විශේෂඥ වෛද්‍ය ආර්. එන්. ජි රාජපක්ෂ
දස මසක් මව් කුස තුළ හොවා මෙලොව එළිය දකින පුංචි කිරිකැටියාගේ හඬන හැඬුම් අසන්නට හැම මවක්ම හරිම ආසයි. මේ හැඬුමට ප්‍රසූතියේදී ඇයට දැනෙන වේදනාව පවා අමතක කරන්න පුළුවන්. නමුත් මව් කුසෙන් එලියට එද්දි අඬන්නේ නැති බබාලත් ඉන්නවා. ඒ නිසා මේ පිළිබඳව ආදරණීය ඔබ දැනුවත් කරන්න අප හා සම්බන්ධ වුණේ අපේ සුපුරුදු ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය ආර් එන් ජී රාජපක්ෂ මහතායි.
බබාගේ පළමු හුස්ම නැත්නම් බබාගේ පළමු හැඬීමමව් කුස තුළදී බබාගේ පෙනහලු දෙක පිම්බිලා නැහැ. කුඩාවට ඇතිවෙච්ච ස්පොන්ච් එකක් වගේ පිම්බිලා තියෙන්නේ. පෙනහළු පිම්බිලා නැතිවීමට හේතුව දරුවාට අවශ්‍ය ඔක්ෂිජන ලැබෙන්නේ මව ගෙන් වීම දරුවාගේ ලේ පිරිසිදු කරන්නේ මව නිසා පෙනහළු ක්‍රියාකරන්නේ නැහැ. බබා කුස තුලින් එලියට එනකොට මවගේ සම්බන්ධය කැඩෙනවා. එවිට බබාගේ රුධිර පිරිසිදු කරන්න වෙනවා. එවිට බබාගේ පෙනහලු පිම්බෙන්න අවශ්‍යයි. පලවෙනි හුස්ම ලෙස ඇඬීම හරහා තමයි මේ පෙනහළු පිම්බෙන්න පටන් ගන්නේ.
දරුවා හයියෙන් හඬන කොට ඇකිලී තිබෙන පෙනහළු දෙක පිම්බෙනවා. අඬන්න බැරි වුණු බබෙක් ඉන්නවා නම් පෙනහළු ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මව් කුස තුලින් එලියට ඇවිත් විනාඩි දෙකකින් අඬන්න බැරි වුණොත් එයින් බබාට ජීවිත හානියක් වුණත් සිදුවෙන්න ඉඩ තියෙනවා. සාමාන්‍යයෙන් බබා අඩන්නේ නැති නම් ඉක්මනින් කෘතිම ස්වසනය ලබා දෙනවා. කෘතිම ඔක්සිජන් ලබා දීලා කෘතිම පෙනහළු පුම්බන්න පුළුවන්. එවිට දරුවා හඬන්න පටන් ගන්නවා.
ඒ නිසා බබා කුස තුලින් එලියට එනකොට කරන පළමු හැඬීම එහෙම නැත්නම් පළමු හුස්ම තමයි එයාට ජීවය දෙන්නේ. මේ විදිහට අඬන්න හේතු තියෙනවාප්රධාන හේතුව තමයි කුස තුළ දී බබාට ඔක්සිජන් මදි වීම. යම් හේතුවකින් බබා කුසෙන් එලියට එන අතරමගදී පෙකනි වැල තද වීමක් සිදු වුණොත් හෝ වැදෑමහ බුරුල් වෙලා ගැලවිලා එවැනි හේතුවකින් ප්‍රසුතිය දීර්ඝ වුනොත් ඔක්සිජන් මදිවීම නිසා බබාට අඬන්න බැරි වෙනවා. මෙවැනි බබාලා සමහර වෙලාවට නිල් පැහැයෙන් යුතුව තමයි ඉපදෙන්නේ.
ඊළඟට බබාගේ උපත් දෝෂ තියනවා. සමහර බබාලගෙ හෘද වස්තුවේ සිදුරු තියෙන්න පුළුවන්. පෙනහලු වල ගැටලු ඇති වෙනවා. සමහර බබාලගෙ පෙණහලුවල ඇතිවන සිදුරු සම්බන්ධ වෙලා තියෙන්නෙ ආහාර මාර්ගයට. එතකොට නහයෙන් එන හුස්ම ටික ගලනාලයට යන්න ඉඩ තියෙනවා. එතනදි බබාට අනතුරක් වෙන්න පුළුවන්. සමහර බබාලගෙ තොල් නිසි පරිදි පිහිටන්නේ නෑ. තල්ල නොමැති ව පිහිටන අවස්ථා තියෙනවා. එවැනි හේතු නිසා ඉපදුන ගමන් අඩන්න බබාට අපහසුයි. මෙවැනි අවස්ථාවන් වෛද්‍යවරයා ඉක්මනින් හඳුනා ගන්න නිසා ප්‍රතිකාර ලබා දෙන්න පුළුවන්. ගොඩක් දුරට ස්කෑන් පරීක්ෂණ කරන නිසා සමහර අවස්ථා හඳුනා ගැනීමේ ඉඩ තිබෙනවා.
සමහර ලෙඩ තියෙනවා මහා ප්‍රාචීරය සම්බන්ධ මාංශ පේශීන් වල. මේවයෙ සිදුරු දකින්න පුළුවන්. එවැනි අවස්ථාවක බඩවැල් ටික තෙරපිලා පිටතට යන්න පුළුවන්. මෙවැනි තත්වයකදී බඩවැල් පෙනහළු ඇතුලට යනවා. එවැනි සැකයක් ඇති වුනොත් බබාව කෘතිම ස්වසන ලබාදෙමින් බඩවැල් ටික නැවත තල්ලු කරලා සාර්ථකව සැත්කමක් මගින් මේ ගැටලුව විසඳන්න පුළුවන්. මෙවැනි ගැටලුවකදී බබා බේරාගත්තු අවස්ථා ඕනෑතරම් තියෙනවා.
ස්කෑන් කිරීමේ දී තවත් සමහර අවස්ථා හඳුනා ගන්න පුළුවන්. මෙවැනි අවස්ථාවකදී ගර්භනි මවට පාලනය නොවන දියවැඩියාව වගේම පරම්පරාවෙන් විකෘතිතා තියෙනවා නම් මෙවැනි දෑ ගැන ගර්භණී වීමට පෙර ම අවධානය යොමු කිරීම ඉතාම වැදගත්. රුබෙල්ලා එන්නත් අරගෙන නැතිනම් ඒ පිළිබඳව වෛද්‍යවරයා දැනුවත් කළ යුතුයි.
ගර්භනී කාලයේ මාස 5න් පසු විකෘතිතා පිළිබඳව සොයාබලන ඇනෝමලි ස්කෑන් පරීක්ෂණය සිදු කළ හැකි යි. එහිදී සමහර විකෘතිතා හඳුනාගන්න පුළුවන්. මේ නිසා සියලු ස්කෑන් පරීක්ෂණ වලට යොමු වීම ඉතා වැදගත්. එයින් කුස තුළදීම සුව කළ හැකි විකෘතිතා සුව කරගන්න පුළුවන්කම ලැබෙනවා. සමහර අවස්ථාවලදී බබාට උපදින විටම අසූචි පෙවෙන අවස්ථා ඇති වන්න පුළුවන්. එයින් පෙනහළු හිරවීම නිසා බබාට හුස්ම ගන්න අපහසු වෙනවා. පෙනහළු ඇතුලට ගියාම බබා ලැබෙන විට ඔක්සිජන් බාහිරින් ලබා දුන්නත් වෙනත් ප්‍රතිකාර ලබා දුන්නත් දරුවා බේරා ගැනීමට අපහසුයි. මේ තත්ත්වය නිසා දරුවාට නිව්මෝනියාව වැළඳෙනව. එ විට තත්වය නරක අතට හැරෙන එක නවත්තන්න බැහැ.
ප්‍රසූත ගැටළු
තට්ටම් ප්‍රසූතියේ දී මෙවැනි අවස්ථාවලට මුහුණ දෙන්න සිදුවෙනවා. හිස අවසානයේ එන නිසා තමයි එහෙම වෙන්නේ. සියයට දෙකක් සියයට තුනක් දක්වා තට්ටම් ප්‍රසූතිය සිදුවනවා. මෙයින් පෙනහලුවලට වතුර යන්න පුළුවන්. ප්‍රසූතියේ දී බබාගේ හිස හිරවීමක් සිදුවුනොත් ගැටලු ඇති වෙන්න පුළුවන්.
මේ තත්ත්වයන් වෛද්‍යවරුන්ට කලින් හඳුනාගත හැකි නිසා බිය වෙන්න අවශ්‍ය නැහැ. මෙවැනි ගැටළු සඳහා දරුවා උපදින ක්‍රමය තරම් බලපාන්නේ නැහැ. ඒ කියන්නේ දරුවා සාමාන්‍ය ප්‍රසූතියෙන් ඉපදුනත් සිසෙරියන් ප්‍රසූතියෙන් ඉපදුනත් බාහිර සාධකත් එක්ක තමයි බබාගේ පෙනහලු දිග ඇරීම සිදුවෙන්නේ. එයට බබාගේ හැඬීම විශාල උදව්වක් වෙනවා.
අන්න ඒ නිසා තමයි බබා අඬනවා නම් බයවෙන්න දෙයක් නෑ කියලා කියන්නේ. අඬන්න පමා වෙනවා කියන්නේ නිසි පරිදි හුස්ම අරගෙන නෑ කියන එකයි. හැබැයි මේ කුමක් සිදු වුණත් වෛද්‍ය විද්‍යාව දියුණු නිසා ප්‍රතිකාර ක්‍රම ඕනෑතරම් තිබෙන නිසා අනවශ්‍ය බියක් ඇති කර ගන්න අවශ්‍ය නැහැ. මෙවැනි ලිපි කියවලා දැනුවත් වීම පමණයි වැදගත් වෙන්නේ.
සටහන මහේශානි මිගහපළ