free stats

පුංචි පැටවු ලොකු මහත් වෙන්නේ අපි හිතනවටත් වඩා ඉක්මනින්. දැන් පැටියට මාස පහක්. එයාගේ සිරුරේ සිදුවන වෙනස්වීම් ඔබට දැන් තේරෙනවා ඇති. විශේෂයෙන්ම පැටියාගේ වර්ධන කාඩ්පතේ ඉලක්කම් වෙනස් වන විට පැටියා ඉක්මනින් ලොකු වෙන බව ඔබට වටහාගන්න පුලුවන්. දැන් මේ ගෙවෙන්නේ කුතුහලයෙන් පිරුණු කාලසිමාවක්. පැටියට පෙරලෙන්න නැගිටින්න හිතෙන්නේ මේ කාලෙදි. හැබැයි එයාට තවම ඒ කිසිම දෙයක් කරගන්න නම් බැහැ. මොකද තවම එයාගේ පිට කොන්ද හොදින් ශක්තිමත්ව වර්ධනය වෙලා නැහැ. ඒ නිසා පැටියව වඩාගන්න විටත් පිටට අත තියලා හිස බර නොවෙන විදියට වඩාගන්න ඕන.

නමුත් මුණින් අතට තිබ්බාම පොඩි වෙලාවක් එයාට ඔලුව උස්සගෙන ඉන්න පුලුවන්. පුංචි පැටවු වෙනුවෙන්ම නිෂ්පාදනය කරලා තියෙන බේබි අසුනක වාඩිකලාම එයා ටික වේලාවක් ඔලුව කෙලින් කරගෙන ඉන්නේ “අම්මේ මම දැන් චණ්ඩියෙක්” කියලා කියන්න වගේ. පැටියා අවට වටපිටාව බලන්න හරිම කැමතියි. මේ නිසා වඩාගෙන ඉන්න වෙලාවට වුණත් ටිකක් හෙමින් ඔලුව උස්සලා වටපිට බලන්න ආසයි. දැන් එයා පාට වර්ග අදුනනවා. ශබ්ද ඇහෙනවා. ඉතින් අවට පරිසරය ගැන එයාට තියෙන කුතුහලය හොඳටම වැඩියි. සමහර වෙලාවට අවට පරිසරය දිහා බලන්නේ පුංචි රහස් පරික්ෂකයෙක් වගෙයි.

දැන් පැටියා අම්මා එක්ක හරිම යාලුයි. එයාට ඉන්න හොඳම යාලුවා අම්මා තමයි. පැටියා හිනාවෙන්න යාලුවෙන්න කතා කරන්න උත්සහ කරන්නෙත් ඒ නිසයි. අම්මා හැම විටම ලඟින් ඉන්නවා කියලා දැන් පැටියා දන්නවා. සමහර වෙලාවට පොඩ්ඩක් අඩලා අම්මව ලඟට ගෙන්න ගන්න පුලුවන් ද කියලා බලන්නෙත් අර හිතේ තියෙන විශ්වාසය පරික්ෂා කරලා බලන්න වගේ. ඒ වගේම පැටියා තාත්තාවත් හොඳින් අදුනනවා. තාත්තා දැක්කාම දඟකාර හිනාවකින් මුණ පුරවගෙන තාත්තාගේ අතට යන්න හදන්නෙත් ඒ නිසා.

මේ වෙද්දි පැටියගේ නින්ද පිළිවෙලක් වෙලා. එයා රාත්‍රියේ වැඩිවේලාවක් නිදාගෙන දහවල් කාලයේ කලින් හිටියට වඩා වැඩි වේලාවක් ඇහැරලා ඉන්නවා. පැටියා දවල්ට ඇහැරලා ඉන්න එක අම්මට නම් ටිකක් කරදරයි. හැබැයි එහෙම ඇහැරලා හිටියා වුණත් රාත්‍රියට පැටියා නිදාගන්න එක නම් අම්මට ලොකු පහසුවක් කියලා අමුතුවෙන් කියන්න ඕන නැහැ. මව් කිරි පෙව්වට පස්සේ හොදින් ගුඩුස් යවන එක පැටියාගේ නින්දට තවත් පහසුවක්. එවිට අතරමගදි පැටියා නින්දෙන් අවදි වෙන්නේ නැහැ.

පැටියව මේ කාලෙදි වෛරස් සහ බැක්ටීරියා ආසාදනවලින් වළක්වා ගැනීම විශාල වගකීමක්. මොකද දැන් පැටියා අතට අහුවෙන දේවල් වගේම අතට ගන්න පුලුවන් සෙල්ලම් බඩු කටට දාගන්න උත්සහ කරනවා. මේ නිසා විශබීජ ආසාදනවලට ලක්වෙන්න තියෙන ඉඩකඩ බොහොම වැඩියි. පැටියා ගේ ඇදුම් වුණත් හොදින් සබන් ගාලා සෝදලා වේලලා ගන්න ඕන. නැත්නම් පැටියා ට ඇදුම් පැළදුම් වලින් වුණත් විශබීජ ආසාදන එන්න පුලුවන්