නිරෝගි බුද්ධිමත් දරුවන් ලැබීම සහ තම දරුවන් නිරෝගීව බුද්ධිමත්ව සිටීම සෑම මවකගේම පියෙකුගේම බලාපොරොත්තුවයි. දරුවෙක් නිරෝගී සහ බුද්ධිමත් වීමට නම් ශාරිරිකව හා මානසිකව මෙන්ම සමාජීය වශයෙන් නිරෝගි විය යුතුයි. එසේම ලෙඩ රෝග වලට මුහුණ දීමට හොඳ ප්‍රතිශක්තිකරණයක් ශරීරයේ තිබිය යුතුයි. එම නිරෝගි බව ලැබෙන්නට මූලිකම හේතුව වන්නේ දරුවා ජීවත් වන පවුල් පරිසරයයි. එවැනි පවුල් පරිසරයක් නිර්මාණය කරගැනීම සඳහා දෙමව්පියන් දැන සිටිය යුතු කරුණු රාශියකි.
දරුවාගේ නිරෝගීකමේ මුලික අඩිතාලම මව්කිරිය. ඒ නිසාම දරුවාට අවදම වශයෙන් අවුරුද්දක් ගතවන තුරුවත් මව්කිරි ලබාදිය යුතුයි. ඒ අයුරින් මව්කිරි දිමෙන් මව සමඟ ඇතිවන සබැඳියාව, ආදරය, විශ්වාසය, රැකවරණය, ජීවිත කාලය පුරාවටම පූර්ණ, නිරෝගී, බුද්ධිමත් මිනිසෙක් බිහිකිරීමට හේතු වේ. එසේම දරුවාට ලබාදෙන ආහාර හා පාන වර්ග පිළිබඳව අවදානය යොමු කිරිම වැදගත්ම කාර්යයකි. හැකි තරම් ස්වාභාවික ආහාර පාන ලබාදීම කළ යුතු දෙයකි. සොසේජස් වර්ග, නූඩ්ල්ස්, මැකරෝනි, ස්පැගති, බුරියානි හා විවිධ රසකාරක වර්ග කෘතිම හා කලින් පිසින ලද ආහාර, කල් තබාගැනීමේ ද්‍රව්‍ය අඩංගු ආහාර, දරුවාට දීමෙන් ඔහු බෝ නොවන රෝග අවධානමට ලක්විය හැකියි.
ඒ වෙනුවට ඉන්නල, ගහල, රාජ අල, බතල වැනි අල වර්ග කොස්, පොළොස්, මඥ්ඥොක්කා, පලා වර්ග කෘමි නාශක යොදා නොමැති කෙසෙල් මුව, කෙසෙල්, දෙල්, කොහිල දළු, කොහිල අල, නෙළුම් අල, යනාදි එළවලු වර්ගත්, තල, කුරක්කන්, රටකජු, මුං ඇට, යනාදි විශ නැති ධාන්‍ය වර්ගත් නැවුම් පළතුරු, සුදු පැහැති මාළු වර්ග, තෝරා ලබාදිමෙන් ලැබෙන ප්‍රතිශක්තිය ජීවිත කාලය පුරාම පවතියි.
වෙළඳපලේ ඇති කෘතිම රසකාරක, වර්ණ කාරක යෙදු කිරිපිටිවලට වඩා දෙනුන්ගෙන් දොවාගන්නා ලද නැවුම් එළකිරි, එළු කිරි, බැටළු කිරි, මී ගව කිරි, දරුවාට ලබාදිය හැකිනම් එය ඉතාමත් ගුණදායක වේ. පිරිසිදු වතුර තරම් හොඳ පානයක් නොමැත. ඒ නිසා නිරතුරුව දරුවාට හොඳින් වතුර පානය කිරිමට සැලැස්වීම සුදුසු වේ. තේ, කෝපි, ආදිය දරුවාගේ ආහාර වේලේ තිබෙන යකඩ අවශෝෂණය සඳහා බලපාන නිසා එවැනි පානවර්ග හැකි තරම් ඉවත් කිරීම යෝග්‍ය වේ. කැෆේන් වර්ග, කෘතිම බීම, චොක්ලට් බීම, සුප් කැටවලින් සෑදු බීම වර්ග, දරුවාට ලබාදීම සුදුසු නැත. ඒ වෙනුවට ඔබ විසින් පිළියෙල කරන ලද බැඳි හාල් කැඳ, විළඳ පොරි කැඳ, සව් කැඳ, කුරක්කන් කැඳ, ඖෂධීය තේ වර්ග, කුඩා කාලයේ සිටම පානය කිරීමට දරුවා හුරුකරවිය යුතුය.
දරුවන්ගේ බුද්ධි වර්ධනය සඳහා ගොටුකොළ, මුකුණුවැන්න, ලුනුවිල කොළවලින් සාදන ලද මැල්ලුම් සහ සලාද හෝ කොළ කැඳ වර්ග සහ එම කොළ වර්ග තැම්බු වතුර ලබාදීම වඩාත් වැදගත් වේ.
දරුවා කුඩා කාලයේ පටන්ම ප්‍රායෝගික ජීවිතයක් ගත කරන, මානසික වශයෙන් සමෘද්ධිමත් දරුවෙකු බවට පත්කිරීමේ අඩිතාලම සකස් කළ යුත්තේ ද නිවසින්මයි. ඒ සඳහා නිවසේදී දරුවා සමඟ යහපත් වචන කතා කිරීම, පවුලේ අය, නෑදෑයින් පමණක් නොව අසල්වැසියන් සමඟ ද හොඳින් ගණුදෙනු කිරීමේ පුරුද්ද ආදර්ශයෙන් ලබාදීම සුදුසු වේ.
දරුවා හැකි තරම් පොතපත කියවීමට යොමු කිරීමත් ඒ සඳහා හැකිනම් කුඩා පොතු ගුලක් සකසා දිමත් අපූරුය. එයට දරුවාට කියවීමට වඩාත් සුදුසු පොත් පත්, සඟරා, ගෙනවිත් තැබිය හැකිය. එසේම ස්මාර්ට් දුරකථන, රූපවාහිණි තිරය වෙනුවට පොත් පත්තර සඳහා දරුවා හුරු කරවීම බුද්ධිමත් දරුවෙක් නිර්මාණය කිරීමට වඩාත් යෝග්‍ය වේ. වීඩියෝ ගේම් වෙනුවට දරුවාට වෙනත් විනෝදාංශ හුරුකරවිය හැකිය. මල් වැවීම, එළවළු වැවීම, මුද්දර එකතු කිරීම, පරණ කාසි එකතු කිරීම, චිත්‍ර ඇඳීම, අත්වැඩ ආදිය හුරු කිරීම මඟින් දරුවාගේ බුද්ධි වර්ධනය සඳහා අඩිතාලම සැකසිය හැකියි.
දෙමව්පියන් දරුවාගේ මුළු ලෝකයම බව රහසක් නොවේ. ඒ නිසාම ඉවසීමෙන් හා සාවධානව දරුවාට සවන් දීමට මව්පියන් කටයුතු කළ යුතුයි. එයින් දරුවාට දෙමව්පියන් පිළිබඳව විශ්වාසයක් ගොඩනැගේ. අනාගත ජීවිතයේ මුහුණ දීමට සිදුවන ප්‍රශ්න සහ ගැටළු වලදී යහළුවන්ගෙන් උපදෙස් ලබාගැනීම වෙනුවට දෙමව්පියන් වෙත පැමිණීමට දරුවා උනන්දු වන්නේ එවිටයි. ප්‍රශ්න අසමින් ඉගෙන ගන්නා දරුවා තුළ බුද්ධිය, නිර්මාණශීලි බව සහ හැකියාවන් වර්ධනය වේ.
එසේම ස්වාභාවික පරිසරයට දරුවා සමීප කරවීම වඩාත් වැදගත් කාර්යයකි. එයින් දරුවා තුළ සොබාදහම පිළිබඳ බැඳීමක් ඇතිවේ. වැස්සට, පින්නට, අව්වට හුරුවක් ඇතිවේ. එයින් සාමාන්‍ය ස්වාභාවික සංසිද්ධිවලට මුහුණ දීමට හැකියාව ලැබේ. විවිධ මල් වර්ග, ගස් කොළන් හඳුනාගැනීමට හුරුවක් ඇතිකරගනියි. එසේම ගසට වැලට සතා සිව්පාවාට ආදරය කරන සංවේදී දරුවෙක් බිහිවේ. දරුවාට අහිතරක නොවන ඕනෑම යහපත් දෙයක කුඩා කළ පටන් යොමු කිරීම වැදගත් කාර්යයකි. ආහාර පාන වර්ග ලැබුණු විට පවුලේ අය සමඟ බෙදාගැනීම, එයින් කොටසක් සතෙකුට ලබාදීම වැනි යහපත් ක්‍රියා සඳහා දරුවාව පුහුණු කිරීම ද වැදගත් වේ.
කුඩා කළ සිටම දරුවාට මත් ද්‍රව්‍ය හා දුම්වැටිවල ආදීනව කියා දීම, මෙන්ම ආදර්ශයෙන් එවැනි සමාජ විරෝධි ක්‍රියාවලින් වැලකී සිටීම දෙමව්පියන්ගේ වගකීමකි. වායුසමීකරණ වලට දරුවා හුරු කිරීමෙන් ප්‍රතිශක්තියට හානිවිය හැකි නිසා සාමාන්‍ය කාමර උශ්නත්වයට දරුවා හුරුකරවිය හැකියි. වෛරය, ක්‍රෝධය, තරහව නොමැති, අන් අය සමඟ සුහදව කටයුතු කළ හැකි දරුවෙක් නිර්මාණය කිරීම දෙමව්පියන්ගේ වගකීමක් ලෙස පෙන්වාදිය හැකියි.
සටහන අරුණි ජයසේකර
ආයුර්වේද වෛද්‍ය
චමිලා කුමාරි කළුතන්ත්‍රි