free stats

ගැබිනි සමයේ මතුවෙන සමහර පුංචි පුංචි රෝග තත්ත්වයන් නිසා අපේ අම්මලා සමහර වෙලාවට හුඟක් බය වෙනවා. කුසේ ඉන්න පැටියාට හානියක් වෙයි කියන බය තමයි අම්මලාට ඇතිවෙන්නේ. ඒ නිසාම හිතේ ඇතිවෙන මේ වගේ කායික මානසික බිය නැති කරගන්න ඒ පුංචි අපහසුතා ගැන දැනගෙන හිදීම වඩාත් වැදගත්.

යටි බඩ වේදනාව

යටි බඩ වේදනාව මුල් සති කිහිපයේ හුඟක් මව්වරුන්ට ඇතිවෙනවා. මේ තත්ත්වය ඔබ ගර්භණී වු බවට ලක්‍ෂණයක් ලෙසත් ඇතිවෙන්න පුළුවන්. එය සුළුවෙන් සැලකිය යුතු අවස්ථාවක් නෙවෙයි. මොකද දරුගැබ පිටතින් පිහිටීම නිසාත් මේ තත්ත්වය ඇතිවෙනවා. එය භයානක අවස්ථාවක්.

ගැබ් ගත් වහාම එවැනි ගැටලුවක් තියෙනවා නම් අල්ට්‍රා සවුන්ඩ් ස්කෑන් පරීක්‍ෂණයක් මඟින් තත්ත්වය පරීක්‍ෂා කර බැලීම සිදුකළ හැකියි. තත්ත්වය තහවුරු කරගැනීමෙන් පසුව එහි බිය වීමට කාරණයක් නොමැති නම් සාමාන්‍ය පරිදි කාලය ගත කරන්න පුළුවන්. මේ සඳහා වෛද්‍යවරුන් සුලු ප්‍රතිකාරයක් ලබාදෙනවා. මේ වේදනාවත් එක්ක එන බය නැතිකරගැනීම තමයි කළයුත්තේ. ඒ සඳහා වෙෙද්‍යවරයෙක් වෙත යොමුවී රෝග ලක්‍ෂණයට හේතුව හඳුනාගෙන ප්‍රතිකාර ලබාගැනීම සුදුසුයි.

රුධිර වහනය

රුධිර වහනයත් විවිධ හේතු නිසා සිදුවනවා. කළලය හොඳින් නිර්මාණය නොවීම නිසා එය ඉවත්ව යෑමෙදිත් මෙවැනි ලක්‍ෂණ මතුවන්නට පුළුවන්. නමුත් කළලය හොඳින් වැඩෙන අවස්ථාවේ දී රුධිර වහනයක් සිදුවුවහොත් අල්ට්‍රා සවුන්ඩ් ස්කෑන් පරීක්‍ෂණයක් මඟින් සිදුකළ යුතුයි. එයින් පසුව වෙෙද්‍යවරයා විසින් වැඩිදුරටත් කළයුතු ප්‍රතිකාර පිළිබඳව තීරණය කරනවා.

වමනය හා ගැස්ට්‍රයිටිස් තත්ත්වය

ගර්භණි වු මුල් කාලයේ ඇතිවන ඔක්කාරය හා වමනය ගැබිනි මව වඩාත් අපහසුතාවයට පත් කිරීමට හේතුවනවා. ගැස්ට්‍රයිටිස් වැනි තත්ත්වයන් ද මේ කාලයේ ඇතිවනවා. මෙයට හේතුව වන්නේ ගැබිනි සමයේ සිදුවන කපාටවල ඵලදායිතාවය ආරක්‍ෂා වීමයි. උදාහරණයක් ලෙස ගලනාලය හා ආමාශය අතර ඇති කපාටයේ ක්‍රියාකාරිත්වය අඩුවීමට ඉඩ තිබෙනවා. මේ නිසා ආමාෂ යුෂයේ ඇති අම්ල ගලනාලය හරහා නිතරම උඩට එන්නට පුළුවන්.

මේ තත්ත්වය මව්වරුන්ට දැනෙන්නේ පපුවේ වේදනාවක් ලෙසයි. එසේත් නැතිනම් බඩේ උඩ කොටසේ වේදනාවක් ලෙස ද දැනෙන්නට පුළුවන්. වමනය යෑම වැඩිවන්නට මේ තත්ත්වය ද හේතුවක් වනවා. වමනය සමනය කිරීම සඳහා ලබාදෙන ප්‍රතිකාරයක් ලෙස වෙෙද්‍ය උපදෙස් මත ගැස්ට්‍රයිටිස් සඳහා ඖෂධ ලබාගන්න.

වමනය නිසා කළලයට ගැටළුවක් ඇති නොවන බැවින් බියවීමට අවශ්‍ය වන්නේ නැහැ. නමුත් අධික වමනය තත්ත්වයක දී මවගේ සිරුරේ ලවණ ප්‍රමාණය පවා අඩුවන්නට ඉඩ තිබෙනවා. මේ නිසාම විජලනය ද ඇතිවිය හැකියි. එවැනි අවස්ථාවක මව ඉක්මනින් රෝහල්ගත කර සේලයින් ප්‍රතිකාර ලබාදීම සිදු කරනවා.

හුස්ම ගැනීම අපහසු නම්

හුස්ම ගැනීමේ අපහසුතා මේ කාලයේ මව්වරුන් අතර දකින්නට ලැබෙනවා. ප්‍රසූතිය ආසන්නයේත් මේ තත්ත්වය වැඩියෙන් දකින්න පුළුවන්. උරස් කුහරයේ පරිමාණය නිසා මේ තත්ත්වයේ අඩු වැඩි වීමක් වෙනවා. මෙවැනි අවස්ථාවක මවට හුස්ම ගැනීමට ඉඩ ප්‍රමාණය අඩු වීමක් ලෙස දැනෙන්න පුළුවන්. හුඟක් අම්මලාට හුස්ම ගැනීමේ ගැටලු සාමාන්‍ය තත්ත්වයක් ලෙස මතුවන්නටත් ඉඩ තිබෙනවා. නමුත් අපහසුතාවයක් ඇත්නම් වෙෙද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවීම වැදගත්. මෙය හෘද රෝග තත්ත්වයක් නිසා ඇතිවන්නක් ද යන්න මුලින් පරීක්‍ෂා කරන අතර එසේ නොවේ නම් සාමාන්‍ය තත්ත්වයක් ලෙස තහවුරු කරනවා.

මස්පිඩු පෙරලීම

ගර්භණී සමයේ වැඩි වශයෙන් දක්නට ලැබෙන තත්ත්වයක් ලෙස මෙය පෙන්වා දිය හැකියි. ලවණ අඩු වීමක් නිසා මෙසේ සිදුවිය හැකි බැවින් ඒ සඳහා ලවන අඩංගු ආහාර වැඩියෙන් ලබාගැනීම සුදුසු වනවා. එසේම විටමින් වර්ග හොඳින් අඩංගු පළතුරු හා එළවළු වර්ගත් විටමින් E අඩංගු පෙති හෝ කරල් (වෙෙද්‍ය උපදෙස් මත) ලබාගැනීම මඟින් මේ සඳහා ප්‍රතිකාර ලබාගත හැකියි. නමුත් පාලනයෙන් තොරව දිගින් දිගටම මේ තත්ත්වය පවතියි නම් ප්‍රතිකාර සඳහා යොමුවීම සුදුසුයි.

මුත්‍රා පාලනයෙන් තොරව පිටවීම

කැස්සත් සමඟ හෝ සිනාසෙන විට මුත්‍රා පිටවීම මෙහි ප්‍රධාන ලක්‍ෂණ වනවා. ගර්භාෂය විශාල වීමත් සමඟ මුත්‍රා වාහිනි තෙරපීම මෙයට හේතුව වනවා. දරු ප්‍රසූතියෙන් පසු මේ තත්ත්වය සාමාන්‍ය තත්ත්වයට පත්වනවා.

ගර්භණී සමය පිළිබඳව එන මෙවැනි ගැටළු අනවශ්‍ය ලෙස බියවීමට කරුණු නොවේ. ඒ නිසා ඒ සඳහා අවශ්‍ය වෙෙද්‍ය ප්‍රතිකාර ලබාගැනීම වඩාත් සුදුසු වනවා.

සටහන මහේෂානි මීගහපල

ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍ය
ජගත් ප්‍රේමදාස මහතා
අනුරාධපුර ශික්‍ෂණ රෝහල