free stats

අලුතින් මව්පදවියට සූදානම් වන කාන්තාවන්ට විවිධාකාරයේ ගැටළු ඇතිවනවා. මව්කිරි දීම පිළිබඳව ගැටළු මේ අතරින් ප්‍රධානයි. පියයුරුවල ප්‍රමාණය මව්කිරි දීමට බලපාන බවට බොහෝ මව්වරුන් අතර මතයක් පවතිනවා. මේ නිසාම සමහර කාන්තාවන් බලවත් මානසික හා කායික ව්‍යාකූලතාවයන්ට ලක්වන බවත් දකින්න පුළුවන්. ඒ වගේම විවෘතව මේ පිළිබඳව කතා කිරීමට මැලිකමක් දක්වන නිසාම වෛද්‍යවරයෙකුගෙන් හෝ හෙදියකගෙන් විමසීමක් සිදුකරන්නේ නැහැ. අනෙක් අය සමඟ සන්සන්දනය කරමින් හෝ අනෙක් අයගේ අදහස් විමසමින් මේ පිළිබඳව අනවශ්‍ය ගැටළු නිර්මාණය කරගන්නවා. ආසියානු සමාජය තුළ කාන්තාවගේ රූපය වර්ණනා කිරීමේ දීත් පියයුරුවල ප්‍රමාණය පිළිබඳව අදහසක් කියවෙන නිසා කුඩා පියයුරු සහිත කාන්තාවන් තුළ තමා පිළිබඳව පසුබෑමක් ඇතිවීමේ ඉඩකඩ ඉතාම වැඩියි.

පියයුරු ප්‍රමාණයෙන් කුඩා වන්නේ හෝ විශාල වන්නේ එහි ඇති මේද තට්ටුව හා මාංශ පේශිවල ස්වභාවය මතයි. ඒ නිසා කුඩා පියයුරු පිහිටීම මව්කිරි දීමට බලපෑමක් එල්ල කරන්නේ නැහැ. ඕනෑම කාන්තාවකට පවතින ක්‍ෂීර ග්‍රන්ථි ප්‍රමාණය එක හා සමාන වන අතර ඒවායේ ක්‍රියාකාරිත්වය සහ කිරි එරීම වැනි සාධක සඳහා බලපාන්නේ සිරුරේ ඇති හෝර්මෝන සාන්ද්‍රණයයි. ඒ මත පියයුරුවලින් ශ්‍රාවය වන කිරි ප්‍රමාණයට බලපෑමක් එල්ල වෙන්න පුළුවන්. නමුත් කුඩා පියයුරු හා විශාල පියයුරු ඇති සෑම
කාන්තාවකගේම හෝර්මෝන සාන්ද්‍රණය නිසි පරිදි සිදුවනවා නම් ඒ පිළිබඳව ගැටළුවක් ඇති කරගන්න අවශ්‍ය නැහැ.

නමුත් පියයුරේ ප්‍රමාණය කිරි උරාබීමේ හැකියාව පිළිබඳ තාවකාලික ගැටළු ඇතිවීමට හේතුවිය හැකියි. අලුත උපන් බිළිඳුන් පියයුරේ ප්‍රමාණය මත කිරි උරාබීමේ අපහසුතා පෙන්වුවත් මෙවැනි ගැටළු ඇතිවන්නෙත් පියයුරේ ප්‍රමාණය විශාල වූ විට මිස කුඩා වූ විට නොවෙයි. පියයුරේ ප්‍රමාණය කුඩා හෝ විශාල වුවත් කාලයත් සමඟ දරුවා කිරි උරා බීමට ඉගෙන ගන්නවා. එතෙක් ඉතා විමසිල්ලෙන් හා කිරි ලබාදීම පිළිබඳව නිසි කළමණාකරනයෙන් යුතුව කටයුතු කිරීමෙන් දරුවාට මව්කිරි දීම කළ හැකියි. මේ සඳහා සෑම රජයේ රෝහලකම පිහිටි මව්කිරි කළමණාකරන මධ්‍යස්ථානය මඟින් නිසි උපදෙස් ලබාගන්න පුළුවන්.

සමහර මව්වරුන් මෙවැනි ගැටළු ඇතිවු විට පිටිකිරි වැනි වෙනත් ආදේශක ආහාර වෙත යොමුවෙනවා. නමුත් දරුවාට මව්කිරි මදි ද නැද්ද යන්න පිළිබඳව කාරණය ඔබට සිදුවන වැරදි වැටහීමක් වන්නට පුළුවන්. මේ පිළිබඳව ඔබේ වෛද්‍යවරයාගෙන් හෝ පවුල්
සෞඛ්‍ය සේවා නිලධාරිනියගෙන් අසා දැනගත හැකියි.

ඉතාම කලාතුරකින් අවස්ථාවලදී පියයුරු ප්‍රමාණය හා හැඩය මව්කිරි නිපදවීමට බලපාන අවස්ථා තිබෙන්නට පුළුවන්.

උදාහරණයක් ලෙස

ප්‍රමාණවත් නොවන ග්‍රන්ථි හා පටක පිහිටා තිබීම
පියයුරු අසමමිතිය හෙවත් එක් පියයුරක් අනෙකට වඩා සැලකිය යුතු ලෙස ප්‍රමාණයෙන් විශාල වීම
ඉතාම පුළුල් පරතරයකින් පියයුරු පිහිටා තිබීම
තල හැඩයක් ඇති අසාමාන්‍ය සිහින් ශිරා සහිත පියයුරු
ඉතාම විශාල (තන පුඩුව වටා පියයුරු වල අඳුරු කොටස) හා තනපුඩුව කොටස් සහිත වීම

මෙසේ අසාමාන්‍ය තත්ත්වයන් හැරුණු කොට සාමාන්‍ය ලෙස කුඩා පියයුරුවලින් කිරි දීම පිළිබඳව මවකට කිසිඳු ගැටළුවක් ඇති කරගැනීමට අවශ්‍ය නැත. එසේම කුඩා පියයුරු තිබෙන කාන්තාවන්ට කිරි දීමෙන් ලැබෙන වාසි තිබෙනවා.

එනම්,

පියයුරු පුළුල්ව වර්ධනය වීම හා එහි හැඩය සැකසීම,
දරුවාට ඉතා පහසුවෙන් කිරි උරාබීමට හැකි වීම සහ මවට ඉතා පහසුවෙන් කිරි දීමට හැකි වීම. කිරි ගෙඩි ඇති වීම හා කිරි තද වීමේ ගැටළු පිළිබඳ අවධානම අවම වීම.

ඒ වගේම ගිලිණු, පැතලි, දිගටි තන පුඩු හෝ කෙටි තනපුඩු මව්කිරි දීමට බාධාවක් වෙන්න පුළුවන් කියලා කාන්තාවන් කරදරයට පත්වෙනවා. නමුත් එවැනි තත්ත්වයක් මව්කිරි දීමට බාධාවක් නෙවෙයි. මුල් කාලයේ දී දුෂ්කරතා මතුවුවත් විවිධ ක්‍රම මඟින් එම තත්ත්වට සාමාන්‍ය තත්ත්වයට පත්කර ගනිමින් මව්කිරි ලබාදෙන්න පුළුවන්.

දිගටි තනපුඩු

දරුවා නිසි ලෙස පියයුරට සම්බන්ධ නොවී තනපුඩුව පමණක් උරා බීමෙන් තනපුඩුව තුවාල වියහැකි නිසා පියයුරට සම්බන්ධ වීමේ දී විශේෂ අවධානයක් යොමුකිරීම වැදගත් වනවා.

ගිලුණු තනපුඩු හඳුනාගන්නේ කෙසේද?

තනපුඩුවට ආසන්නයෙන් පිටුපසට ඇඟිලි දෙකක් තබා පිටුපසට මෘදුව ඇදගෙන එනවිට තන පුඩුව සම තුළට ගිලි යාම හා එසේත් නැතහොත් ඉදිරියට ඇදී ඒමක් සිදුනොවේ නම් එය ගිලුණු තනපුඩුවකි.

ගිලුණු පැතලි තනපුඩු ඇතිවිට කළහැකි දේ

ගැබිනි කාලයේ දී තනපුඩු සැකසීමට උපදෙස් ලබාදීමක් හෝ ප්‍රතිකාර ලබාදීමක් සිදුවන්නේ නැහැ. නමුත් කිරි දීමට සූදානම් ඕනෑම ගර්භණී මවක් ස්නානය කරන විට තනපුඩුව ඇඟිලි දෙකෙන් අල්ලා සකස් කිරීමක් කරන්න පුළුවන්. ගැබිනි කාලයේදී සිරුරට ඉතා තද තනපට ඇදීමෙන් වැළකීමත් වඩාත් සුදුසුයි.

ගිලිණු තනපුඩුව සකස් කිරීමේ සිරින්ජර් ක්‍රමය

මිලි මීටර් 10 ප්‍රමාණයේ සිරින්ජරයක් ගෙන එහි ඉදිකටුව සවිකරන පැත්තේ බද කොටස කපා ඉවත් කරගත යුතුයි. සිරින්ජරයේ ඇති ප්ලන්ජර් කොටස එනම් කළු පැහැති රබර් කොටස ගෙන කැපු පැත්තෙන් තබාගැනීම මෙහි දෙවන පියවරයි. එහි නොකැපු පිටුපස කොටස තනපුඩුවට තබා සෙමින් ඇදිය හැකිය. මෙලෙස මද වේලාවක් ප්‍රතිකාරය කිරීමෙන් අනතුරුව දරුවා ඉක්මනින් පියයුරට සම්බන්ධ කරගත හැකි ලෙස පියයුර සකස් කරගත හැකිය.

ගිලිනු හෝ පැතලි තනපුඩු ඇතිවිට තනපුඩු ආවරණ පළඳා ටික කලක් කිරිදීමෙන් අනතුරුව සාමාන්‍ය ලෙස මව්කිරි ලබාදිය හැකියි. මේ සඳහා මව්කිරි කළමණාකරන මධ්‍යස්ථානයෙන් හෝ පවුල් සෞඛ්‍ය නිලධාරිනියගෙන් උපදෙස් ලබාගන්න පුළුවන්.

උපදෙස්
මාතෘ හා ළමා සෞඛ්‍ය උපදේශිකා සහ මාධ්‍යවේදිනි
ශා්‍යාමලී පතිරගේ

සටහන මහේෂානි මීගහපොල