free stats


ඔබේ රත්තරන් පුංචි පැටියා අඬන එක ඔබට මහත් වේදනාවක්. කරදරයක්. අඬන්නේ බබා. වේදනාව කාටද? ඔබටයි. කරදරය ඔබටයි. සමහර විට තරහ යන්නත් පුලුවන්. එයත් ඔබටයි. ඒ හුගක් දෙනෙක් හිතන විදිය. හුගක් අම්මලා හිතන විදිය. අපි මෙහෙම හිතමු. බබා අඩන්නේ ඇයි? ඒකට හේතු ගොඩක් තියෙන්න පුලුවන්. ඒවා කටින් කියාගන්නට ඒ කියන්නේ වචනවලින් කියාගන්නට බැරි නිසයි පැටියා අඩන්නේ. කතා කරන්න පුලුවන් වුණා නම් එයා අඩන එකක් නැහැ. “අම්මි මට බඩගිනියි”, “අම්මි මට තිබහයි”, “අම්මි මගේ ඩයපරය තෙමිලා”, “අම්මි මට කක්කි බරයි” එයා එහෙම කියාවි. ඉතින් මේ මොකක් හරි උවමනාවක් වචනවලින් කියාගන්න බැරි නිසයි පැටියා අඩන්නේ.

ඒ තමයි ඔවුන් සන්නිවේදනය කරන විදිය. ඉතින් මතක තියාගන්න බබා ඔබට කතා කරන්නේ මොනවා හෝ ඉල්ලන්නේ ඇඩිම මගින්. ඇඩිමත් එක්තරා කලාවක් කියලා දාර්ශනික මතයක් තියෙනවා. ඒ කලාව හොදටම පාවිච්චි කරන්න පුලුවන් පුංචි චණ්ඩියා තමයි ඔබේ පැටියා. ඒ වගේම ඒ කලාව තේරුම් ගන්න තරම් ලොකු හදවතක් ඔබටත් තියෙනවා. ඒකට තමයි මාතෘ ප්‍රේමය කියන්නේ. ඒ ආදරය ඔබේ හිතෙත් පිරිලා ඉතිරිලා යනකොට බබාගේ ඇඬිම ඔබත් පැටියත් එකට යා කරන ජීවන බැදිමක් වේවී.
පැටියා අඬන විට ඔබ පිලිපැදිය යුතු මුල්ම නිතියක් තියෙනවා. ඒක හැම මොහොතෙම හිතේ තබාගැනීම ඔබ විසින් කල යුතුම දෙයක්. ඒ තමයි ඔබ කලබල නොවී සංසුන්ව සිටිය යුතුයි යන්න. ඉතාම සන්සුන්ව බබා අඬන්නේ ඇයිද කියලා විමසලා බැලුවොත් ඔබට ඒ කාරණය පහසුවෙන්ම තේරුම් ගන්න පුලුවන්. බඩගින්න නිසා අඬනවද ඩයපරවල තෙමාගෙන හෝ කක්කි කිරිම නිසා අඬනවද කාමරේ රස්නේ වැඩියි ඒ නිසා අඩනවද මේ ඔක්කොටම ඔබ ළඟ විසඳුම් තියෙන නිසා ඇයි කලබල වෙන්නේ.

බබෙක් එක එක දේවල්වලට අඬන විදිය වෙනස් වෙන්න පුලුවන්. ඒ වෙනස්කම් අඳුනගන්නට අම්මා කෙනෙකුට පහසුයි. ඒවා අඳුනගත්තට අම්මා කෙනෙකුට තමන්ගේ පැටියා අඩන්නේ කිසියම් උවමනාවකටද එහෙමත් නැත්නම් වේදනාවකටද කියලා වැටහෙනවා. පැටියෙක් ඕනම දේකට අඬන්න පුලුවන් බව හැම මවක්ම දැනසිටිය යුතුයි. සමහර විට පීඩනය නැතිකරගන්නත් පැටියා අඬන්න පුලුවන්. එයාගේ ඒ සන්නිවේදන පණිවුඩ තේරුම් ගැනීම තමයි වැදගත් වෙන්නේ.
මතකද ඔබ පැටියාව බඩේ තියාගෙන හිටපු කාලේ. ඔබ හිටියේ හරිම පරෙස්සමෙන්. වැඩක් පලක් කලේ ඇවිද්දේ පවා ඉතා සැහැල්ලුවෙන් නේද? ඒ සැහැල්ලුව සන්සුන්කම තියාගන්න පුලුවන් වුණොත් ඔබ දිනුම්.