free stats

අලුතෙන් අම්මා කෙනෙක් වුණු ඔබට තිබෙන අත්දැකීමක් තමයි බබාගේ බඩ සද්ද කරන එක. බබෙක් එක්ක කාලය ගතකරලා හුරු නැති නිසා මේ පුංචි වෙනස ඔබව බියට පත්කරනවා ඇති. ඒ වුණත් ඇත්තටම මේ තත්ත්වය බය වෙන්න හේතුවක් නෙවෙයි. වැඩිහිටියෙකුගේ වුණත් බබෙක් ගේ වුණත් බඩ සද්ද කරනවා කියන්නේ එයා නිරෝගී කෙනෙක් කියන කාරණය හඟවන ලක්‍ෂණයක්. අන්න ඒ නිසා මේ පිළිබඳව වැඩිදුර තොරතුරු දැනගන්න ළමා හා මාතෘ උපදේශිකා ශ්‍යාමලී පතිරගේ මහත්මියව ආදරණිය අම්මි සඟරාවට සම්බන්ධ කරගත්තා.

මොකද්ද මේ බඩ සද්ද කරනවා කියන්නේ….

සාමාන්‍යයෙන් පුංචි බබාලගේ බඩවැල්වල මෙවැනි ශබ්ධ ඇතිවෙනවා. මේ තත්ත්වය අනිසි බියක් ඇතිකරගත යුතු තත්ත්වයක් නෙවෙයි. මෙයින් හඟවන්නේ පැටියාගේ ආමාශය ඇතුළු ආහාර ජීර්ණ පද්ධතිය හොඳින් ක්‍රියාත්මක වන බවයි. ඒ වගේම සමහර අවස්ථාවලදී බබාට මල පිටකිරීමේ අවශ්‍යතාවය ඇත්නම් මෙවැනි ශබ්ධ පිටවෙන්න පුළුවන්.

මව්කුසේ හොඳට ගුලිවෙලා ඉද්දි මාස නවයක්ම එකම විදියට තද වෙලා තිබුණු අන්ත්‍රය, ඇතුළු අභ්‍යන්තර ශරීර කොටස් දිගඇරිලා සාමාන්‍ය මිනිස් සිරුරක ආකාරයෙන් සකස් වියයුතුයි. එය හොඳින් ආහාර ජීර්ණය වීමට පහසුවක්. මේ විදියට ආහාර ජීර්ණ පද්ධතිය සකස් වෙනකොට ශබ්ධ ඇහෙන එක සාමාන්‍යයි.

බබාලාගේ බඩ පිපෙනවා. එහෙම වෙන්නේ කිරි උරා බොන විට පැටියාගේ මුවෙන් හුළං ඇදීම නිසයි. සමහර විට ගුඩුස් යැව්වත් මේ තත්ත්වය මඟහැරෙන්නේ නැහැ. ඒ වගේම බඩ ඇතුලේ විවිධ වායු නිෂ්පාදනය වෙනවා. ඒ නිසාත් ශබ්ධ ඇතිවෙන්න පුළුවන්. මේ වගේ වෙලාවට බබා ඉන්නේ අපහසුවෙන්. ඒ අපහසුව නිසාම එයා අඬනවා.

මේ වගේ අවස්ථාවක බබාව මද රස්නය වතුර බේසමක බෙල්ල ගාවට එනකල් ගිල්වලා වාඩි කරවලා ටිකක් වෙලා තියන්න. බබාව තනියම තියන්න බැරි නිසා පැටියාව හොඳින් අල්ලාගෙන සිටියයුතුයි. මේ විදියට බබාව වාඩිකරවලා තියන්න පුළුවන් උපකරණත් වෙළඳපලේ තිබෙනවා. නමුත් අම්මා ළඟින් ඉන්න එක ආරක්‍ෂිතයි. බබාගේ බඩ ගොඩක් පිපිලා නම් ඒ වතුරට බාර්ලි කුඩු ටිකක් දාන්නත් පුළුවන්. නමුත් පැටියාට වතුර පෙවෙන්න හොඳ නැහැ. ඒ නිසා අම්මා සැලකිලිමත් වීම වැදගත්.

ඒ හැරුණාම බබාගේ බඩට කළ හැකි පුංචි සම්බාහන ක්‍රමයක් තිබෙනවා. අපි දන්නවානේ ඉංග්‍රිසි භාෂාවෙන් I LOVE YOU කියන්න භාවිත කරන අකුරු ටික. මෙන්න මේ අකුරුවල හැඩයට තමයි සම්භාහනය සිදුවෙන්නේ.

පළමු පියවර

කුස I හැඩයට අතගානවා. මේ විදියට වාර කිහිපයක් අතගාන්න පුළුවන්.

දෙවැනි පියවරේ දි

L අකුරේ හැඩයට වාර කිහිපයකුත්, O හැඩයට වාර කිහිපයකුත් වශයෙන් වාක්‍යයේ සියලුම අකුරුවල හැඩයට කුස අතගාන්න පුළුවන්. එයින් පැටියාට සහනයක් දැනෙනවා. ඒ වගේම අම්මටත් බය වෙන්න ඕන නැහැ.

සටහන මහේෂානි මීගහපොල

ළමා හා මාතෘ උපදේශිකා
සෞඛ්‍ය මාධ්‍යවේදිනි
සෙනෙහස පදනමේ නිර්මාතෘ
ශ්‍යාමලී පතිරගේ මහත්මිය

සටහන මහේෂානි මීගහපොල