free stats

ඔබේම ප්‍රියයන් ඔබේ ප්‍රථම රාජකාරිය කරගැනීමට අමතක නොකරන්න..”‍

මේ මෑත කාලයේ අතිශය ජනප්‍රියත්වයට පත් වෙළඳ දැන්වීමක ටැග් ලයින් එකක්. යම් කිසි පුද්ගලයෙකුගෙ ප්‍රියයන් ගේ කුලකයේ තමාට සමීපතම ස්ථරය නියෝජනය කරන්නෙ පවුලේ සාමාජිකයින්. ලංකාව වැනි පෙරදිග රටවල පවුලක (මුළුමනින්ම න්‍යෂ්ටික හෝ විස්තෘත නොවූ) බොහෝවිට අම්මා, තාත්තා, දරුවන්, ආච්චි, සීයා නිත්‍ය සාමාජිකයින් වෙනවා. ඕනෑම අයෙකුට පවුල තුළ මෙන් ආරක්ෂාව, රැකවරණය, පිළිගැනීම, ආදරය ලැබෙන වෙනත් සමාජයීය සංස්ථාවක් නොමැති තරම්. ඒ නිසාම පවුලේ බැඳීම් කෙරෙහි යොමුකළ යුතු අවධානයත් අති මහත්.

”‍එකට කාලය ගත කිරීම”‍ තමයි පවුලේ එකිනෙකාට අනෙකා වෙත ලබා දිය හැකි වඩාත් අගනාම ත්‍යාගය. ඔබ එකිනෙකා සමග ගත කරන ප්‍රමාණාත්මකව ඉතා දිගු විය යුතු නැහැ. වත්මන් කාර්යබහුල ජීවන රටාව තුළ ඉතා විශාල කාලයක් මේ වෙනුවෙන් මිඩංගු කිරීමට ඔබට නොහැකි වීමද විය හැකියි. ඇතැම් විට නිසි අරමුණකින් තොරව පැය ගණන් එකිනෙකා සමඟ ගතකිරීමද බොහෝවිට ඵල රහිත විය හැකියි. එකිනෙකා සමග සැලකිය යුතු ගුණාත්මක කාලයක් ගත කිරීම, පවුල් සාමාජිකයින් අතර බැඳීම් ශක්තිමත් කිරීමට ඉවහල් වනවා සේම පවුලේ ලොකු කුඩා සෑම දෙනෙකුටම තමා සුරක්ෂිත බවත්, තමා වෙනුවෙන් පිරිසක් සිටිතැයි යන විශ්වාසයත් ප්‍රවර්ධනය කරවනවා.

පවුලේ කටයුතු සඳහා දරුවන් සම්බන්ධ කරගැනීම, ඔවුන් සමඟ එක්ව වැඩ කිරීම ඔවුන් තුළ වඩා යහපත් චර්යාවන් වර්ධනය වීම, එකිනෙකා අතර බැඳීම් ශක්තිමත් වීම, මාපිය-දූදරු සන්නිවේදන කුසලතා වැඩි දියුණු වීම, මානව සම්බන්ධතා ඇති කරගැනීම, ඒවා නිරෝගීව හා දිගු කාලීනව පවත්වා ගැනීමෙහිලා ප්‍රාමාණික හැකියාවන්ගෙන් යුක්ත වීම ආදියට හේතුවනවා. දෙමාපියන් ලෙස යහපත් හා ශක්තිමත් පවුල් බැඳීම් ඇති කිරීමෙහිලා සුවිශාල වගකීමක් ඔබට පැවරෙනවා. සාමාන්‍යයෙන් මෙකී පවුල් සබඳතා වර්ධනය වීම හැමවිටම ස්වභාවිකව සිදුවන්නේ නැහැ. එයට යම්කිසි කැපකිරීමක්, නිසි තාක්‍ෂණික ක්‍රමවේදයක් අනුගමනය කළ යුතුයි. ඒ සඳහා බොහෝ සෙයින් උපකාරී කරගත හැකි, ඉතා ප්‍රතිඵලදායක ක්‍රමෝපායන් කිහිපයක් මෙලෙස පෙළගැස්විය හැකියි.

1). එකට ආහාර ගැනීම.

කෑම මේසය පවුලේ සියල්ලන් එකතු කළ හැකි කදිම ස්ථානයක්. දෛනික ආහාරවේල් තුනම හැමදෙනාටම එකට ගැනීම ප්‍රායෝගිකව කළ නොහැකි වන්නට පුළුවන්. නමුත් අවම වශයෙන් දිනකට එක් ආහාර වේලක් හෝ (රාත්‍රී ආහාර වේල වඩා සුදුසුයි) එකට ගැනීම ඉතා වැදගත්. මෙහිදී එකිනෙකා දවසේ මුහුණ දුන් අත්දැකීම්, සිදු වූ විශේෂ සිදුවීම්, හෙට දිනයේ නියමිත සැලසුම් එකිනෙකා සමග හුවමාරු කරගැනීමට අවස්ථාව සැලසෙනවා. දෙමාපියන් ලෙස ඔබට දරුවාව වඩාත් සමීපයේ හිඳ නිරීක්ෂණය කිරීමත්, දෛනිකව අධීක්ෂණය කිරීමත් නිරායාසයෙන් කළ හැකියි.

2). ”‍පවුලේ වේලාවක්”‍ වෙන්කර ගැනීම.

සති දෙකකට වරක් හෝ මසකට වරක් මෙවැනි වේලාවක් වෙන්කර ගැනීම වඩාත් යෝග්‍යය යි. පවුලේ හැමෝම යම් නිශ්චිත කාල සීමාවක් යම් විනෝදාත්මක ක්‍රියාවක යෙදීම මෙහිදී නිර්දේශ කෙරෙනවා. එය චිත්‍රපටයක් බැලීම, ක්‍රීඩාවක යෙදීම, විනෝද චාරිකාවක් යෑම හෝ නිවසින් පරිබාහිර ස්ථානයක ආහාර ගැනීම වැනි යමක් විය හැකියි. මේ නිශ්චිත කාලය තුළදී කිසිවෙක් තමාගේ පෞද්ගලික වැඩ රාජකාරිවල යෙදීම සුදුසු නැහැ. මුළු මහත් කාලයම හැකිතාක් එකිනෙකා සමග ගත කිරීමට යෙදවිය යුතුයි. මෙවැනි ක්‍රියාකාරකම් ඒකාකාරී ජීවන රටාවෙන් මිදීමටත් අමතර සහයක් වනවා. තවද, ඔබේ ජීවිතයට මිහිරැති මතක එක් කරන්නෙත් පවුලේ අයවළුන් සමග ගෙවුණු මෙබඳු කාල හෝරාවන්.

3). පවුල් හමු පැවැත්වීම.

පවුලේ වැදගත් තීරණ, අනාගත සැලසුම් පිළිබඳ සාකච්ඡා කිරීමට මෙවැනි පවුල් හමු ඉතා ප්‍රයෝජනවත්. දෙමාපියන් ලෙස ඔබේ තීරණ දරුවන් හමුවේ තබා ඔවුන්ගෙන් ද අදහස් විමසීම වඩාත් හොඳ ප්‍රවේශයක්. තමන් පවුලේ වගකිවයුතු සාමාජිකයෙකු බවත්, ඒ නිසාම තමාට පැවරෙන යම් වගකීම් සමුදායක් ඇති බවත් දරුවාට ඒත්තු ගැන්වීම ඔහු/ඇය වගකීම් සහගත වැඩිහිටියෙකු බවට පත් කරවනවා. තමාට පවතින ප්‍රශ්න අනෙකා සමග බෙදාහදා ගැනීමටත්, අවශ්‍ය අවස්ථාවලදී සහය ඉල්ලා සිටීමටත් මෙවැනි හමුවීම් උපකාරී වනවා.

4). පවුලක් ලෙස ගෙදර දොරේ වැඩ කිරීම.

සාමාන්‍යයෙන් පවුලේ සාමාජිකයන්ට තමාට නිශ්චිත වූ වැඩකොටසක් තිබෙනවා. පියාට රැකියාවේ හෝ රාජකාරීමය කටයුතු, මවට ගෘහණියක් ලෙස පැවරෙන කටයුතු හා දරුවන්ට අධ්‍යාපනික වැඩ කටයුතු ආදී වශයෙන්. නමුත්, සියලු‍දෙනාට එකට එක්ව කළහැකි වැඩක්, හැමෝටම ඉඩ පහසුව ඇති වෙලාවක යොදා ගැනීම ඉතා වැදගත්. උදාහරණයක් ලෙස නිවෙස අස්පස් කිරීමේ ශ්‍රමදානයක්, ගෙවතු අලංකරණය කිරීමේ වැඩසටහනක්, විශේෂ ආහාරයක් පිළියෙල කිරීමක් වැනි දේ දැක්විය හැකියි. මෙහිදී එකිනෙකා සමග සහයෝගයෙන් වැඩ කිරීමේ හසුරු කුසලතාවන් දරුවා තුළ වර්ධනය වනවා සේම, වැඩ බෙදාගැනීම හා සාමූහිකව වැඩ කිරීම තුළ පවතින පහසුව පිළිබඳ දරුවා ප්‍රායෝගිකව අවබෝධ කරගන්නවා. එබැවින් ඉඩ ඇති පරිදි මෙවැනි පොදු කාර්යයක් යොදාගැනීම කෙරෙහි අවධානය යොමු කරන්න.

5). බාහිර පවුල් සමග සම්බන්ධ වීම.

කිසිවෙකුට තනිව හුදෙකලාවේ ජීවත් වෙන්න බැහැ. සමාජයීය පුද්ගලයන් මෙන්ම යම් ප්‍රජාවක කොටස්කරුවන් ලෙස අපට ඇසුරු කිරීමට යම් සමාජ ස්ථරයක් පැවතිය යුතුයි. මෙකී සමාජ ස්ථරයක් වෙනත් බාහිර පවුල් සංස්ථාවන්ගෙන් නියෝජනය වනවා. ඔවුන් ඔබේ අසල්වැසියන්, නෑදෑයින්, රැකියා ස්ථානයේ මිතුරන්, දරුවාගේ පාසල් මිතුරන් ආදීන් විය හැකියි. ඔවුන් ඔබේ පවුලට පරිබාහිර වූ සමාජයේ හරස්කඩක්. පවුල තුළ එකිනෙකා සමග කටයුතු කිරීමෙන් ඔප්නංවා ගත්තා වූ කුසලතා, අත්දැකීම් හා ආකල්ප බාහිර සමාජයට ගලපාගන්නේ කෙසේද යන වග දරුවාට පැහැදිලි කරදීම වැදගත්. මෙකී කාරණාව උදෙසා ඉහත සඳහන් කළ පරිදි බාහිර පවුල් සමග යම් කාලයක් ගත කිරීම බොහෝ සෙයින් ප්‍රතිඵලදායක වනවා.

සටහන වෙෙද්‍ය අරුණි ලියනමාන