free stats

මෙයට පෙර කලාපයකදී ඔබ දැනගත යුතු බිලිදු ලක්ෂණ ගැන සාකච්ඡා කලා ඔබට මතක ඇති. එලෙසම මෙවර අලු‍ත උපන් දරුවන් පෙන්වන චර්යා රටා පිළිබඳව විස්තර කිරීමට මම බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන් නව මව්වරුන්ට මෙම කරුණු කිහිපය ඉතා වැදගත් වේවි.

දරුවාගේ නින්ද

නව බිලිදුන් දවසේ වැඩි කාලයක් ගත කරන්නේ නින්දේ බව ඔබ අසා ඇති . සාමාන්‍යයෙන්, දිනකට පැය 16 – -20 ක් පමණ ඔවුන් නින්දේ පසුවෙනවා. පසුව වයසින් වැඩෙත්ම මෙම කාලය ක්‍රමානුකූලව අඩු වී, ක්‍රියාශීලීව හෝ අවදිව සිටින කාලය වැඩි වෙනවා . මුලදී මෙම නින්ද දිවා රෑ ලෙස වෙනසක් නැති වුවත් , පසුව රාත්‍රියට වැඩිපුර නිදා ගන්නා රටාවට හුරු වෙනවා . මේ ආකාරයෙන්, මාස තුනක් වයසැති දරුවෙක් රැයකට පැය 6-8ක් පමණ නිදා ගන්නා බව පෙනී ගොස් තිබෙනවා.

නව ජන්මලාභී දරුවෙක් එක දිගට පැය දෙකක සිට හතර දක්වා නිදා ගැනීම සාමාන්‍ය දෙයක්. මේ කාල සීමාව තරමක් අඩු හෝ වැඩි විය හැකියි. පැය දෙකෙන් දෙකට දරුවාට කිරි පෙවිය යුතුය යන ආකල්පය සමාජගත වී තිබීම නිසා, සිය ළදරුවා කිරි බීමට පැය දෙක තුනකින් අවදි නොවුන විට සමහර මව්වරුන් කලබල වනවා. ඇත්තෙන්ම, හොඳින් කුස පිරුණු නිරෝගී දරුවෙක් එක දිගට වැඩි කාලයක් නිදා ගැනීම බිය විය යුතු දෙයක් නෙමෙයි. කෙසේ වුවත් අසාමාන්‍ය ලෙස එකදිගටම නිදා ගන්නා අවස්ථා වල පමණක් සන්සුන් ලෙස උත්තේජනය කිරීමෙන් අවදි කිරීම කල යුතුයි. එහෙත් නින්දේ දීර්ඝ ස්වභාවය ගැන ඔබ වැඩි අවධානයෙන් සිටිය යුත්තේ දරුවා අසාමාන්‍ය ලෙස මලානිකව හෝ සුදුමැලි පැහැයකින් සිටින විට, කිසියම් රෝගී ලක්ෂණ පෙන්වන විට හෝ පැහැදිලිව කිරි බීමට මැලිකමක් දක්වන විටයි. මෙවන් විට වෛද්‍ය උපදෙස් ලබා ගැනීම ඉතා වැදගත්.

කිරි බීම

මේ පිළිබඳව උපදෙස් නිරතුරුවම මව්වරුන්ට ලැබෙන නිසා වැඩිදුර සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නේ නැහැ. එහෙත් නැවත නැවත අවධාරණය කල යුත්තේ දරුවාට කිරි පෙවිය යුත්තේ පැයෙන් පැයට, දෙකෙන් දෙකට ඔර්ලෝසුව බලාගෙන නොව, ඔහුගේ හෝ ඇයගේ අවශ්‍යතාව අනුව පමණක් බවයි. එසේම සෑම විටදීම විනාඩි විස්සක් කිරි දිය යුතුයැයි කියා නියතයක් ඇත්තේ නැහැ. එයද දරුවාගේ අවශ්‍යතාව අනුව වෙනස් වන බව තේරුම් ගත යුතුයි.

දරුවා කිරිබොන විට නහයෙන් සහ කටින් සමහර විට පිටවන හඩ බියයුතු දෙයක් නොවෙයි. එහෙත්, එසේ හඩනගා කිරිබීමට උත්සාහ කලත් අසාර්ථක වන විට හෝ කිරි නොපෙවෙන විට එයට හේතුව දරුවා පියයුරු හා සම්බන්ධ වීමේ ගැටලු‍වක් ද නැතහොත් වෙනත් යමක් දැයි සොයා බැලීමට සිදුවෙනවා. හොඳින් කිරිබොන දරුවෙකුගේ බඩෙන් නැගෙන හඩ, burp වීම හෝ කටින් කිරි ටිකක් පිටවීම අසාමාන්‍ය දේවල් නොවෙයි.

හැඩීම

ජීවිතයේ මුල් කාලයේ දිනකට පැය කිහිපයක් ගත කරන්නේ හැඩීමට බව පෙනී ගොස් තිබෙනවා. හැඩීම යනු දරුවා තම අවශ්‍යතා දැනුම් දීමට යොදා ගන්නා භාශාව කිව්වොත් නිවැරැදියි. කුසගිනි ඇතිවන විට, නැපිය තෙත් වන විට, පරිසරයේ තමා අකමැති වෙනස් කම් සිදුවන විට (උෂ්ණත්වය හෝ ශබ්දය) හඩ නගා හැඬීම නිරෝගී බිලිදාගේ ලක්ෂණයක් බව ඔබ දන්නවා ඇති. එවන් අවස්ථා වල එම හේතුව හදුනා ගෙන අදාල ප්‍රතිකර්මය- කිරි දීම, නැපි මාරු කිරීම වැනි -සිදු කල යුතුයි. සමහර ලදරුවන් හැඩීම නැවැත්වීමට ටිකක් වැඩි කාලයක් ගන්නා බව ඔබ සමහර විට අත්දැකීමෙන් දන්නවා ඇති. එවන් විට, කලබල නොවී, ඉවසීමෙන් දරුවා වඩා ගෙන, ඔබගේ චලනයන් හා කටහඩ යොදාගෙන නලවා ගැනීමට කටයුතු කල යුතුයි . කිසිම විටක දරුවා තදින් සෙලවීම නොකල යුතුයි. එසේ කලහොත්, දරුවාගේ මොළයේ ලේ ගැලීම ඇතිවී, අතිශයින් භයානක ප්‍රතිඵල ඇති වූ අවස්ථා බොහෝ තිබෙනවා. කෙසේ වුවත් , උණ සමග අසාමාන්‍ය තීව්‍ර හැඩීම් ඇතිවිට, නවතා ගත නොහැකි ආකාරයෙන් හඩන විට සහ වෙනත් රෝග ලක්ෂණ සමග ඉතා දුර්වල ලෙස හඩන විට වහා වෛද්‍යවරයකු වෙත යෑමට වග බලා ගත යුතුයි.

ඉරියව් සහ චලනයන්

මව්කුස තුලදී දරුවා අත පය වකුටු කර ගෙන සිටින රූප ඔබ දැක ඇති. බිහිවූ මුල් කාලයේ නිරෝගි දරුවෙකු යොමු වනුයේ ද මෙවන් ඉරියව්වකටයි. එමනිසා දරුවා තැබීමේදී සහ එතීමේදී නැවූ අත් මුවට කිට්ටුවෙන් සහ දෙපා නැවීමට පහසු ලෙස සැකසිය යුතුයි. වයසින් වැඩෙත්ම අත් පා වල චලන පරාසය වැඩි වී, ක්‍රියාකාරිත්වය වර්ධනය වීම සිදු වෙනවා. මුල් මාස දෙක තුල නව බිලිදුන් ඉංග්‍රීසියෙන් රුකෙැංැි නමින් හදුන්වන ප්‍රතීක ක්‍රියා පෙන්වනවා. එක් පැත්තක කම්මුල පිරිමදින විට ඒ දෙසට මුහුණ හැරවීම, මුවට ඇඟිල්ල ගෑවූ විට උරා බීම, හදිස්සියේ ගැස්සුනු විට දෑත් දෙපා විහිදී ගොස් නැවත වකුටු කොට ගැනීම, අල්ලේ යමක් ගෑවූ විට එය අල්ලා ගැනීම, කෙලින් අල්ලා පතුල් මේස ගැට්ටක වැනි පෘෂ්ඨයක ස්පර්ශ කල විට ඇවිදීමට මෙන් පා සෙලවීම මෙවන් ප්‍රතීක කිහිපයක්. මෙවන් ප්‍රතීක මඟින් දරුවාගේ ස්නායු පද්ධතියේ නිරෝගීබව පිළිබඳව අදහසක් වෛද්‍යවරුන් හට ලබා ගත හැකියි.

එසේම, අලු‍ත උපන් නිරෝගී දරුවා ඉතා කුඩා හා සියුමැලි ලෙස දිස් වුවත් ඔහුගේ අත් පා චලන ශක්තිමත් බව ඔබට සමහර විට දැනී ඇති. එසේ නොවී, දරුවා අඩු ශක්තියක් පෙන්වන විට, ඉහත දැක්වූ ලෙස නිරෝගී ඉරියව්වකින් නොසිට අත් පා දිග ඇදී ඇති විට, කෙලින් අතට අල්ලා ගත් විට අත් අතරින් රූටා යන අයුරක් දැනෙන විට හෝ ඉහත දැක්වූ ප්‍රතීක නොපෙන්වන විට ස්නායු හෝ මාංශ පේශීන් ආශ්‍රිත ගැටලු‍වක් ඇති දැයි වහා සොයා බැලිය යුතුයි .

ස්වසනය

තත්පර කිහිපයක් ඉතා අඩුවෙන් හුස්ම ගෙන නැවත සාමාන්‍ය ලෙස හෝ වේගයෙන් හුස්ම ගැනීම නව දරුවාගේ සාමාන්‍ය ලක්ෂණයක්. වෙනත් අසාමාන්‍ය තත්වයක් නොමැති විට ඒ ගැන බිය විය යුතු නැහැ. එහෙත් , තත්පර 10 කට වඩා හුස්ම නොගෙන සිටින විට, විශේෂයෙන් දරුවාගේ පැහැය සුදුමැලි හෝ නිලට හුරු ලෙස වෙනස් වන විට එය ඉතා බරපතළ තත්ත්වයක්. එසේම අමාරුවෙන් හුස්ම ගැනීම, පපුව නිරතුරුව වේගයෙන් ඉහල පහල යෑම, හුස්ම සමග නාස් පුඩු පළල් වීම , එක දිගට හුස්ම සමග ශබ්දයන් පිටවීම ස්වසන මාර්ගය අශ්‍රිතව හෝ රුධිර සංසරණය ආශ්‍රිතව විෂබීජ ආසාදනයක් වැනි භයානක තත්වයක් ඇති බවට රතු සලකුණු ලෙස හැදින්විය හැකියි. මෙවන් අවස්ථා වල ඔබ වහා යොමු විය යුත්තේ පහසුකම් ඇති රෝහලකටයි.

පෙනුම

උපතේදී දරුවාගේ පෙනුම හොද තත්ත්වයක තිබුණත්, ඔහුට හෝ ඇයට පෙනෙන දේ ග්‍රහණය කර ගැනීමට අපහසුයි. එම හැකියාව මාස දෙක පමණ වන විට වර්ධනය වෙනවා. ඉතා තද ආලෝකයට ඔවුන් කැමැත්තක් දක්වන්නේ නැහැ. නිසි ලෙස ආලෝකමත් තැනක් සැකසීම දරුවාගේ යහපතට හේතු වෙනවා. මුල් මාස කිහිපයේදී සමහර දරුවන්ගේ ඇස් සහ ඒ අවට පටක වල පිහිටීම නිසා වපර ගතියක් දිස් වන අතර මෙය දෙමාපියන්ගේ කලබලයට හේතුවක් බව මා දැක තිබෙනවා. නමුත්, ආලෝකයට, පැහැයන්ට, මුහුණුවලට සහ අනිකුත් උත්තේජන වලට නිසි කලට දැක්විය යුතු ප්‍රතිචාර දක්වන්නේ නම් සැබෑ වපරයක් නොවන ඉහත තත්ත්වය ගැන බිය විය යුතු නැහැ. මාස 6 කින් පමණ පසුවත් වපරයක් දිස් වන්නේ නම් වෛද්‍ය උපදෙස් ලබා ගැනීම සුදුසු වෙනවා.

ඇසීම

උපතේ සිටම දරුවාගේ ඇසීම උපරිම තත්ත්වයක තිබෙනවා. මවගේ හඬට සහ වෙනත් ප්‍රියදායක හඬවල් වලට මුල සිටම ඔහු හෝ ඇය ප්‍රතිචාර දක්වනවා. කුඩා බිලිදා විශාල ශබ්ද වලට තිගැස්සෙන්නේ නැතිනම් හෝ ඉහත දැක්වූ ලෙස හඬවල් වලට ප්‍රතිචාර නොදක්වන බව පෙනෙයි නම් හෝ පරීක්ෂාවකට යොමු වීම වැදගත්. විශේෂයෙන්ම තවමත් අපේ රටේ සියලු‍ම දරුවන් කර්ණ පරීක්ෂණ වලට උපතෙන් පසු ලක් නොකරන නිසා, සැකයක් ඇති විට මෙසේ කිරීම වඩා යෝග්‍ය බව මගේ විශ්වාසයයි.

මෙයට අමතරව, ඈනුම් යෑම, ඉක්කා වැටීම, කිවිසුම් යෑම වැනි දේ සාමාන්‍ය නිරෝගී දරුවන් තුල දක්නට ලැබෙනවා. එහෙත්, වැඩිපුර උත්තේජනය වූ හා වෙහෙසට පත් වූ විටත් වැඩිපුර මේ ලක්ෂණ ඇතිවන නිසා, නිසි විවේකය, නින්ද සහ සංසුන් පරිසරය දරුවාට ලබා දීමට මව්පියන් උත්සුක විය යුතුයි.

මේ දැක්වූ කරුණු ඔබගේ ආදරණීය පැටියා සමග කටයුතු කිරීමේදි ඔබට අත්වැලක් වනු ඇතැයි මා විශ්වාස කරනවා.

ළමා රෝග විශේෂඥ වෛද්‍ය
නුවන් වික්‍රමසිංහ මහතා