පංචායුදය පැළදීමේ සංස්කෘතිය ආයුධ පිළිබඳ ඉතිහාසය තෙක්ම දිවයනවා. මානව ඉතිහාසයේ ආයුධ පිළිබඳව ප්‍රථම සාක්‍ෂි හමුවෙන්නේ දඩයම් යුගයෙනි. ආහාර සොයා ගැනීම සඳහා සතුන් ඝාතනය කිරීමට විවිධ ආකාරයේ ආයුධ සකසා ගැනීමේ කාරණය වඩාත් සාර්ථක වන්නේ යපස් නිධි සොයාගැනීමත් සමඟයි. යපස් උණු කිරීමෙන් විවිධ ආයුධ සකසා ගැනීමට මිනිසා ඉන් අනතුරුව අවධානය යොමු කළේ ය. මේ ආයුධ විවිධත්වයෙන් යුතුව නිෂ්පාදනය වන්නේ යුධකාමී මානසික මට්ටමක් සහිත වකවානුවකයි. ඒ අනුව කඩුව, දුන්න, ඊතලය හා පළිහ(පාරාවළල්ල) උපයෝගී කරගත් බවට ඉතිහාසය සාක්‍ෂි දරයි. යම් රජෙකු යුද්ධයක් ජයගත් විට ඒ බව සනාත කරමින් ජයග්‍රහනය සැමරුවේ හක් පිඹීමෙනි. ඒ අනුව හක් ගෙඩිය ද ආයුධයක් වශයෙන් භාවිතා විය. මේ සියලුම ආයුධ පංචායුධය සඳහා භාවිත කර ඇති බවට පහත කවිය නිදසුන් සපයයි.
සක මුගුරු ද
කඟ දුනු බලයද ආයුධ
කොටා රන් පතෙහි
අමුනමින් රන් හුයෙහි මන නද
හක් ගෙඩිය මුගුර, කඩුව, දුන්න සහ පාරා වළල්ල යන ආයුධ පහක රන් පතක කැටයම් කොට රන් දම්වැලක් අමුණාගෙන සකස් කර ගනියි. අතීතයේ ගැබ් ගත් මව්වරුන් ද පංචායුධ පළදා ඇතිබව යාග ශාන්ති කර්ම වලින් කියවේ. ඒ බව පහත කවියෙන් පැහැදිලි කරගත හැකිය.
බාල ග්‍රහ දුරුවෙන
දමමින් පිරිත් මතුරන
දින සුබ මොහොතකින
නැබට වැටෙනා ගෙලෙහි පළදින
මේ ආකාරයෙන් පංචායුධයක් සකස් කරගෙන සුබ දිනක සුබ මුහුර්තියක පිරිත් කර සියළු නක්‍ෂාත්‍රානුකූලව නාබියට වැටෙන තෙක් දිගින් පැළදිය යුතු බව මෙම පැරණි කවියෙන් පැහැදිලි වේ. මෙසේ කිරීමෙන් බලාපොරොත්තු වී ඇත්තේ බාලගිරි නම් යක්‍ෂයාගෙන් ගැබිනි බව මෙන්ම දරුවා ආරක්‍ෂා කරගැනීමයි. පැරණි බෞද්ධ කතා ඇසුරෙන් කියවෙන පංචායුධ කතා වස්තුව මෙයට ප්‍රබල සාක්‍ෂි සපයයි.
පංචායුධ නම් කුමාරයෙක් සිප් සතර හදාරා අවසානයේ තම උපන් රට වෙත යාමට පිටත් විය. ගමන් මඟ ඇතිවු වෙහෙස නිසා ගසක් යට නිදා සිටින විට කුමාරයා විශාල ගසක් යටට වී නිදා සිටියේය. එම අවස්ථාවේ ගසට අධිගෘහිත යක්‍ෂයා පැමිණ කුමාරයා මරා මස් ආහාරයට ගැනීමට සූදානම් විය. මේ අවස්ථාවේ කුමාරයා යක්‍ෂයා වෙත ඉල්ලීමක් ඉදිරිපත් කළේ ය.
ඔබ මා මරා ආහාරයට ගැනීම මට ගැටළුවක් නොවේ. නමුත් මගේ සිරුරේ ආයුධ පහක් තිබෙනවා. ඒවා ඔබේ සිරුරේ ඇනී ඔබට හානියක් සිදුවෙන්න පුළුවන්.
යක්‍ෂයා මෙයින් බියට පත් වු අතර කුමාරයාගේ ජීවිතයට කිසිඳු හානියක් සිදුනොවුණි. මේ නිසා එතැන් පටන් පංචායුධය පැළඳීම සිරිතක් බවට පත්විය.
පංචායුධයේ සංකේත මොනවද?
පංචායුධයේ ආයුධ වර්ග පහක් ඇතුළත් වේ. මෙම ආයුධ නම්,
ජය සංඛය හෙවත් හක් ගෙඩිය
සශ්‍රිකත්වයේ සංකේතයක් ලෙස සැලකේ. දෙවියන්ට ආරාධනා කිරීමේ දී හක්ගෙඩිය පිඹිම සිදු කරයි. හින්දු දේව කථාවලට අනුව විශ්ණු දෙවියන්ගේ කිරි මුහුද කළඹන විට හමුවුණු අනර්ඝ වස්තු අතරින් එකක් ලෙස හක්ගෙඩිය සැලකේ.
චක්‍රය
සටනක දී ආරක්‍ෂාවට මෙන්ම ප්‍රතිප්‍රහාර එල්ල වීම වළක්වාගැනීම භාවිත කරයි.
මුගුර
ආරක්‍ෂාව වෙනුවෙන් වැදගත් වන ආයුධයකි.
දුන්න
සතුන් දඩයමට මෙන්ම ආරක්‍ෂාව අරමුණු කරගත් ආයුධයකි.
කඩුව
සටන් බිම ප්‍රධාන ආයුධයකි. රාජ්‍යත්වයේ දී කඩු ශිල්පය පිළිබඳ රජු ලබා ඇති හැකියාව මත රජතුමාගේ වටිනාකම තීරණය වේ.
පංචායුධයක් තැනීම
මෙය සිදුකරන්නේ බිළිඳු දරුවා උපන් දවසේම හෝ උපත ලබා පස්වන දිනයෙන් පසුවයි. එහිදී පිරිමි දරුවෙක් සඳහා මදටිය ඇටයක ප්‍රමාණයෙන් රත්‍රන් ද ගැහැනු දරුවෙක් සඳහා ඉන් භාගයක් බරට රත්‍රන් ද යොදාගනු ලබයි. සමහර ප්‍රදේශවල නම් පංචායුධය පැළඳවීමට පෙර නිසි පිළිවෙත් සහ චාරිත්‍ර රැසක් ඉටු කරයි.
පංචායුධය පළඳවන්නේ කෙසේද
පංචායුධයක් පැළඳවීම සිදුකළ යුත්තේ දරුවා උපන් වෙලාවට අනුව සුබ නැකැත් වේලාවක් බැලීමෙන් අනතුරුවයි. මෙම ආභරණය සුවඳ පැනින් නාවා ආශිර්වාද කරමින් ගෙලෙහි හෝ ඉණෙ හි පැළඳීම සිදුකරයි.
පංචායුධය පැළඳවීමේ දී මේ ගැනත් සිතන්න
පංචායුධයක් පැළඳවීමෙන් අප බලාපොරොත්තු වන්නේ ආරක්‍ෂාවයි. අතීතයේ සිට පැවත එන්නක් වුවත් හොඳ යැයි සම්මත දෙයක් ලෙස භාවිතයට ගැනීමේ වරදක් නොමැත. නමුත් ඒ නිසා යම් අනතුරක් සිදුවීමට ඉඩ ඇති බැවින් ඒ පිළිබඳව අවධානය යොමු කිරීම වැදගත් වේ.
මෙයින් දරුවාගේ සුමුදු සමට හානි විය හැකියි. දරුවා සැපීම නිසා පංචායුදයට හානියක් වී තිබුණොත් එයින් දරුවාගේ සමටත් හානි වීමට ඉඩක් පවතියි. දරුවාගේ වර්ධනයත් සමඟ පංචායුධය පැළද වූ රන් දම්වැල සිර වුවහොත් එයින් දරුවාට අපහසුවක් ඇති වේ. දරුවාගේ කටට ගතහැකි මානයේ තිබීමෙන් නිතර නිතර පංචායුධ සැපීමෙන් කැබලි ගිලීමේ අවධානමක් පවතියි. නූලෙහි දහදිය තැවරීම නිසා දහදිය බිබිළි, දද, කුෂ්ඨ ඇතිවිය හැකියි.
සටහන අරුණි ජයසේකර
ආයුර්වේද වෛද්‍ය සජිත් චතුරංග අක්මීමන