free stats

මව් පදවිය කාන්තාවකගේ නැවතත ඉපදීමක් වැනිය. දියණියක් ලෙස විනෝදකාමී සරල දිවි පෙවෙතක් ගත කළ ඈ වගකීම් කන්දකට බර දෙමින් නව ජීවිතයකට උපත දෙයි. දස මසක් ජීවය කුස දරා සිටින්නී මුහුණ දෙන්නේ බිය සතුට පිරි අත්දැකීම් සමුදායකටයි. ප්‍රසූතිය සිදුවන තෙක් ඈ දිනෙන් දින ඇඟිලි ගනින්නේ නියමිත දිනයේ නිරෝගී ලෙසින් බිළිඳු ප්‍රසූත කිරීමේ සිහිනය දකිමිනි. එහෙත් ඇතැම් මව්වරුන්ගේ මෙම බලාපොරෝත්තුව සඵල නොවන්නේ දරුවා නියමිත දිනයට පෙර ප්‍රසූත කරන්නට සිදුවන නිසායි. මෙය මවකට වේදනාබර මෙන්ම බිය මුසු හැඟීමක් එක් කරන අත්දැකීමකි. එහෙත් එය එතරම් බිය විය යුතු කාරණයක් ද යන්න කලින් දැන සිටීම මවට සැනසීමක් වනු නියතය. මේ නිසා ආදරණීය අම්මි මෙවර කලාපයෙන් අපි ඒ පිළිබඳව ඔබ දැනුවත් කරන්නෙමු.

වෛද්‍යතුමනි ප්‍රසූතිය ඉක්මන් කරවීම යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද?

මවගේ සම්පුර්ණ ගර්භණී කාලය සති 40 ක් එහෙමත් නැත්නම් දින 280 ලෙසට දැක්විය හැකිය. ගර්භයට සති 37 42 අතර කාලය තුළ දී සාමාන්‍ය ක්‍රමයට හෝ සිසේරියන් ක්‍රමයට ප්‍රසූතිය කිරීම සාමාන්‍ය පරිදි සිදුවන ප්‍රසූතියක් ලෙස දක්වන්න පුළුවන්. එහෙත් නියමිත දිනයට පෙර යම් මවකට ස්වාභාවික ලෙස ප්‍රසව වේදනා ඇතිවීමට හැකියාවක් ඇති අතර කලලය ඉතාම නොමේරු අවස්ථාවක් ඇතිනම් මෙවැනි ගැටලු වැළැක්වීමට වෛiවරු උත්සහ කරනවා. එසේ උත්සහ කිරීමෙන් පසුවත් ප්‍රසව වේදනාව මඟ නොහැරුණොත් වෛi තීරණය මත නියමිත දිනයට කලින් ප්‍රසූතිය ඉක්මන් කිරිම ලෙස හඳුන්වනවා.

සති 37ට පෙර මවකට ප්‍රසවයක් ඇතිවීමට බලපාන අවදානම් හේතු මොනවාද?

එසේ වීමට බලපාන අවදානම් හේතු කිහිපයක්ම තිබෙනවා. ඉන් ප්‍රධානම හේතුව ලෙසට පෙර ගර්භවල එවැනි නොමේරු ප්‍රසවවලට මුහුණ දී තිබීම පෙන්වාදිය හැකියි. අනෙක් කාරණා ලෙස කෙටි ගැබ් ගෙලක් පිහිටීම ගර්භණීතාවන් දෙකක් අතර කාල පරතරය අඩුවීම (ගැබ් ගැනීම් දෙකක් අතර පරතරය අවමය වසර එක හමාරක් පමණ විය යුතුයි). ගර්භාෂයක් හෝ ගැබ් ගෙලේ ශල්‍යකර්මවලට මුහුණ දීම, නිවුන් දරුවන් සහිත ගැබක් ඇති මව්වරුන් ගැබ් ගැනීම, පෙර ශරීර ස්කන්ද දර්ශකය 185 ට අඩු කාන්තාවන්, මත්පැන්, දුම්වැටි භාවිතා කරන කාන්තාවන් යනාදිය පෙන්වාදිය හැකිය.

ප්‍රසූතියක් ඉක්මන් කරවීමට සිදුවන්නේ ඇයි?

සාමාන්‍ය ප්‍රසූතියක් ඉක්මන් කිරීම අවස්ථා දෙකක් යටතේ සිදු කරනවා. ඉන් එක් අවස්ථාවක් වන්නේ හදිසි තත්ත්වයන් මත සිදු කරන ප්‍රසූතියයි. මවගේ හෝ දරුවාගේ සංකූලතාවක් දැක ගැනීමෙන් අනතුරුවත් හදිසි ප්‍රසූතියක් සඳහා යොමුවන අවස්ථා තිබෙනවා. ගැබ් ගැනීමෙන් පසුව හඳුනාගන්නා විවිධ සංකූලතා මත මේ සඳහා යොමුවීම අනෙක් අවස්ථාවයි.

ප්‍රසූතිය නියමිත දිනට පෙර සැලසුම් කර සිදු කරන්නේ කුමන අපහසුතා ඇති මව්වරුන්ගේ ද?

අධි රුධිර පීඩනය, දියවැඩියාව, ගර්භාෂයේ ගෙඩි වැනි රෝගී තත්ත්වයන් ඇතැයි නිගමනය කළ මව්වරුන්ගේ සහ කලින් ප්‍රසූතියක දී සිසේරියන් සැත්කමකට භාජනය වූ මව්වරුන්ගේ ප්‍රසූතිය සැලසුම් කර සිදු කරනවා. මීට අමතරව කාලයක් තිස්සේ මදසරුභාවයෙන් පෙළුණු මව්වරුන්ගේ ද ප්‍රසූතිය සති 38 දී සැලසුම් කොට සිදුකරනවා.

වෛද්‍යතුමනි ප්‍රසූතිය ඉක්මන් කිරීමට සිදුවන හදිසි අවස්ථා ගැන සඳහන් කළොත්?

ගර්භණීතාව තවදුරටත් පැවතීම මවගේ ජීවිතයට තර්ජනයක් වන අවස්ථාවලදී වෛද්‍යවරුන් වහාම දරුවා ප්‍රසූත කරවීමට අවශ්‍ය පියවර ගන්නවා. එමෙන්ම මව්කුස තුළ දරුවාගේ ජීවිතයට, වර්ධනයට, නිරෝගී බවට අහිතකර පරිසරයක් ගොඩනැගී ඇති බවට වෙෙද්‍යවරුන් නිගමනය කළහොත් කුමන හෝ අවස්ථාවක වුවද දරුවා බිහිකිරීමට තීරණය කරනවා. වොටර් බෑගය සහ එහි ඇති තරලය දරුවාට මව්කුසේ සිටීමට පහසුව ඇති කරයි. මව ස්වාභාවික ප්‍රසූතියකට ගියහොත් සති 38 හෝ 40 වන විට මෙම තරලය පිරී බෑගය පිපිරි තරල පිටවීම සිදුවන අතර ඒ මොහොතේදීම ප්‍රසූතිය සිදුවේ. එහෙත් නියමිත කාලයට පෙර මෙම බෑගය පිපිරී තරල පිටවුවහොත් දරුවාට තවදුරටත් මව්ක-ුසේ රැඳී සිටිය නොහැකියි. මෙවන් අවස්ථාවක දී වෙෙද්‍යවරු ඉක්මනින් දරුවාට පිටතට ගැනීම සිදු කරයි. මෙම කාරණයට අමතරව මවට දරුවාගේ චලනයන් හදිසියේ නතර වීම, හෘද ස්පන්දනය හෝ නතර වීම වැනි කාරණාවලදී නියමිත දිනයට ප්‍රථම දරුවා බිහි කිරීම සිදු කරයි. එමෙන්ම නියමිත දිනයට පෙර යෝනි මාර්ගයෙන් රුධිරය පිටවුවහොත් එනම් පෙර ප්‍රසව රුධිර වහනයක් වුවහොත් දරුවා ප්‍රසූත කරවීම ඉක්මන් කරනු ලබනවා. මෙසේ ප්‍රසව රුධිර වහනයට ප්‍රධාන හේතු වැදෑමහ ගර්භාෂ බිත්තියෙන් ගැලවීම, ගර්භාෂය පිපිරීම හෝ වැදෑමහ ගැබ්ගෙල ආවරණය කරමින් පිහිටීම නිසා වෙන් පුළුවන්.

හදිසි අවස්ථාවක් මත ප්‍රසූතිය ඉක්මන් කළහොත් මවට හා දරුවාට ඇතිවිය හැකි සංකූලතා
මොනවාද?

ඉතාම නොමේරු අවස්ථාවක දරුවා බිහි කිරීමට සිදු වුවහොත් ඔහුට කෙටි කාලීන සහ දිගු කාලීන සංකූලතා ඇති වීමේ අවධානමක් තිබෙනවා. කෙටි කාලීන ගැටලු අතර ශ්වසන ආබාධ ඇති වීම අසාදනවලට ගොදුරු වීමට ඇති ඉඩකඩ වැඩිවීම විශේෂයි. මෙයට හේතුව වන්නේ මේ කාලසීමාව වන විට දරුවාගේ පෙනහළු සහ ප්‍රතිශක්ති පද්ධතිය හොඳින් වර්ධනය වී නොතිබීමයි. ශරීර උෂ්ණත්වය අඩුවීම රුධිරයේ ග්ලූකෝස් ප්‍රමාණය අඩු වීම, මොලයේ ලේ ගැලීම් වැනි ගැටලු ද ඇතිවිය හැකියි.

මෙවන් අවස්ථාවක දරුවා කොපමණ කාලයක් රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ගත යුතුද?

එය තීරණය වන්නේ මව සහ දරුවාගේ සෞඛ්‍ය තත්ත්වය මතයි. සෞඛ්‍ය තත්ත්වය යහපත් නම් සාමාන්‍ය ප්‍රසූතියක් සිදු කළා සේ සාමාන්‍ය දිනවලින් රෝහලින් පිටවී යා හැකිය. එහෙත් සති 34 කාල සීමාවකදි දරුවා බිහි කිරීමට සිදුවුවහොත් බිළින්දා නොමේරු ළදරු ඒකකයේ ප්‍රතිකාර සඳහා යොමු කළ යුතුයි. එසේම මෙවන් අවස්ථාවල කිරි එරීමේ අපහසුතා හෝ වෙනත් අසාධ්‍ය තත්ත්වයන් ඇතිවුව හොත් ඒවාට ප්‍රතිකාර කඩිනමින් කළ යුතු නිසා රෝහලේ නැවති සිටීම අනිවාර්ය වේ.

හදිසියේ ප්‍රසුතිය ඉක්මන් වූ මවක් පරෙස්සම් විය යුත්තේ කෙසේ ද?

එය තීරණය වන්නේ ප්‍රසූතිය සිදු වු ක්‍රමය අනුවයි. ප්‍රසූතිය සිදු වුයේ සාමාන්‍ය ක්‍රමයට නම් මවක් පරිස්සම් වන්නේ කෙසේද ඒ අනුවම පරිස්සම් විය යුතුයි. සිසේරියන් ක්‍රමයට නම් එය අදාළ වෛද්‍ය උපදෙස් ගෙන ඒ අනුකූලව පරිස්සම් විය යුතුයි. එසේම රුධිරය පියවනවා නම් අධික බඩේ කැක්කුමක් දැනෙනවා නම් වහාම ප්‍රසව හා නාරිවේද සම්බන්ධ වෛද්‍යවරෙයක් හමුවී ප්‍රතිකාර ලබාගත යුතුයි. හන්දිවල වේදනාවක් ඇත්නම් නහර ගැටගැහෙනවා නම් එය අවධානම් තත්ත්වයක් විය හැකි නිසා ඒ පිළිබඳව සැලකිලිමත් වීම අත්‍යාවශ්‍යයි.

උපදෙස්
වෛද්‍ය රෝහිත ප්‍රදීප්
අතිරේක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි
සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය – රාගම

සටහන ප්‍රියංගිකා කුමාරසිංහ