මිනිසා ලෝකයට බිහිවෙන්නේ සමාජ ජීවියෙක් විිදියට. අපේ ජීවිතයේ සියලු කාර්යයන් සාමූහිකත්වය කියන සාධකය මත පදනම් වෙනවා. මෙහිදි විශ්වාසය කියන්නේ ඉතාමත් වැදගත් සාධකයක්. අපි මොනතරම් දුරට අනෙක් පුද්ගලයා කෙරෙහි විශ්වාසයෙන් යුක්තව කටයුතු කරනවා ද කියන කාරණය මත අපේ සතුට හෝ වේදනාව රදා පවතිනවා. කෙනෙක් අපිව අවශ්‍යම මොහොතක අපිට අවශ්‍ය ප්‍රමාණයට විශ්වාසය ආරක්ෂා නොකරනවා නම් එය වේදනාවකට හෝ දුකට හේතුවක්.
මානසිකව ඇතිවන බැඳීමකදී මේ තත්ත්වය වඩාත් බලපානවා. විවාහය කියන්නේ අන්න ඒ වගේ වඩාත් ශක්තිමත් මානසික හා කායික බැඳීමක්. එවැනි බැඳීමක දී විශ්වාසය, ආදරය, සෙනෙහස වැනි කාරණා මත දෙදෙනාගේ සම්බන්ධතාවය තවදුරටත් ශක්තිමත් වනවා. එවැනි සම්බන්ධතාවයකදී තමයි අපි කෙනෙකුගෙන් වඩාත් වැඩි ආකර්ශනයක්, ආදරයක්, බැඳීමක්, ලෙංගතුකමක් බලාපොරොත්තු වෙන්නේ. අපිට හිතෙනවා නම් ඒ පුද්ගලයා අපේ විතරයි කියලා එතනින් ඉදිරියට අපි තුළ ඔහු හෝ ඇය කෙරෙහි අපි වෙනුවෙන් සුවිශාල ඉඩක් වෙන් වෙයි කියලා බලාපොරොත්තුවක් ඇතිවෙනවා.
මෙන්න මේ කාරණයේ දී තමයි අවබෝධය වැදගත් වෙන්නේ,
අපි හැම කෙනෙක්ම එක වගේ එකම විදියට තවත් කෙනෙක් ගැන සොයා බලනවා නොවෙන්න පුළුවන්. ඔබේ සැමියා කාර්යබහුල නම් සමහර විට සමහර අවස්ථාවලදී සිතාමතා නොවුණත් ඔබව මඟහැරෙන්න ඉඩ තිබෙනවා. අවබෝධය වැදගත් වෙන්නේ අන්න ඒ වගේ අවස්ථාවලදීයි. විවාහයට පෙර ආදර සම්බන්ධයක් පවත්වන කාලයේ තිබුණු බැඳීම විවාහයත් එක්ක අවසාන වෙනවා කියලා අපි නිතරම කියනවා. නමුත් එහෙම වෙන්නේ ආදරය අඩුවීම නිසාම නෙවෙයි. නීතිමය හෝ කායික වශයෙන් ඔබව ඔහුට අයිති වුණාට පස්සේ ඔබේ වටිනාකම අඩුවුණු නිසාත් නෙවෙයි. දෙදෙනෙකු අතර බොහොම පිරිසිදු කායික බැඳීමක් තිබෙනවා නම් ඒ දෙදෙනා අතර මානසික බැඳීම තවත් ශක්තිමත් වෙනවා.
නමුත් විවාහයට පෙර තිබුණු ආදරය විවාහයෙන් පස්සේ දැනෙන්නේ නැත්තේ ඇයි?
එයට හේතුව වෙන්නේ විවාහයත් සමඟ වගකීම් වැඩිවීම. ආසියානු රටවල කාන්තාවට වඩා පිරිමි කෙනෙකුට පවුලේ බර පැවරී තිබීමක් දකින්න පුලුවන්. වර්ථමානයේ දී නම් හුඟක් වෙලාවට දෙදෙනාම එකතු වෙලා තමන්ගේ පවුල වෙනුවෙන් වියදම් බලාගැනීම, ඉතිරි කිරීම ආදිය සිදුකරනවා. නමුත් වගකීම කියන වචනයේ බර තිබෙන්නේ තවමත් සැමියාටයි. මේ නිසාම සැමියෙක් ලෙස ඔහු තරමක් ඒ වෙනුවෙන් වැඩියෙන් වෙහෙසෙනවා වෙන්න පුළුවන්. එවැනි අවස්ථාවක දී ඔබෙන් ලැබෙන සහය ඉතාමත් වැදගත්.
ඔබ අවබෝධයෙන් තොරව හැසිරෙනවා නම්,
එය සැමියාගේ ආතතියට හේතුවක් වෙනවා. ඔබ දෙදෙනා අතර මානසික හා කායික බැඳීමක් පවා තිබිය දී මෙවැනි ප්‍රශ්නයක් විසඳාගන්නට නොහැකි නම් එය ඇත්තටම දුර්වලතාවයක්. මේ නිසා ඇතිවන සුළු ගැටළුවක් වුණත් කතා බහ තුළින් විසඳාගන්න උත්සහ කළ හැකියි. එයින් ගැටළුවක් දුරදිග යෑම වළක්වාගන්න පුළුවන්. ඒ වගේම ඔබේ ප්‍රශ්න විසඳාගැනීමේ දී ඔබ දෙදෙනා හැරෙන්නට වෙන කිසිම කෙනෙක් එයට මැදිහත් වියයුතු නැහැ. විවාහයේ දී විතරක් නෙවෙයි ජීවිතයේ බොහෝ ගැටළුවලට කිසිසේත්ම අදාල නොවන තුන්වන පාර්ශවයක් අදාල කරගැනීම ඒ ප්රශ්නය දුරදිග යන්න ප්‍රබල හේතුවක් වෙනවා.
පුංචි රණ්ඩුවක්, වචන හුවමාරුවක් කියන්නේ ආදරේ කරන කාලෙදිත් සිදුවෙන සාමාන්‍ය දෙයක්. විවාහයෙන් පස්සේ විතරක් ඒ තත්ත්වය දුරදිග ගෙනියන්න අවශ්‍ය නැහැ. ආදරය කරන කාලෙදි වගේම දෙදෙනා තනිවම ප්රශ්නය විසඳාගන්න උත්සහ කරන්න.
ශක්තිමත් තීරණයක්…….
ඔබ දෙදෙනා විවාහ වුණාට පස්සේ දරුවෙක් බලාපොරොත්තු වීම අනිවාර්ය කාරණයක්. නමුත් එය සිදුවිය යුත්තේ දෙදෙනාම කායිකව, මානසිකව හා මූල්‍යමය වශයෙන් ශක්තිමත් වුණාට පසුවයි. නැතිනම් එයින් ඔබ දෙදෙනා අතරත් ගැටුම් ඇතිවෙන්න පුළුවන්. දෙපාර්ශවයේ දෙමව්පියන්, නෑදෑ හිතවතුන් ඔබේන් අසන ප්‍රශ්නවලට ඔබට නිසි පිළිතුරක් තිබිය යුතුයි. දරුවෙක් බිහිකිරීමේ පළමු කාර්යය වෙන්නේ ඔබ දෙදෙනා අතර ශක්තිමක් කායික සබධතාවක් තිබීමයි. එය අනෙක් පාර්ශව සමඟ බෙදාගන්න අවශ්‍ය නොවන පුද්ගලික දෙයක්.
තාම මොකුත් නැද්ද”
අලුත විවාහ වුණු යුවළකට ඕනම තැනකදී මුහුණ දෙන්න සිදුවන ප්‍රශ්නයක් තමයි මේ. එවැනි අවස්ථාවක දියහැකි සාමකාමී සුදුසුම පිළිතුරක් ඔබ දෙදෙනා සතුව තිබිය යුතුයි. දරුවෙක් පිළිබඳව ඔබ තීරණයක් ගත යුත්තේ මුලින් සඳහන් කළ පරිදි ඔබ එයට සූදානම් වීමෙන් පසුව විනා අනෙක් පාර්ශවයන්ට උවමනා අවස්ථාවේ නොවන නිසා ඒ පිළිබඳව කණගාටුවට පත්වියයුතු නැහැ. අනෙක් අතට මිනිසුන් ඔබව ප්‍රශ්න කිරීම සාමාන්‍ය කාරණයක් නිසා ඔවුන්ගේ අදහස්වලට ඇහුම්කන් දෙනු විනා ඒවා මනසට කාවද්දා ගැනීමේ අවශ්‍යතාවයක් නැහැ.
විවාහ ජීවිතයකට ඇතුළුවීම කියන්නේ ඔබේ ජීවිතයේ සුන්දර අත්දැකීමක්. එය වඩාත් සුන්දර එකක් බවට පත්කරගත හැක්කේ ඔබ දෙදෙනා අතර විශ්වාසවන්ත බව හා අවබෝධය ඇත්නම් පමණි. ඔබේ විවාහ ජීවිතය ඔබේ පවුල ඔබ දෙදෙනාගේ අවශ්‍යතාවයන් මත ක්‍රියාත්මක වියයුත්තක්. එසේ නොමැති නම් සිදුවන්නේ සියලු දෙනාගේ ඇඟිලිගැසීම් මධ්‍යයේ ඔබේ විවාහය නීරස ලෙස ගතකිරීමටයි. එබැවින් අවබෝධය සහ විශ්වාසය ඔබේ ජීවිතයට අඩිතාලම කරගන්න.
සටහන චාපා හංසිනි ආටිගල