කාන්තා විෂයෙහි බලපවත්නා යකෙකු ලෙස සැලකෙන කළු කුමාරයා ඒ ඒ ප්‍රදේශවලට ආවේණික වූ වතාවන් වලින් පුද ලැබුවද සමස්ථ ක්‍රියාවලියේම අන්තර්ගතය එකක් බව පැහැදිලිය.
උඩරට ප්‍රචලිත මහා ශාන්තිකර්මය වූ, කෙහොඹා යක් කංකාරියේ පුද ලබන කළු කුමාරයා හා වෙනත් ප්‍රදේශවලදී ගැබ් සෙත් ශාන්තිකර්මය හා බැදී පවතින පිදවිල්ලක් වූ කළු කුමාර ඇදහීම අතර කිසිදු සම්බන්ධතාවක් නැතත් උඩරට හා ඌවේ ඇතැම් ප්‍රදේශවල ප්‍රචලිත කඩවර පිදීමත් පහත රට හා සඹරගමු පළාත්වල ප්‍රචලිතව පවතින කුමාර ඇදහීමක් අතර සාමානතාවක් පවතින බව පෙනී යයි. කඩවර හා කළු කුමාර හෝ වට කුමාර නමින් ප්‍රචලිත ඇඳහීම් ඒකීය අරමුණක් මුදුන්පත් කර ගැනීම සඳහා දිවයිනේ විවිධ පළාත්වල, විවිධ නම් වලින් ව්‍යාප්තව ඇති බව පැහැදිළි වේ.
උඩරටදී කඩවර නමින් පුද ලබන මොහු සබරගමු පළාතේදී පුද ලබන්නේ වට කුමරා නමිනි. පහතරට ප්‍රදේශවලදී කළු කුමාර නමින් පුද ලැබුවද, වට කුමාර ඇදහීමට විශේෂත්වයක් හිමි වේ. අවතාර හතකින් සහ පහකින පෙනී සිටින කුමාර යකුන්ගේ නම් අතර ප්‍රථමයෙන් සඳහන් වන නම වන්නේ වට කුමාරයා වීම තවත් සුවිශේෂී කාරණයකි.
මෙසේ විවිධාකාර නම්වලින් ලැබුවද දිවයිනේ විවිධ ප්‍රදේශවල ජීවත්වන විවාහක කාන්තාවන්ට දරුඵල ලබාදීම වළක්වනු ලබන්නේ පිළිසිඳගත් දරු ගැබ විනාශ කරනු ලබන්නේ මෙම යක්‍ෂයා විසින් බව සඳහන් වේ. සමාජයේ පවතින එකී විශ්වාසයට අනුව ගැබිනි මවගේ ගර්භය සුරක්ෂිත කරලීම සහ දරුවන් නොමැති කාන්තාවන්ට දරුවන් ලබා දීමේ අපේක්‍ෂාව ඇතිව කළුකුමාරයා වෙත විවිධාකාරයේ පුද පූජා පවත්වන අයුරු දිවයින පුරා ප්‍රදේශ රැසක දැක ගත හැකිය. මේ අතර ප්‍රධානත්වයට ගැනෙන ශාන්තිකර්ම අතර මාතර හා බෙන්තර ප්‍රදේශවල ප්‍රචලිත රට යැකුම හෙවත් රිද්දි යාගයත්, මාතර ප්‍රචලිතව පවතින මහා කලු කුමාර සමයම, බෙන්තර ප්‍රචලිත කළු යකුම, හේවාගම් කෝරළයේ කළුයක් මඩුව, රත්නපුර ප්‍රදේශයේ කුමාර සමයම, බදුල්ල ප්‍රදේශයේ කඩවර කාරිය, කෑගල්ල ප්‍රදේශයේ කලස් වෛද්‍ය හා කඩවර පිදීම, දඹුල්ල ප්‍රදේශයේ අභිමාන ශාන්තිකර්මය ඒ අතරින් සමහරක්ය.
විවාහක කාන්තාවන් දරුවන් වැදීම සමාජයේ අත්‍යාවශ්‍ය කරුණකි. ඒ අනාගත වර්ගයාගේ පැවැත්ම උදෙසාය. කායික හෝ මානසික බලපෑමක් අනුව කිසියම් කාන්තාවකට දරුවන් නොලැබේ නම් එබඳු කාන්තාවතක් දෙස සමාජය බලනුයේ මහත් අප්‍රසාදයෙනි. දරුවන් නොමැති කාන්තාවන් හිමිදිරියේ දැකීම පවා අසුභ ලක්‍ෂණයක් ලෙස සැළකීමට සමාජය පුරුදු වී සිටියේය. නොයෙසේනම් එවැනි කාන්තාවක් මුණ ගැසුණහොත් යන එන ගමන් බිමන් පවා අතහැර ආපසු හැරීමට පවා පැරණි සමාජයේ උදවිය පුරුදු වී සිටි බවද ජනශ්‍රැති වල සඳහන් වේ.
විවාහක අඹුසැමි යුවලකට දරුවන් නොමැත්තේ නම් ස්වාමි පුරුෂයා වෙනත් විවාහයක් කරගත යුතු බව පැරණි භාරතීය සමාජය විසින් සැළකුවේ දරුවන් ලැබීම අනාගත වර්ගයාගේ පැවැත්මටත් තම කුළ ග්‍රෝත්‍රවලට අයත් පරම්පරාවන්ගේ පැවැත්මටත් බෙහෙවින් අත්‍යවශ්‍ය කරුණක් සේ සලකාය. එමනිසා කිසියම් කායික හෝ මානසික දුබලතාවයක් මත දරුවන් නොලැබෙන කාන්තාවක් ඇත්නම් ඇය දරුවන් පතා විවිධාකාර වූ පුද පූජා යාග හෝම පවත්වන්නට පුරුදු විය. ඒ බව බෞද්ධ සාහිත්‍යයේ එන බුදුන්ට කිරිපිඬු පුදා දරුවන් ආපේක්‍ෂා කළ සුජාතා සිටු දියණියගේ කතාවෙන් පැහැදිලි වේ. ඉන් පැහැදිලි වන්නේ දරුවන් පතා පුද පූජා පැවැත්වීම ආරම්භ වූයේ අද ඊයේ නොවන බවය.
බෝධිපූජා පැවැත්වීම, සෙත්කවි කීම, ආදී බෞද්ධ වත් පිළිවෙත් මෙන්ම, දරුවන් අපේක්‍ෂාවෙන් හා හටගත් දරු ගැබ ආරක්‍ෂා කර යහතින් දරු උපත සිදු වීම සඳහා පවත්වනු ලබන විවිධ ශාන්තිකර්ම ලංකාවේ සතර දිග්බාගයෙන්ම අසන්නට දකින්නට ලැබේ. ලංකාව පුරා ව්‍යාප්තව පවතින ශාන්තිකර්ම විශේෂයක් වූ බලි ශාන්තිකර්මය තුළ ද දරු ගැබ් සුරක්ෂිත කිරීම සඳහා වූ බලි ශාන්තියක් දක්නට ලැබේ. එය ගැබ් සෙත් බලිය ලෙස හැඳින්වේ.
ඊට අමතරව උඩරට පළාත්වල විශේෂිත වූ දිය කොරහ බලියද දරුගැබ සුරක්ෂිත කිරීම උදෙසා ව්‍යාප්තව පවතින්නකි. විශේෂයෙන්ම කෑගල්ල දිස්ත්‍රික්කයේ වැඩි ව්‍යාප්තියක් ඇති දිය කොරහ බලිය කුසේ සිටින දරුවාට නව මාසයක් ගත වීමට ආසන්නයේ සිදු කෙරෙයි. පිරිසිදු නැවුම් මැටි කොරහකට මල් පස් වර්ගයක් ගෙන මල් බලියක් තනා අවශ්‍ය වෙනත් පූජා ද්‍රව්‍ය සමග එක්කොට බලිය කැපකර දී ගලා යන දිය පහරකට විසි කිරීම එහි එක් චාරිත්‍ර ක්‍රමයකි.
කාන්තාවන්ට දරු ගැබ් පිහිටීම වළක්වනු ලබන්නේ, පිහිටන දරුගැබ අතරමගදි විනාශ කරනු ලබන්නේ කළු කුමාරයා විසින් යැයි පවත්නා වූ ප්‍රසිද්ධ මතයකි. ගැබ්ගත් මවක් අවේලාවේ තනිව ගමන් බිමන් යාමත්, සොහොන් පිට්ටනිය, පාළු කනත්ත, ගලා බසින දිය කඩිත්ත ආදී ස්ථාන පසු කර නොයාමටත් කටයුතු කරන්නේ කළු කුමාර දෝෂය ඇතුලු විය හැකිය යන විශ්වාසය නිසාය. තෙල් කෑම, තෙලේ බඳින ලද ආහාර ආදිය අනුභව කිරීමත් වැඩිහිටියන් විසින් තහනම් කරනු ලබන්නේ මේ නිසාය.
ගැබ්ගත් කාන්තාවකට අධික වෙහෙස මහන්සිය සුදුසු වේ. දුරගමන් තනිව යෑමේදී කිසියම් කායික පීඩාවක් සිදු වුවහොත් ඇයගේ පිහිටට තමන්ගේ කිසිවකු සිටීම අවශ්‍ය වේ. එබැවින් ඇයගේ ආරක්‍ෂාව පතා තනිව ගමන් බිමන් යෑම වළක්වා ඇත. පාළු කනත්ත, සොහොන් පිටිය, ගලා බසින දියකඩිත්ත ආදී ස්ථාන නිතර බිය ජනක හැඟීම් ඇති ස්ථාන වෙයි. එවන් ස්ථානවල පවතින පාළු බව හේතුකොටගෙන කිසියම් මානසික කම්පනයක් ඇති වුවහොත් එය කුස තුළ සිටින දරුවාට බලපෑම් ඇති කරයි. ගර්භණී මවකට මානසික කම්පනය සුදුසු නොවන බව වෛද්‍ය මතයයි. මේ අයුරින් සලකා බලන විට කළු කුමාර දිෂ්ඨිය යන හැඟීම මත හෝ ගැබිනි මවගේ ආරක්‍ෂාව සලසා ඇත. එය විද්‍යාත්මකවද පිළිගත හැකි සත්‍යයකි.
කාන්තාවන්ට හා බිළිඳුන්ට විවිධාකාරයේ රෝගාබාධ ඇතිකරන කළු කුමාරයා කාන්තාවන්ගේ ඔසප් වීම ආරම්භයේ සිට අවසානය දක්වා බැල්ම හෙලන ඔසප් අක්‍රමිකතා ලෙස සලකන ලේ මාල, කිලි මාල ආදී රෝගකාරකයන් ඇති කරවයි. රාත්‍රි කාලයේ සිහිනෙන් පැමිණ තරුණියන් සමඟ සංසර්ගයේ යෙදී ඔවුන් කෘෂ බවට පත් කරයි. නූපන් දරුවන් කුස තුළදීම විනාශ කිරීමත් දරු ගැබ් පිහිටීම් නැති කිරීමටත් කටයුතු කිරීම කළු කුමාරයාගේ සිරිතයි.
පහත රට පළාත්වල පවත්නා විශ්වාසය අනුව කාන්තාවන්ට දරුඵල ප්‍රමාද කරනු ලබන්නේ සන්නි කළු කුමාරයා විසිනි. ඔහුගෙන් පිහිට ආරක්‍ෂාව පතා මහා කළු කුමාර සමයම නම් වූ දින තුනක් තිස්සේ සිදු කරන මහා ශාන්ති කර්මයක් මාතර හම්බන්තොට ආදී පළාත්වල පවතී. මෙය වර්ථමාන සමාජය තුළ පරිහානියට පත් වී ගොස් ඇත. එයට හේතුව අධික කාල පරාසය වෙහෙස මහන්සිය හා වියදමක් දැරීමට සිදු වීමයි. දරුගැබ ආරක්‍ෂා කිරීම උදෙසා පවත්වනු ලබන රිද්දි යාගය හෙවත් රට යකුම මේ දක්වාම ගාල්ල මාතර,
හම්බන්තොට ආදී දිස්ත්‍රික්කවල ආරක්‍ෂා වී පවතී. එකී ශාන්තිකර්මය බෙන්තර ප්‍රදේශයේ ප්‍රචලිතව අතීතයේ සිට පැවතුනද මේ වන විට එම ප්‍රදේශයේ ද පරිහානියට ලක් වී ඇත. රිද්දි යාගය පැවැත්වීමේ අරමුණ දරුගැබ ආරක්‍ෂා කර යහතින් දරු උපත සිදු කිරීමට අවශ්‍ය වාතාවරණය සැලසීම වුවද, සමාජය දරුඵල ප්‍රමාද ස්ත්‍රීන් උදෙසා එම යාගය පවත්වනු ලබයි. ඊට හේතුව ඉහත සඳහන් කරනු ලැබූ මහා කළු කුමාර සමයම සඳහා අධික වියදමක් සහ වෙහෙසක් දැරීමට සිදු වීමත්, එම ශාන්තිකර්මය පරිහාණියට පත් වී තිබීමත් සිතා ඉහත කී අවශ්‍යතාවය රිද්දි යාගයෙන් පිරිමසා ගැනීමට පුරුදු වී සිටීමය. එහෙත් රිද්දි යාගයේ හා මහා කළු කුමාර සමයම අතර පවතින්නේ දෙයාකාරයක අවශ්‍යතා බව අමතක නොකළ යුතුය.
කුළුදුල් දරුවා ලැබෙන්නට සිටින ගැබිනි මව්වරුන් වෙනුවෙන් රිද්දි යාගය පැවැත්වීම, මාතර පළතේ පවත්නා සිරිතකි. දෙපාර්ශවයේ දෙමාපියන් හා ඥාතී මිත්‍රාදීන් එකතු වී සුහදත්වය සහ සමගිය එක්තැන් කරමින් මෙම ශාන්තිකර්මය පවත්වනු ලබන්නේ බිරිඳගේ දෙමාපියන්ගේ නිවසේදීය. කැවුම්, කිරිබත්, කිරි පැණි ආදියෙන් සංග්‍රහ කරනු ලබන මෙම මහා ශාන්තිකර්මය සුහදත්වය සංකේතවත් කරනු ලබන උත්සවයක් ලෙසද සමාජය විසින් හඳුන්වාදෙනු ලබයි. විවාහයෙන් පසුව දෙපාර්ශවයේ ඇති විය හැකි නොහොඳ නෝක්කාඩු ගැබිනි මවගේ මනසට කම්පනයක් ඇති කරවිය හැකි බැවින් දෙපාර්ශවය මෙවැනි ශාන්තිකර්මයක් සූදානම් කිරීම තුළින් ඔවුන් අතර පවතින සුහදත්වය දැකීමෙන් ගැබිනි මවට මානසික සුවය ඇති වීම
දාරකෝප්පත්තියට බොහෙවින් යහපත් සේ බලපානු ඇත. එකී හේතුව නිසාම සෑම විවාහක කාන්තාවක් උදෙසාම රට යකුම පැවැත්වීම සමාජ චාරිත්‍රයක් බවට පත්වී ඇති බව පෙනේ. දරුවකු පිළිසිඳ ගත් බව දැනගත් කල්හි ස්වාමි පුරුෂයා විසින් තම බිරිඳ වෙනුවෙන් යකඳුරෙකු ලවා මෙම කලස් වෙන්කිරීම කරනු ලැබේ. අලුත් කලසකට අවශ්‍ය පූජා ද්‍රව්‍ය දමා එම කළස වෙන් කරනු ලබන්නේ ඇපයක් ලෙසය. මෙම කළස පොළවේ ගසා පොඩිකර ඇපය නිදහස් කරනු ලබන්නේ කළු කුමාර සමයම නැටීමෙනි.
ඉන්පසු සන්නි යකුට කළු කුමාර සමයම සම්බන්ධ කොට කුමාර සමයම නටා පූජාව ඔප්පු කරනු ලැබේ. මෙහිදී යාගයට මව සමඟ දරුවා ද ආතුර ලෙස සහභාගි කරවීම අවශ්‍ය වේ. බොහෝ පළාත්වල දරුවාට ඉඳුල් කට ගාන දිනය මේ සඳහා යොදා ගනී. බෙන්තර ප්‍රදේශයේදී මෙම ශාන්තිකර්මය කුමාර සමයම ලෙස හෝ කළු යකුම යන නම්වලින් හැඳින්වුව ද මෙහිදී පුද ලබන්නේ කළු යකා නොව කළු කුමාරයා බව සැලකිය යුතුය. කළු කුමාර යකුම ශාන්තිකර්ම කාරණය යන්න පහසුව තකා පසුකාලීනව කළු යකුම යන්න පමණක් භාවිතයට ගෙන ඇති බැවින් ඉහත කී ගැටලු උද්ගත වී ඇති බව පෙනී යයි.
කළලයට සම්බන්ධ පුද පූජා උඩරට පළාතේ ද ප්‍රචලිතව පවතී. කළස් වෛද්‍ය, කළස් යාගය යනුවෙන් භාවිතා වන මෙම යාග විදි පවතින්නේද දරුගැබ් සුරක්‍ෂිත කරලීමේ ආපේක්‍ෂාව මතය. උඩරට පළාත්වල ව්‍යාප්තව පවතින කලු කුමාර, වට කුමාර පිදීමත් ඒකීය අරමුණක් ඇතිව පවත්වන ශාන්තිකර්ම වේ. කඩවර සෙවනැල්ල පෑගුණ කළ දරුගැබ විනාශ වන බව උඩරට පළාතේ තිබෙන විශ්වාසයකි. දරුගැබ ආරක්‍ෂා කර ගැනීම සඳහා වස් කඩවරයාට නූලක් ජපකර ස්ත්‍රියගේ කරේ පළදවනු ලබන අතර දින තිහක් ගත වීමෙන් පසු අදාල දොළ පිදේනි කැප කර දී භාරය ඔප්පු කරනු ලැබේ.
හේවාගම් කෝරළයේ පවත්වනු ලබන කළුයක් මඩුව නම් වූ ශාන්තිකර්මයද බෙන්තර පළාතේ ප්‍රචලිත කළු යකුම ශාන්ති කර්මය ඇසුරින් විකාශනය වී ඇති බැව් පෙනේ. දරුවාට ඉඳුල් කට ගාන දිනයේදී පවත්වනු ලබන මෙම ශාන්තිකර්මය බෙන්තර ප්‍රදේශයේ පවතින දරු බත් නැලවිල්ලට බෙහෙවින් සමානය. කුඩා ළමුන්ගේ ආරක්‍ෂාවත්, ගැබ්ගත් කාන්තාවන්ගේ ගැබ් සෙත් කිරීමත් දරුවන් ලබා ගැනීමත් යන අපේක්‍ෂාව ඇතිව කිරි අම්මාවරුන් ඇදහීමට අම්පාර, මොණරාගල, හම්බන්තොට ආදී ප්‍රදේශවල ගැමියෝ කටයුතු කරනු ලබයි. බොහෝවිට දරුවකු ලැබීමට සිටින අවස්ථාවේදී කිරි අම්මාවරුන්ට දානයක් දෙන බවට ඇප වී පඬුරු ගැට ගැසීම ඔවුන්ගේ සිරිතයි. කිසිදු උපද්‍රවයකින් තොරව දරුවා ලැබුණු පසු කිරි අම්මාවරුන් සත් දෙනෙකු කැදවා දානයක් දී කිරි අම්මාවරුන්ට පිං දීම මෙහිදී දැකිය හැකි ලක්‍ෂණයකි.
නවීන වෛද්‍ය විද්‍යාව දියුණු වන්නට පෙර විසූ ගැමියෝ ස්ත්‍රියක් ගැබ් ගත් පසු දරුවා බිහිවන අවස්ථාව දක්වා සියළු වත් පිළිවෙත් හා ක්‍රියාකාරකම් තම නිවස තුළදීම ඉටු කර ගත්තේය. මේ අයුරින් ලංකාව පුරා විවිධාකාරයෙන් ව්‍යප්ත වී පවතින දරුගැබ් සංරක්‍ෂණය පිළිබඳ පුද පූජා හා ශාන්ති කර්ම වලින් පෙනී යන්නේ එකී සමාජ රටාව තුළ දරුවන් ලබා ගැනීමේ සහ දරුවන් සුරක්‍ෂිත කිරීමේ අවශ්‍යතාවය ඉතා ප්‍රබල ලෙස තිබූ බවයි.
ආයුර්වේද වෛද්‍ය සජිත් චතුරංග අක්මීමණ මහතා
අරුණි ජයසේකර