free stats

දෙසැම්බර් 01 වන දිනට යෙදෙන ලෝක ඒඩ්ස් නිවාරණ දිනයේ දී තේමාව ලෙස මෙවර යොදගෙන ඇත්තේ ”එක්ව සිතමු වෙනසක් කරමු ඒඩ්ස් දුරලමු” යන්නය.

ඇයගේ නම සරෝජාය. ඇය තම ස්වාමියා නිසා එච්අයිවී රෝගයට ගොදුරු වූ කාන්තාවකි. ඇයගේ කුළුදුල් දරුවාද එච්අයිවී ආසාදිතයෙකු ලෙස මෙලොව එළිය දුටුවේ මීට වසර හතකට පමණ පෙරය. සරෝජා නිවැරදිය ඇයගේ දියණිය වූ සුන්දරීද නිවැරදිය. එහෙත් ඔවුන් නිවැරදි වුවද පියා දැන හෝ නොදැන කළ වරදක් නිසා අසරණ මවකට හා දියණියකට තම ජීවිත කාලය පුරාවටම ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවිය. මෙවැනි අවාසනාවන්ත තත්ත්වයන්ට එසේත් නොමැති නම් මවගෙන් එච් අයි වී ආසාදනය වූ දරුවන් 85 දෙනෙක් මේ වන විට අප රට තුල සිටිති.

එච් අයි වී සමඟ උපදින දරුවන්ට ජීවිත කාලය පුරාවටම ඖෂධ ලබා ගැනීමට සිදුවේ. ඖෂධ මගින් සිරුරේ තිබෙන එච් අයි වී වෛරසයන් සැලකිය යුතු ලෙස අඩුවේ. මෙවන් පුද්ගලයින්ට තමන්ගේ ජීවිතය සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට හැකි වන නමුත් ලිංගික ජීවිතයක් ගත කිරීමේ අවස්ථාව ඇහිරෙනු ඇත.

මේ දරුවන් අපේමය. මොවුන් රෝගීන් බවට පත් වූයේ ඔවුන්ගේ වරදින් නොව මේ දරුවන් රැකබලා ගැනීම අප කාගේත් වගකීමකි යුතුකමකි. කෙසේ නමුත් එච් අයි වී වෛරසය ආසාදනය වූ කාන්තාවක් බිහිකරන දරුවා එච්අයිවී ආසාදිතයෙකු නොවිය යුතු බව සැමගේම තීරණය වූහ. මෙම දරුවන් ආරක්ෂා කර ගැනීමේ වැඩපිළිවෙල ආරම්භ වූයේ වසර 2013දීය. මේ අනුව සියලුම ගර්භනී මව්වරුන් එච් අයි වී සදහා වන රුධිර පරික්ෂාව ලක් කෙරුණි.

මේ අනුව මාතෘ සායනයන් වෙත පැමිණෙන සියලුම ගර්භනී මව්වරුන්ව එච් අයි වී සඳහා වන රුධිර පරික්ෂාවට ලක් කර ආසාදිත මව්වරුන් හඳුනා ගන්නා ලදී. මෙසේ හඳුනාගන්නා එච්අයිවී ආසාදිත මව්වරුන්ට විශේෂ ඖෂධ ලබාදීම මගින් ඔවුන්ගේ ශරීරයේ පවතින එච්අයිවී වෛරස් ප්‍රමාණය හැකි පමණ අවම කරනු ලබයි. මෙසේ වෛරස් ප්‍රමාණය අවම වීම හේතුවෙන් කුස තුළ වැඩෙන දරුවාට එච්අයිවී වෛරස් ආසාදනය නොවේ. දරුවා බිහි වූ පසුව ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන් සති හයක කාලයක් දරුවාට තව දුරටත් ඖෂධ ලබා දී අධීක්‍ෂණය කරනු ඇත. සති හයක කාලයකින් පසුව දරුවාගේ ජීවිතය සියයට සියයකින් සුරක්ෂිත වන බව වෛද්‍යවරු නිර්දේශ කරති.

ඒ අනුව සරෝජාට හා සුන්දරීට මෙන් සිත් රිදවා ගැනීමට තවදුරත් සරොජාලාට සුන්දරීලාට සිදු නොවනු ඇත. මේ අනුව අද වන විට එච් අයි වී ආසාදිත මවකට නිරෝගි දරුවෙකු බිහි කිරීමේ වාසනාව උදාවී ඇත. ඔවුන්ට අන් දරුවන් මෙන්ම තමන්ගේ ජීවිතයේ සියලුම කටයුතු නිසි පරිදි කරගෙන යාමට හැකියාව හිමිවන්නේය.

එච් අයි වී ආසාදිත මවකට එච් අයි වී වලින් තොර දරුවෙකු බිහිකළ හැකි බව ජිනීවා නුවර පිහිටී ලෝක සෞඛ්‍ය සංවිධානයට නිල වශයෙන් 2019 ජූලි මාසය තුලදී ලිඛිතව දැනුම් දෙන ලදි. එම ලිඛිත වාර්තාවේ අන්තර්ගත කර තිබෙන කරුණු සත්‍ය ඒවාද යන්න පිළිබඳව සොයා බැලීමට ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් මෙරටට පැමිණ මාතෘ සායන තුළ හා රෝහල් තුළ සිදුකළා වූ වැඩසටහන පුලුල් පරික්ෂාවකට ලක් කළේය. මෙම පරික්ෂා කිරීම්වලට අනුව මාතෘ සායනයන් තුලදී ගර්භනී මව්වරුන්ගේ රුධිරය ලබා ගන්නා අයුරු ඒවා රසායනාගාරයන් තුළදී පරික්ෂාවට ලක් වන අයුරු රෝගය සම්බන්ධයෙන් රට තුල සිදුකරන දැනුවත් කිරීමේ වැඩසටහන කෙබදුද යන්න පිළිබද ජනතාව කෙතරම් දුරට දැනුවත් වී තිබේද රෝගයට ගොදුරු වී තිබෙන පුද්ගලයින්ට ප්‍රතිකාර කරන්නේ කෙසේද යන්න පුලුල් ලෙස අධීක්ෂණය කළේය. එම අධීක්ෂණයන් මගින් සකස් කළ වාර්ථාවන් අප රටට බොහෝ සේ සතුටුදායක වූ බැවින් තව නොබෝ දිනකින් එච්අයිවී හා උපදංශය මවගෙන් දරුවාට බෝවීම තුරන්කළ රටක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධාන ප්‍රකාශයට පත් කරනු ඇතැයි දැඩි විශ්වාසයකින් අප පසු වන්නේමු.

 එච්අයිවී ඒඩ්ස් මර්දන වැඩසටහනේ 
 අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ලිලානි රාජපක්ෂ

      සටහන -  තාරකා ළිඳකුඹුර