ගැස්ට්‍රයිටිස් එහෙමත් නැත්නම් ආම්ලිකතාවය කියන්නේ කාන්තා පිරිමි බොහෝ දෙනෙක් අතර බහුලව දකින්න ලැබෙන තත්ත්වයක්. මෙයට පෙර ලිපිවලින් අපි මේ තත්ත්වය ඇතිවීමට බලපාන කාරණා බොහෝමයක් පිළිබඳව කතා කළා. ඒ වගේම එවැනි හේතු මුල්කාලයේම ඇතිවීම වළක්වා ගැනීමෙන් ගැස්ට්‍රයිටිස් ඇතිවීම සහමුලින්ම පාලනය කළ හැකි ආකාරය පිළිබඳවත් කතා කළා. නමුත් අද අපි කතා කරන්න යන්නේ මේ තත්ත්වය ඇතිවීමට බලපාන වෙනස්ම කාරණයක් පිළිබඳවයි. විශේෂත්වය වෙන්නේ මේ අවස්ථාවේදී ගැස්ට්‍රයිටිස් ඇතිවීමට බලපාන හේතුව පාලනය කළ නොහැකි වීමයි. එය තමයි ගර්භණි සමයේ ඇතිවන ගැස්ට්‍රයිටිස් තත්ත්වය. ඒ පිළිබඳව රාගම උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍ය මහාචාර්ය ටිරාන් ඩයස් මහතා සමඟ කළ සාකච්ඡාවක් ඇසුරෙන් සකස් කළ මේ ලිපිය ඔබට වඩාත් ප්‍රයෝජනවත් වේවි කියලා අපි විශ්වාස කරනවා.
ගැස්ට්‍රයිටිස් යනු……….
අප ගන්නා ආහාර දිරවීම සඳහා ආමාශයේ දී අම්ලමය ශ්රාවයක් නිපදවෙනවා. මේවා මඟින් සිදුකරන්නේ ආහාර දිරවීමේ හැකියාව ඇති කිරීමයි. මෙම අම්ල සාමාන්‍යයෙන් නිපදවිය යුත්තේ ආහාර ගැනීමෙන් පසුව වුවත් සමහර අවස්ථාවල දී ආහාර ගැනීමක් නොමැතිවත් අම්ල නිපදවිය හැකියි. වෙනදා ගන්නා ආහාර ප්‍රමාණයට වඩා අඩුවෙන් ආහාර ගැනීම, නියමිත වේලාවට ආහාර නොගැනීම වැනි හේතු නිසා අම්ල ශ්‍රාවය වීමෙන් ආමාශයට හානි ඇතිවිය හැකියි. එයින් සිදුවන්නේ ආහාර ගන්නා විටත් ආහාර නොගන්නා විටත් ආදී ඕනෑම වේලාවක ආමාශයෙන් දැවිල්ලක් ඇතිවීමයි.
ගැබිනි සමයේ මුල් මාස තුන
ගර්භණි මව්වරුන්ට ගැස්ට්‍රයිටිස් ඇතිවීමට බලපාන ප්‍රධාන හේතුවක් වෙන්නේ පළමු මාස තුනේ ඇතිවන උදෑසන වමනය තත්ත්වයයි. මෙහිදි නිතර නිතර වමනය ඇතිවීම නිසා උදරයේ ආම්ලික ගතිය වැඩිවෙනවා. අන්න ඒ නිසා ගැස්ට්‍රයිටිස් තත්ත්වය ඇතිවෙන්න පුළුවන්. ඒ වගේම මේ කාලේ බොහෝ මව්වරුන්ට ආහාර අරුචියක් ඇතිවෙනවා. වෙනදා ආහාර ගත් ප්‍රමාණයට ආහාර ගන්න බැහැ වගේම සමහර මව්වරුන්ට කිසිසේත්ම ආහාර ගන්නට බැරි වෙනවා. කැමැත්තෙන් ගත් ආහාර පවා අප්‍රිය වෙන්න පුළුවන්. මේ නිසාත් ගැස්ට්‍රයිටිස් තත්ත්වයක් වර්ධනය විය හැකියි. ඒ වගේම ඇඹුල් ආහාර ආහාරයට ගැනීමත් මෙවැනි තත්ත්වයක් වර්ධනය වෙන්න හේතුවක් වෙනවා.
වර්ධනය වන බිළිඳු කළලය
ගර්භණී සමයේ අවසාන කාර්තුවේ යම් මවකට ගැස්ට්‍රයිටිස් තත්ත්වයක් ඇතිවනවා නම් ඒ සඳහා බලපෑ හැකි කාරණාවක් තිබෙනවා. ඒ වර්ධනය වන කළලයයි. කාන්තාවකගේ ගර්භාෂය වර්ධනය වෙමින් විශාල වන විට අනෙක් අවයව කරා තෙරපීමක් ඇති කරනවා. මේ නිසා ආමාශය තෙරපීමට පටන් ගන්නවා. මේ තත්ත්වය අනෙක් අවයවවලටත් බලපාන කාරණයක්. විශේෂයෙන් හෘදයටත් මේ කාරණය බලපාන බව අප පෙර ලිපියකත් සඳහන් කළා. ඒ නිසාම ඇතිවන හුස්ම ගැනීමේ වෙනස හා වෙනත් අපහසුතාත් යම් මවක් ගැස්ට්‍රයිටිස් ලෙස වරදවා වටහා ගන්නවා වෙන්න පුළුවන්.
කොහොම වුණත් ආමාශයේ ඇතිවන තෙරපීම නිසා ආමාශය කුඩා වීමක් සිදුවෙන්න ඉඩ තිබෙනවා. එයින් ගන්නා ආහාර හොඳින් දිරවා ගැනීමේ අපහසුව වැනි තත්ත්වයක් ඇතිවීම, ආහාර සාමාන්‍ය ප්‍රමාණයට ගත්තත් ආමාශය තෙරපී ඇති නිසා ඉක්මනින් පිරි යාම වැනි කාරණා හේතු කරගෙන ගැස්ට්‍රයිටිස් තත්ත්වයක් ඇතිවෙනවා. අම්මා කෙනෙක් පොඩ්ඩක් ආහාර ගත්තා වුණත් ගැස්ට්‍රයිටිස් එන්නේ මේ නිසයි.
සමහර ආහාර වර්ග
සමහර ආහාර වර්ග නිසාත් ගැස්ට්‍රයිටිස් තත්ත්වයක් වර්ධනය වීමේ ඉඩක් තිබෙනවා. අපි නොදන්නවා වුණාට කෑම වර්ගවල දිරවීමේ වේගය, දිරවීමේ හැකියාව එකිනෙකට වෙනස්. විශේෂයෙන් මස්වර්ග දිරවන්න වැඩිවේලාවක් ගන්නවා. ඒ අතරිනුත් විවිධ මස් වර්ග වලට තිබෙන්නේ වෙනස් වෙනස් දිරවීමේ කාල පරාසයන්. එළවළු වර්ග වුණත් එහෙම තමයි. ඒ නිසා ඉක්මනින් දිරවලා ඉවත් කරන්න පුළුවන් ආහාර වර්ග තමයි වඩාත් හොඳ වෙන්නේ. ඒවා ඉක්මනින් දිරවන නිසා ගැස්ට්‍රයිටිස් තත්ත්වයක් වර්ධනය වීමට හේතුවක් නිර්මාණය වෙන්නේ නැහැ. ඒ නිසා ඒ ඒ අවශ්‍ය ආහාර වර්ග තෝරා බේරාගෙන ආහාරයට ගැනීම ඉතාම වැදගත්.
කලින් ඉදලම ගැස්ට්‍රයිටිස් තිබ්බා නම්,
මේ රෝග තත්ත්වය එක් එක් අයට බලපාන්නේ එක එක ආකාරයෙන්. සමහර අයට මේ තත්ත්වය ඉතාමත් දරුණු ආකාරයෙන් තිබෙනවා. වමනය ඇතිවීම, කලන්තය ඇතිවීම නිසා එදිනෙදා කාර්යයන් පවා කරගැනීමට බැරි තරම් අසාධ්‍ය තත්ත්වයට පත්වන අය ඕන තරම්. ඒ නිසා ගර්භණි සමය සැලසුම් කරන විට මේ පිළිබඳව වෙෙද්‍යවරයා දැනුවත් කිරීම හා උපදෙස් ගැනීම වැදගත්. තමාට තිබෙන තත්ත්වය හොඳින් අවබෝධ කරගෙන ඒ පිළිබඳ නිවැරදි තොරතුරු වෙෙද්‍යවරයා වෙත ලබාදෙනවා නම් ගැටළු ඇතිවන්නේ නැහැ. විශේෂයෙන්ම අසාධ්‍ය තත්ත්වයට පත්වන කාන්තාවන් ඒ පිළිබඳව වැඩි අවධානයක් යොමු කිරීම ඉතාම වැදගත්. සමහර ඖෂධ වර්ගත් මෙවැනි තත්ත්වයන් ඇතිවීමට බලපානවා.
ප්‍රතිකාර
ප්‍රතිකාර සඳහා යොමුවීමේ දී ගැබිනි සමයට සුදුසු පරිදි ඖෂධ හා ප්‍රතිකාර ලබාගැනීම වැදගත්. ගැබ් ගැනීමට අදාලව නොවුණත් ගැස්ට්‍රයිටිස් සඳහා ප්‍රතිකාර ගැනීමට යනවිට ඔබ ගැබිනියක් ද නැද්ද යන්න වෙෙද්‍යවරයා වෙත තහවුරු කිරීම වැදගත් වනවා. එසේම ලබාදෙන ඖෂධ ප්‍රතිකාර නිසි ලෙස ලබාගැනීම ඔබට ඇතිකරන්නේ පහසුවක්. එය ඉක්මනින් රෝගය පාලනය කර ගැනීමට උදව්වක් වනවා. එසේම මේ කාලයේ හොඳින් ජලය පානය කිරීමත් වඩාත් වැදගත් වනවා.
මහාචාර්ය ටිරාන් ඩයස් මහතා
සටහන චාපා හංසිනි ආටිගල