free stats

ගැබිනි සමයේ මව්වරුන්ට ඇතිවන විවිධ අපහසුතා අතර මළ බද්ධය බහුලව දැකිය හැකි අපහසුතාවයකි. මේ පිළිබඳව තොරතුරු දැනගැනීම මල බද්ධයෙන් පිඩාවිදින බොහෝ දෙනාට එකසේ වැදගත්ය. එම නිසා ආදරණී අම්මි මෙමවර කලාපයෙන් අප ඒ පිළිබඳ තතු ගෙන එන්නට සිතු අතර කඳාන දිස්ත්‍රික් රෝහලේ වෛද්‍ය නිළධාරී වෛද්‍ය රෝහිත ප්‍රදීප් මහතා සමඟ ඒ පිළිබඳ සාකච්ඡා කළ අතර ලිපිය සැකසී ඇත්තේ ඒ ඇසුරෙනි.

වෛද්‍යතුමනි, මලබද්ධය යනු කුමක්ද?

මලපහ ඉතා තද බවින් යුක්ත වීම නිසා මළපහ පිටකිරීමට ඇතිවන අපහසුතාවය මළ බද්ධය ලෙස හදුන්වන්න පුළුවන්. මෙම තත්ත්වය ඇතිවන්නේ, මළ අපද්‍රව්‍යවල ජල ප්‍රමාණය අවම වීමෙන්. මළ බද්ධය ඇති වූ පසු මළපහ පිටකිරීමේ වාර ගණන අවම වීම සහ මළ පහ කිරීමේදී අධික වේදනාවක් ඇති වීම සිදු වෙන්න පුළුවන්. ගර්බණී සමයේ දක්නට ලැබෙන පොදු කාරණයක් වන මෙම තත්වයට සාමාන්‍යයෙන් මව්වරු 12%ක් සහ 20% අතර ප්‍රමාණයක් මුහුණ දෙනවා.

ගර්භණී සමයේ මෙවන් තත්ත්වයක් ඇතිවීමට බලපාන හේතු පිළබඳ කතා කළොත්…

මෙම තත්ත්වය ඇතිවීමට ප්‍රධාන වශයෙන් හේතු කිහිපයක් බලපෑම් කරනවා. ඒ අතර මූලිකම හේතුවක් තමයි ගර්භණී තත්ත්වය නිසා හෝමෝනවල සිදු වන වෙනස්වීම. මෙහිදී ගැබිනි මවකගේ පොජෙස්ටරොන් හෝමෝනය ඉහළ යාම සහ මොටිලින් හෝමෝනය පහළ යාම සිදුවනවා. මේ නිසා බඩවැල්වල සිනිදු පේශී ඉහිල් වී සංකෝචන ක්‍රියාවලිය නියමාකාරයෙන සිදුවෙන්නේ නැහැ. මේ කාරණය නිසා ආහාර මාර්ගයේ ආහාර ගමන් කිරීම සිදුවන්නේ ඉතාමත් සෙමින්. ඒ නිසා ආහාර වල ජලය ශරීරයට උරාගනු ලබනවා. මේ තත්ත්වය නිසා මළපහවල පවතින ඝණත්වය වැඩි වී මළ බද්ධය ඇතිවෙනවා.

මේ මූලික ජීව විද්‍යාත්මක කාරණාවට අමතරව, ගැබිනි සමයේ මව්වරුන්ට ඇතිවන සාංකාව :්බංසැඑහ* අනිසි බිය යන මානසික කාරණා, ගැබිනි සමයේ ලබා ගන්නා යකඩ පෙති, ව්‍යායාම මද කම යන කාරණා නිසාත් මළබද්ධය ඇතිවෙන්න පුළුවන්. විශේෂයෙන් ගර්භාෂයේ ප්‍රමාණය විශාල වීම නිසා බඩවැල්වල අතිවන තෙරපීම මූලික කර ගනිමින් ද ගැබිනි සමයේ අවසාන කාලයේදී බොහෝ මව්වරුන්ට මෙම තත්ත්වය ඇතිවෙන්න පුළුවන්.

මළබද්දය නම් තත්ත්වය වළක්වා ගන්නේ කෙසේද?

පොජෙස්ටරොන් සහ මොටිලින් යන හොමෝන වෙනස් වීම යන ජීව විද්‍යාත්මක කාරණාව මුල් කරගෙන මෙම තත්ත්වය ඇතිවෙනවානම්, එය වළක්වා ගැනීමට වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම කළ යුතුයි. එසේ නොවී මෙම තත්ත්වය ඇතිවනවා නම් මව්වරුන් කළයුත්තේ කෙඳි සහිත ආහාර වැඩි වශයෙන් තමන්ගේ ආහාර වේලට එකතු කර ගැනීමයි. එහිදි දිනකට කෙඳි ආහාර ග්රෑම් 25ක ප්‍රමාණයක් ලබා ගැනීම කළ යුතුයි. මීට අමතරව අවම වශයෙන් දිනකට වතුර ලීටර් දෙකක්වත් පානය කිරීම අත්‍යාවශ්‍යයි. එහෙත් ගර්භණී සමයේ ඇතැම් මව්වරුන්ට වතුර පානය කිරීම අප්‍රිය වන අවස්ථා අප කොතෙකුත් දැක තිබෙනවා. එවැනි මව්වරුන් දියර වැඩිපුර අඩංගු ආහාර, පළතුරු යුෂ, කැඳ වර්ග වැඩි වශයෙන් ගැනීමට සැළකිලිමත් විය යුතුයි.

එසේම සතියකට අවම වශයෙන් දවස් තුනක් හෝ ඇවිඳීම, පිහිනීම, වැනි ව්‍යායාම්වල නිරතවීමෙන්ද මළබද්ධය ඇතිවීම වළක්වා ගන්න පුළුවන්. එහෙත් වෛද්‍යවරුන් ව්‍යායම නොකළ යුතු යැයි නිර්දේශ කර ඇති මව්වරුන් ව්‍යායාම කළ යුත්තේ වෛද්‍ය උදෙස් යටතේ බව මතක තබා ගත යුතු කාරණයක්. ගැබිනි සමයේ මානසික ඒකග්‍රතාව පවත්වා ගැනීමද මෙම තත්ත්වය ඇතිනොවීමට බලපාන නිසා ගැබිනි මව්වරුන් ආගමික කටයුතුවලට නැඹුරුවීම සහ ගර්භණීත්වය සාමාන්‍ය සංසිද්ධියක් සේ සිතීම ඉතා වැදගත්. යකඩ පෙති ගැනීම නිසා මල බද්ධය ඇතිවනවා නම් එවැනි මව්වරුන් වෛද්‍ය උදෙස් ඇතිව මෙම යකඩ පෙති වේල් දෙකකට හෝ තුනකට ගැනීම කළ හැකියි.

මලබද්ධය ඇති මව්වරුන් ගත යුතු අහාර පිළිබඳවත් සඳහන් කළොත්…

පලා වර්ග වැඩිපුර ආහාර වේලට එකතු කර ගැනීම, වට්ටක්කා, කහ බතල, කොහිල වැනි එළවළු වර්ග සහ පැපොල්, කෙසෙල්, අඹ, අලිගැටපේර වැනි පළතුරුද ආහාරයට එකතු කර ගැනීම වැදගත්.

මළබද්ධය නිසා මවට හා දරුවාට ඇති විය හැකි සංකූලතා තිබෙනවාද?

මේ තත්ත්වය නිසා කලලයට කිසිසේත් හානිදායක තත්ත්වයක් ඇතිවෙන්නේ නැහැ. එහෙත් මව මේ තත්ත්වය වළක්වා ගැනීමට වෛද්‍ය උපදේශකින් තොරව යම් යම් බෙහෙත් වර්ග ගතහොත් කලලයට හානියක් වීමේ ප්‍රවණතාවයක් තිබෙනවා. එසේම මව නිසි පිරිදි ආරක්ෂා නොවුණහොත්, පසුකාලීනව මවට අර්ශස් වැනි රෝගී තත්ත්වයන් ඇතිවීමේ සම්භාවිතාවක් පවතිනවා. එසේම ගැබිනි සමයේ අවසාන කාලයේදී මළබද්ධය ඇතිවුවහොත් අධික ලෙස තැටමීම නොකළ යුතුයි. එසේ කළහොත් ප්‍රසූතිය ඉක්මන් වීමේ අවකාශය වැඩියි.

උපදෙස්-
කඳාන දිස්ත්‍රික් රෝහලේ
වෛද්‍ය නිළධාරී-
රෝහිත ප්‍රදීප් මහතා

සටහන- ප්‍රියංගිකා කුමාරසිංහ