවා නම් කලින් හඳුනාගන්න පුළුවන්. එය රෝගය සඳහා නිසි ප්‍රතිකාර ලබාදෙන්න හේතුවක් වෙනවා. මේ සියලු පරීක්‍ෂණ නොමිලයේ සිදු කරගන්න පුළුවන්. එයින් පසු තත්ත්වය අනුව සුදුසුකම් ලත් විශේෂඥ වෛද්‍යවරයෙක් වෙත යොමුවිය හැකියි.

ඒ වගේම අනෙක් රෝග තත්ත්වයන් වුණත් කල් ඇතිව හඳුනාගැනීම හෝ අවධානමක් තිබේද යන්න පිළිබඳව අදහසක් ලබාගැනීම වඩාත් වටිනවා. එයින් අදාල වෛද්‍යවරයා වෙත යොමු වී ඉක්මන් ප්‍රතිකාර ලබාගන්න පුළුවන්. විශේෂයෙන්ම ඔබට යම් යම් විශේෂ රෝග ලක්‍ෂණ, කලින් අවදානය යොමු නොවුනු තත්ත්වයන් තිබෙනවා නම් ඒ පිළිබඳව සැලකිලිමත් වෙන්න. එවිට සායනය සඳහා සහභාගී වු විට වෛද්‍යවරයා දැනුවත් කරන්න පුළුවන්. එවැනි විශේෂ තත්ත්වයන් තිබෙනවා නම් පොතක සඳහන් කර තබාගැනීම වඩාත් සුදුසුයි.

දිනය හා වේලාව

ඔබට ඉතා පහසු දිනයක් හා වේලාවක් වෙන්කරගත හැකියි. රැකියාවක නිරතවන කාන්තාවක් නම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මඟින් පවත්වන සායනය සඳහා සම්බන්ධ විය හැකියි. එම සායනය පැවැත්වෙන්නේ සෙනසුරාදා දිනවල බැවින් ඔබට පහසු දිනයක් හා වේලාවක් වෙන්කරගත හැකියි. මේ සඳහා ඔබේ විවාහක අවිවාහක බව අදාල වන්නේ නැහැ.

අපහසුතා මොනවාද?

පියයුරු පරීක්‍ෂාව හා ගැබ්ගෙල පරීක්‍ෂාව පිළිබඳව කාන්තාවන්ට අනියත බියක් තිබෙනවා. නමුත් එවැනි ගැටළුවක් ඇති කරගන්න අවශ්‍ය නැහැ. මේ සඳහා ඔබට සහය වන්නේ සුදුසුකම් ලත් වෛද්‍යවරුන්. එසේම මෙම සෑම සායනයකම හෙද නිලධාරිනියන් හා පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් සිටින නිසා ඔවුන් ඔබට අවශ්‍ය ඕනෑම මොහොතක සිය සහය ලබා දෙනවා.

සටහන චාපා හංසිනි ආටිගල

හෙද නිලධාරිනි බස්නායක මහත්මිය