ඔබගේ ළදරුවාගේ කායික වර්ධනය පිළිබඳව ඔබ උත්සුක වෙනවා හා සමගම ඔබ ඔබගේ දරුවාගේ මානසික වර්ධනය ඒ නියමිත වයස්වලදී නිසි ආකාරයෙන් සිදුවෙනවාදැයි දැනගන්නේ කෙසේද? මානසික වර්ධනය (සංවර්ධනය) හරි ආකාරයෙන් සිදුවෙනවා නම් එම දරුවා ස්වාධිනත්වය කරා යන ගමනේදී ක්‍රම ක්‍රමයෙන් යම් ක්‍රියාකාරකම් කරන්න පටන් ගන්නවා. උදාහරණ වශයෙන් ඔබගේ ළදරුවා කතා කරන්නේ ඇවිදින්නේ කුමන වයස්වලදී ද යන්න ඔබ දැනුවත්වීම අත්‍යවශ්‍යයි. දරුවකු වර්ධනය වීමේදී ස්වාධිනව
ඉඳගන්න, ඇවිදින්න, කන්න, කතා කරන්න වැනි ක්‍රියාකාරකම්වලින් නිපුණ වන එක් එක් කාල පරිච්ඡේද තිබෙනවා. එවැනි වැදගත් ක්‍රියාකාරකම්වලට හැකියාව ඇතිවීම මානසික වර්ධනයේ පිය සටහන් යැයි හැඳින්වෙනවා.
දරුවකුගේ මෙවැනි ක්‍රියාකාරකම් නිසි වයසේදී සිදුවෙනවාද, නැතිනම් ප්‍රමාදයක් තිබෙනවාද යන්න ඔබට දැනගත හැකි වන්නේ ඒ කරුණු ගැන ඔබ දැනුවත් වුනොත් පමණයි. එවිටයි ඔබට, ඔබගේ පවුල් සෞඛ්‍ය නිලධාරිනියට හෝ ඔබගේ වෛද්‍යවරයාට දන්වන්න හැකිවෙන්නේ. මෙවැනි ක්‍රියාකාරකම් කිරීමට කිසියම් ප්‍රමාදයක් තිබෙනවා නම්, සමහරවිට මුලින්ම එය ප්‍රමාද වීමට හේතුව හඳුනාගැනීමෙන් නිසි ප්‍රතිකාර ලබාදී එමගින් ඇති විය හැකි සංකූලතා අවම කළ හැකියි.
උදාහරණ වශයෙන් ඔබගේ දරුවා කතාවට ප්‍රමාද නම් සමහරවිට එය ඇසීමේ දුර්වලතාවයක් නිසා විය හැකියි. ඇසීමේ දුර්වලතාවය නිසි අයුරින් ප්‍රතිකාර කළොත් එම දරුවාට සාර්ථකව කතා පුහුණුවට යොමු කොට එම දරුවා සාමාන්‍ය පුද්ගලයෙක් හැටියට සාර්ථකව සමාජ ගත කළ හැකියි. ඔබගේ දරුවා හිස කෙලින් කරන්න, ඉඳගන්න, ඇවිදින්න ප්‍රමාද වෙනවා නම් එය දරුවාගේ ස්නායු පද්ධතියේ හෝ මාංශ පේශීවල යම් ආබාධයක් විය හැකියි. සමහර රෝග මුලින් හඳුනාගෙන නිසි ප්‍රතිකාර ලැබෙනවා නම් රෝගය සම්පූර්ණයෙන්ම සමහර විට සුව කළ හැකියි.
ඉතින් ඔබගේ ළදරුවාගේ මානසික වර්ධනයේ පිය සටහන් ගැන සැලකිලිමත් වෙන්න අවශ්‍ය වන්නේ ඇයි කියා දැන් වඩා පැහැදිලි ඇති.
මේ පිළිබඳව දැනුවත් වෙන්න ඔබ, ඔබගේ දරුවාගේ සෞඛ්‍ය වර්ධන සටහන හොඳින් කියවා ඒ වගු නියමිත කාලවලදී පුරවා කිසියම් ප්‍රශ්න තිබෙනවා නම් පවුල් සෞඛ්‍ය නිලධාරිනියට දන්වන්න.
දරුවෙකුගේ උපතේ සිට මුල් අවුරුදු 5 දක්වා මානසික වර්ධන පියවර (අපේක්‍ෂිත සංවර්ධනය) එම සෞඛ්‍ය වර්ධන සටහනෙහි අඩංගුයි. සාමාන්‍යයෙන් එම ක්‍රියාකාරකම් කාණ්ඩ හතරකට වෙන් කිරීමක් සිද්ධවෙනවා. මෙලෙස කාණ්ඩ හතරකට දැමීමෙන් සමහර අන්‍යෝන්‍ය ක්‍රියාකාරකම් එකතු කිරීමක් සිද්ධ වෙනවා.
උදා:
- ඇසීම හා කතාව
- පෙනීම සහ අත්වල සියුම් ක්‍රියාකාරකම්
- චලනයට සහ ඉරියව්වලට වැදගත් ක්‍රියාකාරකම්
- තම ස්වාධීනත්වයට (එනම් දෛනික ක්‍රියාකාරකම්) සහ සාර්ථකව සමාජගත
වීමට අවශ්‍ය නිපුණතාවය
ඇසීම සහ කතාව
ඔබගේ දරුවාගේ කන් ඇසෙනවාද කියා ඔබට උපතේ සිටම නීරික්‍ෂණය කළ හැකියි. එනම් හදිසි විශාල ශබ්දයකට දරුවා තිගැස්සෙනවාද සමහරවිට දරුවා මවගේ දරු නැලවිල්ලට හෝ මවගේ කටහඬට හැඬීම නතර කර සුවසේ නිදාගන්න පෙළඹෙනවා. එමගින් අපට දරුවාගේ කන් ඇසෙන බවට ඉඟියක් ලැබෙනවා. ගර්භාෂයේ සිටින අවධියේදී දරුවා මවගේ කටහඬ හොඳින් හඳුනනවා. මාස 4 වැනි වයසකදී මව නොපෙනීම, මවගේ කටහඬට ප්‍රතිචාරයක් ලෙස සිනාසෙන්න හෝ හිස හෝ ඇස් දෙක හරවා බලන්න හැකියාව තිබෙනවා.
පෙනීම සහ අත්වල සියුම් ක්‍රියාකාරකම් කිරීමේ නිපුණතාවය
අලුත උපන් දරුවකු දීප්තිමත් ආලෝකයකදී ඇස් තදින් වසා ගැනීම සහ තම මව දෙස තත්පර කිහිපයකට බැලීමේ හැකියාව තිබෙනවා. මව්කිරි දෙන සෑම විටම දරුවාගේ ඇස් ඔබේ ඇස් වලට හසුකරගන්න උනන්දු වන්න. එය කිරීමෙන් දරුවාගේ මානසික වර්ධනය දියුණු කිරීමට හැකිවෙනවා. දරුවා අන් අයෙකු සමග සන්නිවේදනය වන ප්‍රථම පියවර ඔබ දරුවාට හඳුන්වා දෙනවා. ඔබ දරුවා සමග නිතර සිනාසේ නම් දරුවා සති 4-6 ක වයසකදී ප්‍රතිචාරාත්මකව ඔබ හා සිනාසෙන්න පටන් ගන්නවා. මාස 2 කදී පමණ දරුවාගේ ඇස් දෙක එකට චලනය වෙනවා ඔබට නිරීක්‍ෂණය කළ හැකියි. මාස 6 පමණ වන විටදී දරුවා විමසිල්ලෙන් හිස හරවා අවට බලන්න පටන් ගන්නවා. මාස 3-4 ක පමණ වයසේදී ඉතා උනන්දුවෙන් ඔහුගේ හෝ ඇයගේ අත් දෙක දිහා බලනවා සහ අත් දෙකම කට ඇතුලට දමනවා. තම අත් දෙක තමාගෙ මුල්ම සෙල්ලම් බඩුවයි. ඔබ එම සෙල්ලම දරුවාට ඔහුගේ අත් දෙක සමග කිරීමට ඉඩදෙන්න. එය එක්තරා ක්‍රියාකාරකමක්. අතට හසුවෙන සෑම දෙයක්ම කටින් ඔවුන් හඳුනාගන්නවා. මාස 6 කදී පමණ දරුවකු ඉදිරියෙන් තිබෙන සෙල්ලම් බඩුවක් අත් දෙකම ඉදිරියට ගෙනැවිත් ඒ දෙය අල්ලා ගන්න උත්සහ කරනවා. ඒ වයසේදී එක් අතක් පමණක් දරුවා වැඩිපුර භාවිත කරනවා නම් එය වහාම වෛද්‍යවරයකුට දැන්විය යුතුයි. එය අසාමාන්‍ය තත්ත්වයක්. මාස 6 සිට 9 දක්වා එක් අතකින් අනික් අතට යම් දෙයක් මාරු කරයි. මාස 9 සිට 12 දක්වා මහපටඟිල්ල සහ දබර ඇඟිල්ල ආධාරයෙන් කුඩා දේවල් අල්ලා ගනී. මාස 12 දී නොයෙක් දේවල් දෙසට අත දිගු කොට ඒවා ඉල්ලන්න උත්සහ ගන්නවා.
චලනය සහ ඉරියව්වලට වැදගත් ක්‍රියාකාරකම
මාස 3 සිට 6 දක්වා මුනින් අතට සිටින විට හිස සහ පපුව ඉහළට ඔසවයි. මාස 6 සිට 9 දක්වා උඩු අතට වැතිර සිටින විට හිස ඔසවයි. මාස 9 සිට 12 දක්වා උදව් නැතිව හිඳගනී. තනිව අල්ලාගෙ සිට ගනියි. මාස 12 සිට 18 දක්ා උදව් නැතිව තනිවම ඇවිදින්න හැකියි.
දෛනික ක්‍රියාකාරකම් සහ අන් අය සමග ඇසුරු කිරීමේ නිපුණතාවය
ළදරුවකු තමාගේ දෛනික ක්‍රියාකාරකම් උදාහරණ ආහාර ගැනීම, මල මුත්‍රා කළ පසුව තම ශරීරය පිරිසිදුව තබාගැනීම, ඇඳුම් සහ පාවහන් ඇඳ ගැනීම වැනි නොයෙකුත් ක්‍රියාකාරකම් කිරීම සඳහා සම්පූර්ණයෙන්ම තම දෙමාපියන් හෝ තමාට රැකවරණය දෙන අය මත යැපෙන්න සිද්ධ වෙනවා. නමුත් මුල් අවුරුදු කිහිපය පසු කළ පසු ඒ දේල් තනියම කරගන්න පුරුදු වෙනවා. දෙමාපියන් වශයෙන් දරුවකුට තමාගේ දෛනික ක්‍රියාකාරකම් තනිවම කරන්න පුරුදු කළ යුතුයි. මාස 9 පසු කළ දරුවකුට මෘදු :ිදඓ* ආහාරයක් (හොඳින් ඉදුණු කෙසෙල්) අතේ තිබූ විටදී තනිවම ඒ ආහාරය අනුභව කිරීමට පෙළඹවෙනවා. අවුරුද්දකට පසුව දරුවා කන ආහාර වේල තනිවම කන්න උනන්දු කරන්න. එවිට අවුරුදු 3 සිට 4 පසු කළ විටදී තනිවම ආහාර ගැනීම, තනිවම ඇඳුම් ඇඳ ගැනීමට පුළුවන් වේ.
සමාජයේ අන් අය ඇසුරු කිරීමේ නිපුණතාවය
දරුවකු උප්පත්තියේ සිටම තම වටපිටාවේ අය සමග ඇති කරගන්නා සම්බන්ධතාවය ඒ දරුවාගේ වැඩිමහල් වියට පත් වූ විට සමාජයේ හැසිරෙන ආකාරය සහ එම දරුවාගේ පෞරුෂත්වය කෙරෙහි ඉතාමත් තදින් බලපානවා. එම නිසා දෙමාපියන් වශයෙන් ඒ ගැන දැනුවත් වීමෙන් දරුවාගේ පෞරුෂත්වය වර්ධනය කර දරුවාට සාර්ථක ජීවිතයකට අඩිතාලම ලබාදෙන්න පුළුවන්.
දරුවාගේ මුල් අවුරුද්ද ගෙවෙන්නේ දරුවාට සමීපම අය සමගයි. එනම් තම මව, පියා සහ නිවසේ සිටින අනෙක් අය සමගයි. ඉතින් මුල් අවුරුද්දේ ඒ අයගෙන් දරුවා ලැබිය යුතු ප්‍රධානම දේ ආදරය සහ රැකවරණයයි. එවිට ඒ ලැබෙන සුරක්‍ෂිතභාවය දරුවාගේ මානසික සහ චිත්ත :ැපදඑසදබ්ක* වර්ධනයටත් ඉතාමත් බලපානවා.
උදාහරණ වශයෙන් මව තම දරුවාට කිරි දෙන සෑම අවස්ථාවේම දරුවා සමග සිනාසෙන්න, කතා කරන්න, ආදරයෙන් හිස පිරිමදින්න. එවිට දරුවා ඉක්මණින්ම මව වෙත ප්‍රතිචාර දක්වාවි. සති 6 කදී පමණ තම මව සමග ප්‍රතිචාරාත්මකව සිනාසෙයි. මාස 12 ක දරුවකු තමන් හඳුනන පුද්ගලයින් දුටු විටදී ඔවුන් සමග සිනාසී නොහඳුනන පුද්ගලයින් දුටු විටදී හඬයි. ඒ දරුවාට නොහඳුනන පුද්ගලයින් ගැන වැටහීමක් තිබෙනබව එයින් ඔප්පු වේ.
දෙමාපියන් දරුවන් සමග නිතර කතා කිරීමෙන් සහ සෙල්ලම් කිරීමෙන් ආදරය දැක්වීමෙන් සමාජීය සම්බන්ධතාවයන් ඇති කර ගත හැකි දරුවකු ඇති වේ.
අවුරුද්දක් පමණ වූ විට තමන් කැමති දෙයකට ඇඟිල්ල දික් කර ඒ දෙය තම මවට පෙන්වීමට දරුවා උත්සහ ගන්නවා. මෙය ඉතා වැදගත් නිපුණතාවයක්. කෙනෙක් දරුවාට කතා කළ විටදී ඒකෙනාගේ ඇස් දෙක දිහා දරුවා හොඳින් බලනවා නම් ඒ දරුවා සමාජයත් සමග සම්බන්ධ වෙන්න කැමතියි.
ඕටිසම්
නැමැති මොළයේ රෝගී තත්ත්වයකින් පෙලෙන දරුවන් තම අවට සමාජය සමග සහ සම්බන්ධතාවයක් ඇති කිරීමේ හැකියාව ඉතා දුර්වලයි. ඔවුන්ගේ කතාවත් ප්‍රමාදයි. මෙම තත්ත්වය වේලාසනින් හඳුනාගතහොත් නිසි ප්‍රතිකාර කොට ඇතිවෙන සංකූලතා යම් දුරකට අවම කළ හැකියි.
වයස අවුරුද්ද පසු වූ විට දරුවා තමාගේ සමීපම අය සමග ඉතාමත් කිට්ටු සම්බන්ධතාවයක් ගොඩනඟා ගැනීමට පුළුවන. ඒ වයස වෙනකොට තමාට ආදරය දක්වන අයට තම ආදරය පෙරලා ප්‍රකාශ කිරීමට එනම් මව සිප ගැනීමට, අත් දෙකෙන් මව බදාගැනීම වැනි දේට නිපුණතාවයක් දක්වනවා. නොහඳුනන අය වෙත යෑමට මැලිකමක් දක්වනවා. ්මඑසිප :ඕටිසම්* තත්ත්වය තිබෙන දරුවන් මෙවැනි නිපුණතාවයන් දක්වන්න මැලිකමක් දක්වනවා. අවුරුදු 3 පමණ වයසැති දරුවන් සමවයසේ දරුවන් සමග සෙල්ලම් කිරීමට කැමැත්ත දක්වනවා.
වෛද්‍ය ප්‍රියන්ති මොල්ලිගොඩ
ළමා රෝග විශේෂඥ
ලංකා හොස්පිට්ල්ස්