free stats

දිලානි ගේ ඉපදුනාට පස්සේ එයාගේ හිසේ හැඩය ගැන විවිධ ප්‍රශ්න ඇතිවුනා. විශේෂයෙන්ම දිලානිට ඒ හිසේ හැඩය ගැන සෑහීමකට පත්වෙන්න පුළුවන්කමක් තිබුනේ නැහැ. අනිත් දරුවන්ට වඩා දිලිනිගේ පැටියාගේ හිස බොහෝ සෙයින් වෙනස් වෙලා තිබුණේ පුංචි ඉදිමුමක් එක්ක. දිලිනිට ප්‍රසූතියේ වේදනාවටත් වඩා මේ සිදුවීම දරාගන්න අමාරු වුණා.

සහන් බලන්නකෝ බබාගේ ඔළුව. අනේ මට බයයි.”

දිලිනි කිව්වේ හැඬුමක් එක්ක.

අපි ඩොක්ටර්ගෙන් අහලා බලමුකෝ. දැන් ඔය ගැන හිතන්න එපා. ඔයාගේ හිත අවුල් වුණොත් බබාට කිරි ටික හරියට දෙන්න වෙන්නෙත් නැහැ.”

සහන් දිලිනිව අස්වස්සන්න උත්සහ කළා. හැබැයි මොනවා කිව්වා වුණත් සහන්ගේ හිතේ තිබුණෙත් තිගැස්මක්. දොස්තර මොනවා කියයි ද, බබාට මොනවා වෙයිද, අනාගතයට බලපායිද, වගේ ප්‍රශ්න ගොඩක් සහන්ගේ හිතෙත් තිබුණා.

වෛද්‍යවරයා හිටියේ පැටියාව පරීක්‍ෂා කරමින්. සහන් වෛද්‍යවරයා එනකල් ඉවසීමෙන් බලාගෙන හිටියා.

බයවෙන්න දෙයක් නැහැ. මේ වගේ බබාලා නොර්මල් ඩිලිවරි එකේ දී ඉපදෙනවා. ඒ නිසා ඒ ගැන බයවෙන්න ඕන නැහැ. මේක අසාමාන්‍ය තත්ත්වයක් තමයි. නමුත් එයින් පැටියාට හානියක් වෙන්නේ නැහැ. නමුත් ගෙදර දී බෙහෙත් කරන්න තවන්න යන්න එපා. ගොඩක් අය බබාට ගොඩ වෙදකම් කරන්න ගිහිල්ලා නැති ප්‍රශ්න හදාගන්නවා.”

වෛද්‍යවරයා පැහැදිලි කළා.

ඒ වෙලාවේ සහන් කරපු ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් හෙද නිලධාරිනිය මේ තත්ත්වය පැහැදිලි කළේ මේ විදියට……………

අලුත උපන් බිළිඳාගේ හිසෙහි හැඩය වෙනස් වීම, එසේත් නොමැති නම් පසුපසට දික්වූ හෝ උල් වූ හැඩයක් ගැනීම නිසා මව්වරුන් වේදනාවට පත්වනවා. මෙසේ සිදුවන්නේ සාමාන්‍ය දරු ප්‍රසූතියේ දී දරුවාගේ හිසට සිදුවන අනතුරුදායක තත්ත්වයන් හෙවත් ක්‍්චමඑ තත්ත්වයන් නිසායි. දරු ප්‍රසුතියට සූදානම් වන මවක් මේ පිළිබඳව අනිවාර්යයෙන්ම දැන සිටිය යුතුයි.

මෙයට ප්‍රධානම හේතුවක් වන්නේ ප්‍රසූතියේ දි ඇතිවන තෙරපුමයි. අනවශ්‍ය අවස්ථාවක දී මව සිදුකරන තැටමීම හා වේදනාව දරාගැනීමට නොහැකිව ඉක්මනින් ප්‍රසූතිය සිදුකිරීමට උත්සහ දැරීම නිසාත් මෙවැනි අවධානමක් ඇතිවේ. එවැනි අවස්ථාවක අඬු භාවිත කිරීම මෙවැනි තත්ත්වයක් ඇතිවීමට හේතුවක්.

Caput තත්ත්වයේ දී දරු පැටියාගේ හිස් කබලෙහි ඉදිමුණු ස්වභාවයක් සහ ගෙඩි ගැසුණු ස්වභාවයක් දැකිය හැකියි. දරුවා ඉපදි ටික වේලාවකට පසු මේ තත්ත්වය හඳුනාගත හැකිවේ. මෙය සාමාන්‍ය ප්‍රසූතියේ දී සුලභව දැකිය හැකි කරුණක් වන නමුත් මෙයින් දරු පැටියාගේ මොළයට හෝ හිස් කබලට කිසිඳු හානියක් සිදුනොවේ. නමුත් භාහිර පෙනුම දකින විට ඕනෑම කෙනෙකු තුළ තැතිගැන්මක් ඇතිවන්නේ එහි තිබෙන අසාමාන්‍ය බව නිසායි. සමහර විට මේ තත්ත්වය නිසා දරුවා වේදනාවට පත්වේ. අනෙක් අයගේ ප්‍රශ්න කිරීම් සහ අනෙක් දරුවන් සමඟ සන්සන්දනය කිරීම නිසා මව ද මෙයින් වේදනාවට පත්වීමට ඉඩ තිබේ.

එහෙත් සති කිහිපයක් ගිය පසු එනම් සති දෙකත් හයත් අතර කාලයේ දී මේ තත්ත්වය සාමාන්‍ය අතට පත්වේ. Caput ඉදිමුම දරුවාගේ හිස් කබලට පමණක් සීමා වන අතර මෙම තත්ත්වය දරුවාගේ මොළයට හානිදායක නොවේ. එය දරුවාගේ වර්ධනයට, ක්‍රියාකාරිත්වයට හෝ අනාගත පැවැත්මට බලපෑමක් එල්ල කරන්නේ නැත.

එබැවින් මේ සඳහා ප්‍රතිකාර අවශ්‍ය නැත. එහෙත් මේ තත්ත්වයට පත්වු දරුවන්ගේ SBR හෙවත් සීරම් බිලිරුබීන් තත්ත්වය ඉහළ යා හැකිය. මෙය සාමාන්‍ය ව්‍යවහාරයේ හඳුන්වන්නේ බබා කහවීම ලෙසයි. ඒ නිසා දරුවාගේ පැහැය කහ පැහැයට හැරේ දැයි යන්න පිළිබඳව වඩාත් සැලකිලිමත් වීම මවගේ වගකීමකි. ඇස්වල හෝ මුහුණෙහි එවන් කහ පැහැයක් දකින්නට තිබේ නම් වෛද්‍ය උපදෙස් සඳහා යොමු වීම වඩාත් වැදගත් වේ. එසේම දරුවාගේ හිස ඉදිමීමට හේතුවුණු තරලය ඉවත් කිරීමට උත්සහ නොකළයුතු අතර එමඟින් අහිතකර ප්‍රථිපල ඇතිවිය හැකිය. එය දරුවාට විවිධ ආසාදන ඇතිවීමට බලපාන හේතුවකි.

මෙහිදි මව්වරුන් වඩාත් සැලකිලිමත් වියයුතු සහ අවධානය යොමුකළ යුතු කරුණු කිහිපයකි. එනම් ප්‍රසූතිකාගාරයට ගිය මොහොතේම ප්‍රසූතිය සිදුකළ නොහැකි බව මව තේරුම්ගත යුතුයි. ඒ සඳහා වෛද්‍ය උපදෙස් පරිදි නිසි ලෙස සූදානම් විය යුතුයි. එසේම දරුවාට මෙවන් තත්ත්වයක් ඇතිවු අවස්ථාවක දී වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වීම අත්‍යාවශ්‍ය වන අතර දරුවාට නිවසේදී ප්‍රතිකාර කිරීම හිස තැවීම වැනි කාර්යයන් කිරීම වෙනත් අනතුරුදායක තත්ත්වයන් වෙත ඇදදැමීමට හේතුවකි. මෙවැනි ගැටළු සඳහා නිවසේදී කළ හැකි ප්‍රතිකාරයක් නොමැති බව මතක තබාගත යුතුයි.

හෙද නිලධාරිනි
එම්.කේ.එස්. නිල්මිණි මෙනවිය
ශික්‍ෂණ රෝහල මහමෝදර

සටහන අරුණී ජයසේකර