free stats

දරුවන්ගේ අනාගතය සාර්ථකත්වය කරා ගෙන යාමේ වගකීම දෙමාපියන් වන ඔබට පැවරෙන්නේ අද සිටය. නමුත් බහුතරයක් මව්පියන් අවධානය යොමුකරන්නේ දරුවාගේ ශාරීරික සෞඛ්‍ය පිළිබඳව පමණි. දරුවෙකුගේ මානසික සෞඛ්‍ය ගුණ ධර්ම ගති සිරිත් සාර්ථක අනාගතයක් උදෙසා කොතරම් බලපානවාද යන්න පිළිබඳව ඔවුන්ට අදහසක් නැත. ඒ නිසාම බොහෝවිට දෙමව්පියන් අවධානය යොමු කරන්නේ දරුවන්ගේ පෝෂණය ඉහළ නංවා ගන්නට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමටයි. නමුත් දරුවෙකුගේ ශාරීරික වර්ධනය වගේම මානසික වර්ධනයත් ඒ හා සමගාමීව සිදුවිය යුතුයි. මේ නිසා ශාරීරික වර්ධනය සඳහා සැලකිලිමත් වන ආකාරයටම දරුවන්ගේ මානසික සංවර්ධනය වෙනුවෙනුත් මව්පියන් කළ යුතු බොහෝ දේ තිබෙනවා. මේ පිළිබඳව දෙමාපියන් දැනුවත් වීමක් අත්‍යවශ්‍යම කාරණයක්.

ඔබේ දරුවාට යහපත් හෙටක් තන්නන්ට නම් පහත කරුණු පිළිබඳ අවධානය යොමු කිරීම වැදගත්

01 දරුවා සමග පවත්වන අන්තර් ක්‍රියාකාරීත්වය
02 දරුවා වෙත කොන්දේසිවලින් තොරව ධනාත්මක අවධනාය යොමු කිරීම
03 නිරන්තරයෙන් දරුවාට උදව් කිරීම හා දරුවා නිවැරදි කිරීම
04 බිය වැද්දීම් මගින් පෙළඹවීම් නොකිරීම
05 නිරන්තරයෙන් දරුවාට සවන් දීම
06 දරුවන් හඬන විට ඥානාන්විතව ප්‍රතිචාර දැක්වීම
07 නිරන්තරයෙන් දරුවා වෙත ඉවසීමෙන් යොමු වීම
08 දරුවා සමග කටයුතු කිරීමේදී තිරසාර බවින් යුතු වීම

දරුවා සමග පවත්වන අන්තර් ක්‍රියාකාරීත්වය

නිරන්තරයෙන් ඔබ ඔබේ දරුවා වෙත අර්ථාන්විත අන්තර් ක්‍රියාකාරීත්වයක් දැක්වීමට කටයුතු කිරීම මඟින් දරුවාගේ මානසික මට්ටම යහපත් වේ. එමඟින් දරුවාගේ මානසික වර්ධනය සිදු වන අතර ඔබ දරුවා සමග රැදෙමින් කාලය ගත කිරීම මගින් දරුවාගේ හැඟීම් ආකල්ප ආශාවන් දරුවාට බිය ඇති කරන දේ සතුට දනවන දේ ආදී දේවල් පිළිබඳ අවබෝධය ලබාගත හැකිය. එය ඔබ සහ දරුවා අතර හොඳ බැඳීමක් ඇති කිරීමට රුකුලක් වනු ඇත.

නිරන්තරයෙන් දරුවාට සවන් දීම

දරුවන් යමක් පවසන විට දෙමාපියන් ලෙස එය හොඳින් ඇහුම්කන් දීමට පුරුදු පුහුණු වන්න. දරුවන් පුහුණු කරනවා සේම ඉවසීමකින් ද මේ දේවල් පිළිබඳ පුරුදු පුහුණුවීම අතිශය වැදගත් වනවා. දරුවන්ට අලුත් වචන උගන්වන්නට දෙමාපියන් නිරන්තරයෙන් උත්සහ ගන්නවා අපි දැක ඇත්තෙමු. කළ යුත්තේ දරුවාගේ සංවේදීභාවයන් හඳුනාගෙන ඒ අනුව ප්‍රතිචාර දක්වමින් දරුවා සමග සන්නිවේදනය කිරීමට හුරුවීමයි.

දරුවන් හඬන විට ඥානාන්විතව ප්‍රතිචාර දැක්වීම

දරුවන් තමන්ගේ සන්නිවේදන උපක්‍රමයක් ලෙස හැඬීම යොදා ගන්නා අතර දරුවන් හඬන විට එකවරම නතර කිරීමට උත්සහ නොගන්න. දරුවා හඬන්නට හේතූ වූ කරුණු මොනවාදැයි පළමුව සොයා බලන්න. සමහරවිට දරුවාගේ හැඬීම දරුවාගේ දුර්වලතාවයක් ලෙස පෙන්වාදීමට දෙමව්පියන් පෙළඹේ. එය දරුවාගේ මානසික තත්ත්වය සෘණ වීමට බලපායි කළ යුත්තේ දරුවා හැඬීමට හේතු වු කරුණු කවරේද යන්න සොයා බැලීමයි නිරන්තරයෙන් ඒ හේතූ කාරණා සොයා ගෙන එම හේතූ සඳහා පිළියම් ලබාදීම ඔබ කළ යුතු අතර එය ආදරණීයව සිදු කිරීමටත් වග බලා ගැනීම ඔබ කළ යුත්තකි.

නිරන්තරයෙන් දරුවා වෙත ඉවසීමෙන් යොමු වීම

දවස පුරා වෙහෙසට පත් වී සිටින මව්පිය ඔබට මෙය යම්තාක් දුරට අභියෝගයක් විය හැකිය. නමුත් ඔබ දෙමාපියන් ලෙස ඉවසීම ප්‍රගුණ කළ යුතු වැදගත් අවස්ථාවක් වනවා. මෙම අවස්ථාව යම් කාල සීමාවකට අනුගත කරවා අදාල කාර්යයන් නිම කිරීමට දරුවාට විධාන දීම දරුවා පීඩනයට පත් කරන්නක්. එය ඔබ සහ දරුවා අතර අන්තර් ක්‍රියාකාරීත්වය පළුදු වීමට හේතු වනවා මෙන්ම දරුවාගේ මානසික පසුබෑමකටද හේතු වෙනවා.

දරුවා වෙත කොන්දේසි විරහිතව ධනාත්මකව අවධානය යොමු කිරීම

දරුවන් එකිනෙකාට වෙනස් බව ඔබ හොඳින් අවබෝධ කරගත යුත්තකි. ඔබ සැමවිටම පරිපූර්ණ දරුවකු තැනීමට කියා වෙහෙස නොවන්න. දරුවා ඔබට අවශ්‍ය ලෙස නිරන්තරයෙන් නිවැරදි කිරීමට උත්සහ නොකරන්න. දරුවා යනු නිරන්තරයෙන් නිවැරදි කළ යුතු හෝ විනයාත්මකව කටයුතු කළ යුතු අයෙකු නොවෙයි. එය ඔබේ දරුවාගේ ප්‍රතිරූපයට හානි කර විය හැකිවා මෙන්ම ඔබට ද මහත් මානසික ගැටලුවක් වන්නට පුළුවන්. දරුවාගේ මාර්ගෝපදේශකයා පමණක් වීමට නිරන්තරයෙන් වග බලා ගන්න.

නිරන්තරයෙන් දරුවාට උදව් කිරීම හා දරුවා නිවැරදි කිරීම

දරුවන් ඔවුන් අතින් සිදුවන වැරදීම් තුළින් නිවැරදි දේ හඳුනාගන්න. එසේ වැරදීම් තුළින් හඳුනාගන්නා නිවැරදිවීම් දරුවාගේ මානසික සුවපත් භාවයට මහත් රුකුලක් වනවා. දරුවාට වැටි වැටී නැගිටින්නට ඉඩ සැලැස්වීම තුළින් දරුවා හොඳින් බාධක හඳුනා ගනිමින් නිවැරදි ක්‍රම අනුගමනය කරමින් සිට ගන්නට උත්සහ කරන්න. එය ඔවුන් තුළින්ම වර්ධනය වීමට ඉඩ හැර අවශ්‍ය අත් උදව්ව පමණක් දීමට වගබලා ගන්න.

බියවැද්දීම් මගින් පෙළඹවීම් නොකිරීම

මෙය බොහෝ දෙමව්පියන් බහුලව කරනු ලබන දෙයකි දරුවන් බයට පත් කරමින් දෙමාපියන්ගේ බලාපොරොත්තු ඉටු කර ගැනීමට කටයුතු කරනු ලබයි එය දරුවාගේ මානසික සංවර්ධනය අඩාල වීමට හේතු වන බව දෙමාපියන් නොදැනුවත් වීම මත මෙවැනි තත්ත්ව ඇති කරන ඇති බව පෙනෙනවා. බොහෝ විට දරුවන්ට කැවීමේදී සිදු කරන බියවැද්දීම් ප්‍රධානයි. මෙය දරුවන්ගේ මානසික වර්ධනයට දරුණු ප්‍රහාරයක් බව කිව යුතුයි.

දරුවා සමග කටයුතු කිරීමේදී තිරසාර බවින් යුතු වීම

ඔබ දරුවා සමග කටයුතු කරන ආකාරය පිළිබඳ ඒකමතික තීරණයකට පැමිණිය යුතු අතර පවුලේ අනෙක් සාමාජිකයන්ද ඒ සම්බන්ධයෙන් දැනුවත් වී සිටිය යුතුවා මෙන්ම ඔවුන්ද ඒ අනුව කටයුතු කිරීම වැදගත් වනවා දරුවාගේ මානසික ස්ථාවරයට එය මහත් පිටිවහලක් වන අතර එය දරුවාට ඔබේ ආකල්පමය ඉරියව් හඳුනාගැනීමට ද එය උදව්වකි. එවිට දරුවාට ඔබව තේරුම් ගැනීමට පහසු වනවා.

ඒ අනුව අවබෝධයෙන් යුතුව දරුවන් පිළිගනිමින් ඔවුන්ට ප්‍රතිචාර දැක්වීම දරුවන්ගේ මානසික වර්ධනය කෙරෙහි වැදගත් බලපෑමක් වනවා. පමණට වඩා ඔවුන් නිවැරදි කිරීමට වෙර වීරිය දැරීමත් පමණට වඩා ඔවුන් වර්ණනා කිරීමත් දරුවන්ගේ මානසික වර්ධනයට බාධාවක් වන බව සිහියේ තබාගත යුතුයි.

දෙමාපියන් ලෙස ඔබ සැම විටම ඔබේ දරුවාගේ හැසිරීම නිරීක්‍ෂණය කළ යුතු අතරම ඒ පිළිබඳ මනා අවධානයකින් පසුවිය යුතුයි ඔබේ දරුවාගේ හෙට දිනය යහපත් වන්නට නම් ඉහත කරුණු පිළිබඳව වැඩිහිටි ඔබේ නිසි අවධානය යොමු කළ යුතුමයි.

ක්‍රිෂාන්ති ගංගා කුමාරි
පළමුවන ශ්‍රේණිය – සූතිකා පුහුණු හෙද නිළධාරිනි
ශික්‍ෂණ රෝහල
කුරුණෑගල