free stats

විවාපත් යුවලකගෙ උදාරතම අපේක්ෂාව වෙන දරු පැටියෙක් ඉපදිලා, කිරි සිහිනය සැබෑ වීම පවුලේ හැමෝටම ඉතා විශාල ආස්වාදයක් ගෙන දෙන්නක්. ඒ වගේම විශාල වගකීම් කන්දරාවකුත් දෙමාපියන්ට හා අනෙකුත් වැඩිහිටියන්ට පැවරෙනවා. කුලු‍ඳුලේම මව් පදවිය ලැබුණු අලු‍ත් අම්මලාට මේක තරමක් අභියෝගයක් වෙන්න පුලු‍වන්. ඔබ විශේෂයෙන් දියුණු කරගත යුතු අලුත් පැටියෙක් රැක බලාගැනීම පිලිබඳව වූ කුසලතා කිහිපයක් පහත විස්තර කෙරෙනවා.

1). දරුවා වඩා ගැනීම. (ඇකයේ රුවා ගැනීම).

මුල්ම වතාවට දරුවා තමන්ගෙ අතට ලබා දුන්නම එයාව නිවැරැදිව වඩා ගන්නෙ කොහොමද කියල බොහෝ විට අලු‍ත් අම්මලා, තාත්තලා නොදැන ඉන්න පුලු‍වන්. නිවැරැදිව හා ප්‍රවේශමට දරුවා ඇකයේ රුවා ගැනීම ඉතාම වැදගත්. බිළිඳාගේ බෙල්ල මේ වෙද්දි ඉතාම සියුම්. මාංශ පේෂි හොඳින් වර්ධනය වෙලා නැහැ. බිළිඳාට තනිවම තම හිස දරා ගැනීමට හැකියාවක් නැහැ. එනිසා දරුවා වඩාගෙන සිටියදී ඔබේ එක් අතක් දරුවාගේ හිසට තබා ඒ සඳහා සහය දැක්වීම අනිවාරයයි. අනෙක් අත පිට, කොඳු නාරටිය හා ඉණ පෙදෙස දක්වා යන පරිදි ආධාර පිණිස තබා දරුවා වඩා ගැනීම කළ යුතුයි. අලු‍ත උපන් බිලිඳාගේ හිසෙහි අතිශය මෘදු හා සියුම් ස්ථාන පවතිනවා. මේ ප්‍රදේශ හැකිතාක් ඇල්ලීමෙන් වැලකීම ඉතා වැදගත්. සැලකිය යුතු ආරක්ෂාවක් ලබා දීමටත්, ඔබේ දරුවාට උපරිම සුරක්ෂිත බවක් දැනීමටත්, සෑම විටම දරුවා ඔබේ පපුවට සමීපව තබා ගන්න.

(01 රූපය).

02). මුල් දින 30 ඉතා වැදගත්.

දරුවා මෙලොවට බිහිවී ගතවන මුල් කාලය ඉතාමත්ම වැදගත්. ඒ අතුරින් මුල් දින 30 අතිශයින් තීරණාත්මකයි. අපට සාමාන්‍ය පරිදි ගතවන තවත් එක් දිනයක් ලෙස පෙනුනත්, දරුවාට එය එසේ නොවෙයි. දරුවා අවට පරිසරය දකින, ඔබේ උපකාරයෙන් තොරව තනිවම හුස්ම ගන්නා, අලු‍ත් ජීවිතයට හුරුවන මුල්ම කාල වකවානුව බැවිනි. මේ කාලය තුල පළමුකොටම ඔබ, ඔබ කෙරෙහි සැලකිලිමත් විය යුතුයි. බිලිඳාට ඉස්තරම් වර්ගයේ රැකවරණයක්, ආදරයක් හා උණුහුමක් ලබා දිය හැකිවන්නේ එවිටයි. දරුවාට කිරි ලබාදෙන නිසා, මව්වරුන් ප්‍රමාණවත් හා නිවැරැදි ආහාර රටාවක් අනුගමනය කළ යුතුයි. ප්‍රමාණවත් නින්දක් නොලැබෙන බව මව්වරුන් නගන සුලබ මැසිවිල්ලක්. බිලිඳා නිදාගන්නා අවස්ථාවලදී මවත්, දරුවා සමග නිදාගැනීම මගින් මේ ගැටලු‍ව සැලකිය යුතු මට්ටමකට මගහරවා ගත හැකියි.

03). කුඩා බිළිඳුන් සඳහා බ්ලැන්කට් භාවිතය.

බිලිඳා බ්ලැන්කට්ටුවක (හෝ වෙනත් ගැල්පෙන රෙද්දක) එතීම දරුවා සන්සුන් කිරීමට හා නලවාගැනීමට බොහෝ සෙයින් උපකාරී වෙනවා. තද උණුසුමකින් හා අනවශ්‍ය සීතලකින් දරුවා ආරක්ෂා කර ගැනීමටත් බොහෝ සෙයින් මෙය වැදගත්. බිළිඳා බැහැරට රැගෙන යන්නේ නම් මෙය අනුගමනය කිරීම වඩා සුදුසුයි. බ්ලැන්කට්ටුව ”‍දියමන්තියක”‍ (රොම්බසීය) හැඩයට තබා එහි ඉහළ කෙළවර පහළට නමා බිලිඳා ඒ මත තබන්න. එක් පැත්තක් බිලිඳාගේ පපුව හරහා ඇද අතට පහළින් යට කරන්න. ඉන්පසු පහළ කෙළවර ඉහළට ඇද, පාද ප්‍රදේශයේදී ඉහළට නමා එහි උඩ අතට ඇති කෙළවර උරහිස ප්‍රදේශයට යට කරන්න. දැන් ඉතිරිව ඇති පැත්තේ බ්ලැන්කට්ටුව නැවත පපුව හරහා ගෙන බිලිඳාගේ ඇඟට යට කරන්න.මෙලෙස නිවැරැදිව බ්ලැන්කට්ටුවේ ඔතාගත් බිලිඳා වඩාගෙන ඔබේ පපුව සමීපයේ තබා ගන්න. මඳ වේලාවකින් දරුවා නින්දට යනු දකින්නට පුලු‍වන්.


04). මව්කිරි දීම.

ඉපදී, මුල් කාලවකවානුව තුළ බිලිඳාගේ ආහාර හා පෝෂණ අවශ්‍යතාවන් සපුරාලන එකම ප්‍රභවය තමයි මව්කිරි. එනිසා ප්‍රමාණවත් පරිදි, ක්‍රමානුකූලව හා නිවැරැදි තාක්ෂණානුකූලව බිලිඳාට මව්කිරි දීම අනිවාර්‍ය්යි. මෙය බොහෝ විට සරල කාරණයක් ලෙස පෙනුණත්, ඇතැම් විට සංකීර්ණ වන්නට පුලු‍වන්. මව හා බිලිඳා දෙපාර්ශවයටම මේ හා සම්බන්ධ බාධා ඇතිවන්නට පුලු‍වන්. ඔබ පලමුවරට මව් පදවිය ලැබූ අයෙක් නම්, ඒ සඳහා ඇති ඉඩකඩ වැඩියි. ස්ථන ග්‍රන්ථි තුළ ප්‍රමාණවත් පරිදි කිරි නිෂ්පාදනය නොවීම, කිරි නිසි පරිදි සැපයීම දුර්වල වීම, බිලිඳා අසාමාන්‍ය ලෙස පමණ ඉක්මවා කිරි බීම, පියයුරු ආසාදන මේ හා සම්බන්ධ සුලබ ගැටලු‍. එවන් අවස්ථාවකදී වෛද්‍ය උපදෙස් පැතීම වඩා යෝග්‍යයයි.

ඔබට ඉරියව් ගණනාවක හිඳ දරුවාට මව්කිරි දීම කළ හැකියි. ඔබටත්, දරුවාටත් වඩා සැප පහසු ඉරියව්ව තෝරාගැනීමට ඔබ සැලකිලිමත් විය යුතුයි. ඇතැම්විට, කිරි බොන අතර තුරදී දරුවා නින්දට වැටෙන්නට පුලු‍වන්. එවිට ප්‍රමාණවත් ලෙස දරුවාට කිරි නොලැබී යනවා විය හැකියි. මෙයට උපක්‍රමයක් ලෙස දරුවා කිරි බොන අතරතුර දරුවාගේ දෙපා වලට මඳක් තට්ටු කරන්න. එවිට දරුවා අතරමග නින්දට වැටීම වැලකෙනු ඇති.

05). දරුවා සම්බාහනය (මසාජ්) කිරීම.

මෙය අලු‍ත උපන් බිලිඳාගේ අස්ථි හා මාංශපේෂි ශක්තිමත් කිරීම සඳහා උපකාරී වනවා. ආහාරවේලකට වහාම පෙර හෝ වහාම පසුව ලදරුවා සම්බාහනය කිරීම නොකල යුතුයි. සාර්ථක ළදරු සම්බාහනයක් සඳහා මේ පියවරයන් අනුගමනය කරන්න. දරුවා සුවපහසු මතුපිටක තබන්න. පාදවලින් අරඹා, දෙවනුව අත්, මීළඟට පපු පෙදෙස, බෙල්ල හා කම්මුල් හා අවසානයට පසුපස පෙදෙස සම්බාහනය කරන්න. මෙයට සෞඛ්‍යාරක්ෂිත ඔයිල් වර්ගයක් භාවිතා කිරීමට වගබලා ගන්න. දෛනික සම්බාහනය කිරීම් ඔබ හා දරුවා අතර බැඳීම ශක්තිමත් කිරීමට ද බොහෝ සෙයින් උපකාරී වෙයි.

(04 රූපය).

06). ඩයපරය මාරු කිරීම.

මුල් අවස්ථාවලදී ඉතා සංකීර්ණ කරුණක් ලෙස පෙනුණත්, මෙය ඉතා අපහසු කටයුත්තක් නොවෙයි. නමුත් ඔබ මෙහිදී සිහිතබා ගත යුතු කරුණු කිහිපයක් තිබෙනවා. ඔබ මතක තබා ගත යුතු පළමු හා ප්‍රධානතම දෙය නම් පෙකණි වැල වියළී වැටෙන තුරු ළදරුවෙකු නිවැරදිව ඩයපර් කිරීමයි. පෙකණි වැලෙහි ක්ලිප් එක උඩින් ඩයපර් එක එතීමෙන් වලකින්න. තවද, ඩයපරය නිසා අදාළ ප්‍රදේශයට අමතර පීඩනයක් ද නොපැවතිය යුතුයි. ආසාදන තත්වයන් වලක්වා ගැනීම සඳහා (විශේෂයෙන් ළදරු ගැහැණු ළමුන්ගේ) තෙත්වූ ඩයපරයන් ඉවත් කිරීමේදී ඉදිරිපස සිට පසුපසට පිස දමන්න. නැවත අලු‍ත් ඩයපරයක් ඇන්දවීමට පෙර අදාළ කලාපය හොඳින් වියලී ඇති බව තහවුරු කර ගන්න.

(05 රූපය).

වෛද්‍ය අරුණි ලියනමාන