free stats

දරුවන් බහ තෝරන කාලෙයේදී මෙන්ම පියවර ඔසවන කාලයද දෙමාපියන් දැඩිලෙස ඇලුම් කරන කාලයක් විශේෂයෙන් මව්වරුන්ට මෙම කාලය ඉතාමත්කාර්යබහුලයි. පැටියා පියවර ඔසවන කාලයේදී වැටීම් සුළු සුළු තුවාල වීම් හැඩීම් වලින් නම් අඩුවක් නැහැ. අමාරුවෙන් පියවර ඔසවන සිගිත්තා සෙල්ලම් කරන්න එහෙමත් නැතිනම් කිසියම් ක්‍රියාකාරකමක් කරන්න බිම ඉදගන්නවා. දරුවන්ගේ මේ ඉදගැනීමේ ඉරියව් ඇතැම් විට දරුවන්ට විවිධ විකෘතිතා ඇතිකරන්න හේතු වෙනවා. කුඩා දරුවන් අතර පවතින සුළභ රෝගී තත්ත්වයක් වන්නේ පාදවල දණහිස් එකට ගැටීමයි. නැතහොත් ් ”නොක් නී” ලෙස හදුන්නේද අපි මේ විකෘති තත්ත්වයයි. වෛද්‍ය විද්‍යාවේ මෙම තත්ත්වය ජීනු වැල්ගස් ලෙස හදුන්වනවා.

දරුවා සිටගත් විට දණහිස් දෙක එකට ගැටෙනවා නම් හා වළලු කර අතර පරතරය අගල් 3ට වඩා වැඩිනම් එය ජීනු වැල්ගස් ලෙස හදුන්වනවා. මෙහිදී බොහෝ විට ශරීරය තුළට දණහිස් සන්ධිය හැරී පවතීනවා. බොහෝ කුඩා දරුවන් අතර මේ විකෘතිතා තත්ත්වය දකින්න පුළුවන්. ඔවුන් වයස අවුරුද 5ක් පමණ වන විට ප්‍රතිකාරයක් නොමැතිවම සාමාන්‍ය තත්ත්වයට පත්වෙනවා. එහෙත් සුළු ප්‍රතිශතයකට විතරක් ප්‍රතිකාර අවශ්‍යවෙනවා.

දණහිස් එකට ගැටීමට හේතුව ලෙස අධික ස්ථූලභාවය දණහිසේ ආතරයිටිස් ඇතිවීම විටමින් ඩී සහ කැල්සියම ඌණතාව දණහිසට වන අනතුරු සහ ආසාදන වගේ තත්ත්වයන් බව වෛද්‍යවරුන්ද සදහන් කරනවා.

ළදරු කාලේ සමහර දරුවන් බිම ඉදගන්න විට දණහිස උඩ ඉදගන්නවා ඔබ දැක ඇතිනේද? ඒත් එක්කම හුගාක් දරුවන් ”උ” අකුර ආකාරයට දෙපා පිටුපසට දමා ඉදගන්නවා. මෙහිදී සිදුවෙන්නේ දරුවන්ගේ ඛන්ඩතී ඇදී දණහිස ශරීරය තුලට නැඹුරුවෙනවා. මේ නිසා කුඩා දරුවන්ගේ ක්‍රියාකාරකම් හා ඔවුන්ගේ ඉරියව් පිළිබදව නිතරම දෙමාපියන් සිය අවදානය යොමුකළ කරන්න ඕනේ.

දරුවාව ඉක්මනින් ලොකුමහත් කර ගැනීමට දෙමාපියන් කවුරුත් කැමතිය. ඒ නිසාම දෙමාපියන් බොහෝ දෙනෙකු කරන පුරුද්දක් තමයි දරුවා ඇවිදීමට පෙර බලෙන් ඇවිද්ද වීම. මෙසේ දරුවාව බලෙන් සිටවා තැබීම වෝකර්වල දැමීම වැනි හේතු නිසාද දණහිස් අස්ථාවර වී විකෘතිතා ඇතිවෙනවා. හුගාක් අම්මලා තමන්ගේ වැඩ පහසු කර ගැනීමට දරුවාව වෝකරයක දමනවා. ඒත් එයින් දරුවාගේ දණහිස්වලට යම් විකෘතියක් ඇතිවෙයි කියලා දන්නවා නම් කීයටවත් අපේ අම්මලා ඒ දේ කරන්නේ නැහැ.

දණහිසේ සිදුවන මෙවැනි විකෘතිතා අපගේ ශරීරයේ බර වැටෙන රේඛාව වෙනස් වන නිසා පාදයේ යටි පතුලටද බලපෑම් ඇති කරනවා.බොහෝ විට පතුලේ ලොකු ඇගිල්ලේ ඇති දාරය පොළොවට බර වී පිහිටනවා” එය ඊවර්ටඩ් ෆුට් ලෙස හදුන්වනවා. මේ තත්තවය නිවැරදි කර පාදය පොළවට සමව තබා ගැනීමට සපත්තුවේ ඇතුළු දාරයට අඩසදක් සේ කුඩා නෙරුමක් පළදින්න භෞතචිකිත්සකවරුන් නිර්දේශ කරනවා. මෙමගින් සිදුවෙන්නේ පතුලේ විකෘතියට වගේම දණහිස් සන්ධිය ශරිරයෙන් පිටතට තල්ල කිරීමක්.

ශරිරයේ බර වැටෙන රේඛාව වෙනස් වන නිසා දණහිස් සන්ධිය වගේම වළලු කර සන්ධියත් රිදුම් දීමක් පසු කාලයේදී ඇතිවෙන්න පුළුවන්. ඒවගේමයි පාදය ඇද්දවීමක් හෝ කොර ගැසීමක් දරුවා තුලින් දැකින්න හැකිවෙනවා. මෙම තත්ත්වය සුව කර ගැනීමට වෛද්‍යශල්‍ය ප්‍රතිකාර වගේම භෞත චිකිත්සක ප්‍රතිකාර තියෙනවා. එහෙම සුවයක් ලබා ගන්න බැරිනම් මාංශපේශී ශක්තිමත් කරන ව්‍යායාම සහ මාංශපේශී නිවැරදි කරන ව්‍යායාම මගින් සුවකර ගන්න පුළුවන් වෙනවා.

දණහිස්වල මෙවගේ විකෘතිතා පවතින අයට පන්දුවකට පයින් ගැසීම බයිසිකල් පැදීම වගේ ව්‍යායාම නිර්දේශ කරන්න පුළුවන්. ඒ කොහොම නමුත් ඔබේ සිගිත්තාගේ ක්‍රියාකාරකම් පිළිබදව ඔබ ඔබ හොද අවදානයෙන් පසු වන්නේ නම් ඉතා ලෙහෙසියෙන් හා පහසුවෙන් වලක්වාගත හැකි මෙවැනි විකෘතිතා හා ආබාධ තත්ත්වයන් මුළුමනින්ම වළක්වා ගන්න පුළුවන්. එහිදී දරුවාට අනතුරක් හෝ වේදනාවක් හෝ අවලස්සන පෙනුමක් හෝ ශාරිරික අපහසුවක් කිසිවිටෙකත් නොදැනේ. අපේ බොහෝ අම්මලා තමන්ගේ වැඩ කටයුතු කර ගැනීමට දරුවාට රැකබලා ගැනීමට ඉතා පහසු හා ලෙහෙසි ක්‍රම භාවිත කරනවා. මෙයින් සිදුවෙන්නේ දරුවාගේ ජිවිතයට අයහපතක් මස යහපතක් නොවේ.

ජාලිය උඩුවැල්ල
භෞතචිකිත්සක අධිකාරි
රිජ්වේ ආර්යා ළමා රෝහල
කොළඹ


සටහන- ශ්‍රියානි විජේසිංහ