free stats

පැටියා ගෙදරට ආවට පස්සෙ අම්මටයි තාත්තටයි එයාලගේ නින්ද අහිමි වෙනවා. මොකද පැටියාව නිදිකරවන එක ලේසි වැඩක් නෙවෙයි. ඉතින් පුංචි පැටියාට සුව නින්දක් ලබාදෙන්න අම්මා ලොකු වෙහෙසක් ගන්නෙත් මේ නිසයි. නිදාගන්න අකැමැති පැටියාව නිදිකරවන්න අම්මා නොකරන දෙයක් නැහැ. සමහර වෙලාවට පැටියා නිසා අම්මටත් රෑ එළිවෙනකල් ඇහැරලා ඉන්න වෙනවා. සමහර වෙලාවට පුංචි පැටවු නිදාගන්නේ නැතිව අඩන්නේ බඩගින්න වැඩිවුණාමයි. මේ වගේ වෙලාවට පැටියා ඇදේ නිදිකරවලා මව්කිරි ටිකක් දුන්නාම පැටියා නින්දට යනවා. එහෙමත් නැත්නම් නිදාගන්න කලින් පැටියාට හොඳට බඩ පිරෙනකල් මව්කිරි දුන්නා නම් පැටියා නිදාගන්නේ කිසිම කරදරයක් නොකරමයි.

සිරුරට දැනෙන සමහර අපහසුකම් පැටියාගේ නින්දට බාධාවක්. මේ නිසාම පැටියා නිතරම අඩනවා. උණුසුම් කාලෙදි වගේම මේ වගේ අධික සිසිලක් දැනෙන කාලෙදිත් පැටියා නිදාගන්නේ නැතුව අඩනවා නම් අනිවාර්යයෙන්ම මේ පාරිසරික වෙනස්වීම් එයාට දරාගන්න බෑ කියන එක අම්මා හොඳින් දන්නවා. මේ වගේ වෙලාවට පැටියාගේ සිරුරේ බේබි ක්‍රිම් ටිකක් ගල්වන්න පුළුවන් නම් සමට සිසිලක් වගේම සහනයක් දැනෙනවා. ඒ සිසිල පැටියාට ගේන්නේ සනීපයක්. එයින් පැටියා සුවපත් වෙනවා. ඒ වගේම එයාට හොඳ පහසු නින්දක් ලබාගන්න නෑමත් ඉතාම වැදගත් වෙනවා. හොඳින් නෑව්වට පස්සේ පැටියාගේ සමට දැනෙන සිසිල නිසාම පැටියා සුවයෙන් නින්දට යනවා.

සුවපහසු තොටිල්ලක නැලවෙන පුංචි පැටියාව කෘමි උවදුරුවලින් වළක්වා ගැනීමත් අම්මාගේ වගකීමක්. මොකද කෘමි උවදුරු නිසත් පැටියාගේ නින්දට බාධා මතුවෙනවා. පුංචි පැටියාට සුවපහසු නින්දක් දෙන්න නම් එයාව නිතරම සතුටින් තියන්න වෙනවා. අන්න ඒ වෙනුවෙන් අම්මාට කළ හැකි දේ බොහෝමයි. පැටියාව තුරුලට අරගෙන එයාව සනසන ගමන් එයාට උණුහුමක් වෙන්න අම්මාට පුළුවන්. එයින් පැටියාට ආදරණිය බවක් දැනෙනවා. ඒ වගේම අම්මාගේ තුරුලේ ඉන්න ගමන් අම්මාගෙන් ලැබෙන හාදුවක් පැටියාට දිව්‍යමය ඔසුවක් වගේ. ඉතින් නින්දට හොර පුංචි පැටියට මෙන්න මේ වගේ උණුසුම් ආදරයක් දෙන්න පුළුවන් නම් එයින් පැටියා ඉක්මනින් නින්දට යනවා.