මෙනින්ජයිටිස් තත්ත්වයේ දී සිදුවන්නේ මොළය හා සුසුම්නාව වටා ඇති තරලය ආසාදනයට ලක්වීමයි. මේ සඳහා ප්‍රධාන වශයෙන් බලපාන්නේ වෛරස් හා බැක්ටීරියා ආසාදනයි. මේ හැරුණු විට දිලීර හා පරපෝෂිතයන් නිසාත් බලපෑමක් ඇතිවෙන්න පුළුවන්. කුඩා දරුවන් තුල මෙනින්ජයිටිස් තත්ත්වය සාමාන්‍ය දැකිය හැකිවුණත් ගර්භණී මව්වරුන්ට රෝගය වැළදීමේ හැකියාව තිබෙන්නේ අවම මට්ටමකයි. නමුත් රෝගය වැළඳුනොත් එයින් ඇතිවන ප්‍රථිපලය සුළුවෙන් තකන්න බැහැ.
රෝග ලක්ෂණ
දරුවන්ට ඇතිවන මෙනින්ජයිටිස් තත්ත්වයේ දී සේම ගර්භණී කාන්තාවන්ට ද බොහෝවිට ඇතිවන්නේ එක සමාන රෝග ලක්ෂණයි. ඒවා පහත පරිදි පෙන්වා දෙන්න පුළුවන්.
- තද උණ
- නිදිමත ගතිය හා අලස බව
- හිසරදය
- වමනය
- හිරු එළිය දෙස බැලීමේ අපහසුව
- බෙල්ලේ කැක්කුම
- සමෙහි රතු හෝ දම් පැහැති පලු මතුවීම
- වලිප්පුව
- සිහිමද බව
- ඇස් පෙනීමේ දුර්වලතාවයක් ඇතිවීම
ගර්භණී සමයේ පළමු මාස තුන තුළ මෙනින්ජයිටිස් තත්ත්වයක් ඇතිවුවහොත් කලලයට එයින් හානියක් වීමට ඉඩ තිබෙනවා. නමුත් පසුව රෝගය වැළඳුණහොත් මුල් මාස තුනට සාපේක්ෂව කලලයට බලපෑම් කරන්නේ අවම මට්ටමෙන්. නමුත් එය නිශ්චිතව කිව නොහැකි වන්නේ ඒ ඒ පුද්ගලයාගේ ශරීර ස්වභාවය රෝගවලට ඔරොත්තු දීමේ හැකියාව හා ප්‍රතිශක්තිය එකිනෙකට වෙනස්වන නිසයි. මෙහිදි වඩාත් වැදගත් වන්නේ මවගේ ජීවිතය බේරා ගැනීම නිසා වඩාත් අවධානය යොමුවන්නේ මව වෙතයි.
රෝග නිර්ණය කිරීම
රෝග ලක්ෂණ මත රෝහල් ගතවන කාන්තාවක් මෙනින්ජයිටිස් තත්ත්වයෙන් පෙළෙනවාද යන්න පරීක්ෂා කිරීම සඳහා රුධිර පරීක්ෂණ සිදුකරනවා. මෙයට අමතරව ලම්බ පංච ප්‍රතිකාරය මඟින් රෝගය හඳුනාගත හැකියි. මෙම පරීක්ෂණයේ දී සිදුවන්නේ කොන්ද සිදුකර සුසුම්නා තරල බිංදු කිහිපයක් ලබාගෙන එහි ආසාදනයක් ඇත්දැයි පරීක්ෂා කර බැලීමයි. මෙය සාමාන්‍ය ව්‍යවහාරයේ දී “කොන්ද විදලා වතුර ගන්නවා” යනුවෙන් හඳුන්වනවා.
ප්‍රතිකාර ලබාදීම
පරීක්ෂණ මඟින් ප්‍රධාන වශයෙන් හඳුනාගන්නේ ආසාදනයට හේතු වන්නේ වෛරස්, බැක්ටීරියා හෝ දිලීර යන්නයි. ඒ අනුව හඳුනාගන්නා තත්ත්වයට ප්‍රතිකාර ලබාදෙනවා. බහුලව ඇතිවන්නේ බැක්ටීරියා හෝ වෛරස් මඟින් නිසා බැක්ටීරියා නම් ප්‍රතිජීවක ඖෂධ මඟින් තත්ත්වය පාලනය කරන්න පුළුවන්.
දරුණු රෝගයක්
මෙනින්ජයිටිස් යනු සුළුවෙන් තැකිය නොහැකි දරුණු අසනීප තත්ත්වයක්. නිසි ප්‍රතිකාර නොලැබීම මාරාන්තික රෝග ඇතිවීමට හේතුවක් වනවා. ඒ නිසා සාමාන්‍ය ප්‍රතිකාර ලබාගනිමින් නිවසට වී සිටීමෙන් රෝගය සුවකරගත නොහැකියි. යම් මවක් මෙනින්ජයිටිස් තත්ත්වයෙන් පෙළෙනවා නම් අනිවාර්යයෙන්ම රෝහල් ගතවී ප්‍රතිකාර ලබාගත යුතුයි.
මෙනින්ජයිටිස් තත්ත්වයට බලපාන හේතු
මේ සඳහා බලපාන ප්‍රධාන හේතුවක් වන්නේ මැද කණේ ආසාදනයි. එමෙන්ම ස්වසන මාර්ගයෙන් වෛරස් හෝ බැක්ටීරියා ඇතුල් වෙන්නත් පුළුවන්. මෙනින්ජයිටිස් තත්ත්වයට ප්‍රතිකාර ලබාගැනීමට යන විට “වතුරේ ගිලිලා නෑවඳ” යන්න වෛද්‍යවරුන් විසින් විමසන්නේ එලෙස නෑම මැද කණේ ආසාදන ඇතිවීමට බලපාන නිසයි. දියේ ගිලී නෑමෙන් කණට වතුර ඇතුල්විය හැකි අතර එය මැද කණේ ආසාදන ඇතිවීමට බලපානවා.
රෝගය වළක්වා ගැනීමට,
01.නිසි ලෙස එන්නත් ලබාගැනීම
මොළයට ඇතුළුවන සමහර වෛරස් වැළැක්වීම සඳහා එන්නත් ක්‍රම තිබෙනවා. පසුගිය වසර පහක කාලයක සිට මොළයේ උණ වැළැක්වීම සඳහා කුඩා දරුවන්ට එන්නත් ලබාදීමේ වැඩපිළිවෙලක් ජාතික ප්‍රතිශක්තීකරණ වැඩසටහන මඟින් ආරම්භ කළා. මෙයින් සමහර බැක්ටීරියා සඳහා ආරක්ෂාවක් ලබාගත හැකියි. ඒ නමුත් මෙවැනි රෝගී තත්ත්වයන්ගෙන් වැළකීම හා නිසි ප්‍රතිකාර ලබාගැනීම වඩාත් වැදගත් වනවා.
- පිරිසිදු වීම
නිවස තුළ හා ඉන් පිටත විෂබීජ රහිත පරිසරයක් සකසා ගැනීම වැදගත් වනවා. නෑමෙ දී ජලයේ ඇති නොයෙක් බැක්ටීරියා හා දිලීර ශරීරගතවිය හැකි නිසා ගර්භණී සමයේ පමණක් හෝ උණු කර නිවාගත් පිරිසිදු වතුර නෑම හා පානය වඩාත් සුදුසුයි.
- රෝග තත්ත්වයන් වළක්වා ගැනීම
නිතර කන් අමාරු සෙම් රෝග බහුල කෙනෙක් නම් ඒ පිළිබඳව අවධානය යොමු කිරීම වැදගත්. ගර්භණී සමයේ ඇතිවන කිසිඳු වෙනස්කමක් සුළුවෙන් තැකිය නොහැකි නිසා ඉහත රෝග ලක්ෂණ වලින් එකක් හෝ ඇතිවිට රෝහල් ගතවීමට මතක තබාගත යුතුයි.
මොළයට විෂබීජයක් ඇතුළු වීම ලේසියෙන් සිදුවන්නේ නැහැ. අපේ ශරීරය නිර්මාණය වී තිබෙන්නේ එවැනි විෂබීජවලට ඇතුළු වීමට පහසු නොවන ආකාරයෙන්. නමුත් ඉතාම කලාතුරකින් කෙනෙකුට එවැනි රෝගී තත්ත්වයන් ඇතිවිය හැකි නිසා ප්‍රවේශම් වීම වැදගත් වනවා.
සටහන චාපා හංසිනි ආටිගල
විශේෂඥ වෛද්‍ය ඉන්දික සේනාරත්න මහතා