free stats

වෛද්‍ය සත්සරණී ඉලංගකෝන්
ආයතන භාර වෛද්‍ය නිලධාරීනී
ප්‍රාථමික සෞඛ්‍ය ඒකකය
කෙසෙල්වත්ත.

“අම්මා වගේ බබත් සුදුයි”‍, “කොණ්ඩෙ තාත්තගෙ වගේ”‍ මේ විදියට බොහෝ දෙනා විවිධ අදහස් පුංචි දරුවො දැක්කම කියනවා ඔබ අහලා ඇති .නැත්තම් ඔබත් එහෙම කියලා ඇති. මේ විදියට අම්මා තාත්තගෙ ලක්ෂණ වලට දරුවා සමානකම් දක්වන්නේ දෙමාපියන්ගෙන් දරුවාට ලැබෙන ජාන නිසයි. හොඳට වගේම නරක අතටත් මේ දෙමාපියන්ගෙ ජාන දරුවන්ට බලපෑම් කරන අවස්ථා ඕනෑ තරම්. ඒ වගේ අවස්ථාවක් තමයි ජාන වලින් ඇති වන රෝගාබාධ. එහෙම නැත්තම් ආරෙන් දරුවන්ට එන රෝග. සමහර වෙලාවට අම්මට, තාත්තට නැති රෝග තත්වයක් දරුවට ඇති වෙලා තියෙන්නත් පුලු‍වන්. නමුත් ඔබ වැඩිදුර නොහිතුවත් ඒ රෝගයටත් බලපාන්නෙ පවුලේ වෙනත් අයෙකුගෙ රෝගී ජානයක් වීමේ ඉඩ තියෙනවා. දෙමාපියන්ගෙන් විශේශයෙන් මවගෙන් පැටියාට බෝ වෙන්න පුලු‍වන් මේ විදියෙ ජානමය රෝග තත්වයන් ගැන අද කතා කරන්න සූදානම්. නමුත් මවගෙන් පමණක්ම නොවන පියාගෙනුත් සම්ප්‍රේෂණය වියහැකි රෝග තත්ව ගැන මෙහිදී සාකච්ඡාවට ලක් වෙනවා.

මවගෙන් පිරිමි දරුවාට පමණක් උරුම වන ඇතැම් රෝග තිබෙනවා. ගැහැණු දරුවන්ට එම රෝග කලාතුරකින් බෝවනවා. එයට හේතු වන්නෙ මවගේ ඇති වර්ණ දේහ මගින් පුත්‍රයාට එම ජානය පැමිණීම නිසයි. ඔහුගෙ මවට ප්‍රතිවිරුද්ධව දරුවාට ඇත්තේ එක් වර්ණ දේහයක් පමණක් වන අතරම ඒ නිසා විකෘති වු ජාන සඳහා පුත්‍රයාට කිසිදු ප්‍රතිපාදනයක් කිරීමට නොහැකියි. ජානගත රෝග ඇතිවන්නේ එක් ජානයක සිදුවන විකෘතිතාවයක් නිසයි. ඇතැම් බලවත් රෝග ඇති වීමට විකෘතිතා හේතු වෙනවා.

  • වර්ණ දේහවල විකෘතිතා නිසා හට ගන්නා රෝග

DNA හා ප්‍රෝටීන මගින් සෑදී ඇති වර්ණදේහ වල ඇතිවන විකෘතිතා නිසාද විවිධ රෝග දරුවන්ට උපතින් බෝ වෙනවා. ඩවුන්ස් සින්ඩ්‍රෝම් රෝගය මීට හොඳම උදාහරණයක්. 21 වන ජානයේ වර්ණ දේහ යුගලක් වෙනුවට තුනක් පිහිටා තිබීම නිසා මෙම රෝගය සහිත දරුවන් බිහි වෙනවා. ද්වි ලිංගික ලක්ෂණ ඇති කරන ක්ලයින් ෆෙල්ටර් සහසාධකය යන රෝගය හා ටර්නර් සහසාධකය යන රෝග මීට උදාහරණයි.

  • එක් ජානයක විකෘතිතාවක් නිසා ඇතිවන රෝග

දෑකැති සෛල රක්තහීනතාව, වර්ණ අන්ධතාව, හීමෝෆිලීයාව, තැලසීමියාව වැනි රෝග මීට උදාහරණයි. හීමොෆිලීයාව රෝගය යනු රුධිරය කැටි නොගැසීම නිසා සිදුවන රුධිර වහනයක්. රුධිරයට ප්‍රමාණවත් කැටිගැසීමේ සාධකයක් නොමැති විට මෙම තත්වය ඇති වෙනවා. රුධිරයේ ඇති ප්‍රෝටීනයක් මගින් රුධිරය කැටි ගැසීම සිදු වන අතර එම ප්‍රෝටීනය අඩු වීම, දුර්වල වීම නිසා මෙම රෝග තත්වය හට ගන්නවා. හීමොෆීලියා A යනු වඩා සුලබ ස්වරූපය වන අතර එය සිදුවන්නෙ 8 වෙනි සාධකය අඩු වීමෙන්. හීමෝෆීලියා B රෝගයට හේතුවන්නේ IX සාධකය අඩු වීමයි.

මේ රෝගය දෙමාපියන්ගෙන් උරුම වන රෝගයක් වන අතර වෙනත් අවස්ථා 1/3 කදී ඒ රෝග තත්වය පෙර රෝග ඉතිහාසයක් නොමැති පවුල් වලින් දකින්නට ලැබෙනවා. හීමොෆිලීයා රෝගයට හේතු වන ජාන වෙනස් කිරීම දෙමාපියන්ගෙන් දරුවාට පරම්පරා ගණනාවක සිට සම්ප්‍රේෂණය වෙන්නට පුළුවන්. හීමෝෆිලියා රෝගයෙන් පෙලෙන පිරිමින් වෙනස් කල ජානය තම දියණියන්ට ලබා දෙන නමුත් ඔවුන්ගේ පිරිමි දරුවන්ට එය බල පාන්නේ නැහැ. වෙනස් කල ජානය රැගෙන යන බොහෝ මව්වරුන්ට එය තම පිරිමි දරුවාට හා ගැහැණු දරුවන්ට ලබා දිය හැකියි. ජානය ඇති පිරිමි දරුවන්ට හීමෝෆිලීයාව ඇති වෙනවා. මෙම ජානය රැගෙන යන මව්වරුන්ට හා ගැහැණු දරුවන්ට ලේ ගැලීමේ රෝග ලක්ෂණ නොමැති අතර සමහරුන්ගේ ලේ ගැලීම දකින්නට ලැබෙනවා.

  • ජාන කීපයක විකෘතිතා නිසා ඇතිවන රෝග

මේවා ඇතිවන්නේ ජාන දෙකක් හෝ කීපයක් විකෘති වීම නිසයි. පියයුරු පිලිකා, ස්ථුලතාව එවැනි ප්‍රවේණිකව එන රෝගයි. බහු ජාන විකෘතිතා නිසා අධි රුධිර පීඩනය, හෘද රෝග , ආතරයිටිස්, දියවැඩියාව හා පිලිකා රෝග වලට උපතින්ම දරුවන් ගොදුරු වන්නට පුළුවන්.
දරුවෙකුගේ බරට වැඩි බලපෑමක් එල්ල කල හැක්කෙ මවගේ බරටයි. ඒ නිසා යම් මවක් සිහින් නම් දරුවාද සිහින් වීමට හැකියි. අධික තරබාරු නම් දරුවාද උපතින්ම අධි බරක් උරුම කරගැනීමේ ඉඩ තිබෙනවා. ආහාර පාලනය හෝ ව්‍යායාම මගින් මේ තරබාරුව ඇතැම් අයට පාලනය කර ගත නොහැකි වන්නේ උපතින් ගෙන එන මේ ජානමය විකෘතිතාව නිසයි.

  • මයිටකොන්ඩ්‍රියාවල විකෘතීන් නිසා ඇතිවන රෝග.

මිනිස් සිරුරේ ඇති සෛලවල ශක්ති බලාගාරය වන්නේ මයිටකොන්ඩ්‍රියායි . සෛල තුල ජලය වැනි ප්ලාස්මයේ විසිරී ඇති කුඩා ගෝලාකාර හෝ යෂ්ටියාකාර වස්තූන් වන මේවා සෛලයක ශ්වසනය සඳහා දායක වෙනවා. මේවා ශාක හා සත්ත්ව සෛල දෙවර්ගයේම දකින්නට පුලු‍වන්. මයිටකොන්ඩි්‍රයා DNA වල සිදුවන විකෘති නිසා ඇතිවන රෝග ලෙස ලෙබර්ස්ගේ ආරෙට එන ඇස් රෝගය ඇතැම් ඩිමෙන්ෂියා හා අපස්මාර තත්ව හඳුනාගත හැකියි.

  • Duchenne Muscular Dyastrophy –මාංශ පේශී දුර්වල වීමේ රෝගය

මෙම රෝගය ඇතිවන්නේ සිරුරේ මාංශ පේශී සෛල නොවෙනස්ව තබා ගැනීමට උපකාරී වන ඩිස්ට්‍රොෆින් නම් ප්‍රෝටීනය වෙනස් කිරීම නිසා මාංශ පේශී පිරිහීම හා දුර්වල වීම නිසයි. මෙය සංලක්ෂිත ජානමය ආබාධයක්. සාමාන්‍යයෙන් වයස අවුරුදු 2 ත් 3 ත් අතර කුඩා කල සිටම DMD රෝග ලක්ෂණ ආරම්භ වේ. මෙම රෝගය මූලිකව බලපාන්නෙ පිරිමි දරුවන්ටයි. නමුත් ඇතැම් අවස්ථා වල ගැහැණු දරුවන්ටද මෙය බලපායි.

  • ඔට්සම්

මෙම රෝග තත්වය සමාජ කුසලතා, පුනරාවර්තී හැසිරීම්, කථන හා සන්නිවේදනය සමග ඇති අභියෝග වලින් සංලක්ෂිත විශාල පරාසයක විහිදුණු රෝගයක්. ඔට්සම් රෝග ලක්ෂණ සාමාන්‍යයෙන් වයස අවුරුදු 2,3 කාලයේදි පැහැදිලිව දිස් වන්නට පටන් ගන්නවා. මීට පෙර වයසෙදි පවා ඇතැම් රෝග ලක්ෂණ පෙන්නුම් කරනවා. දරුවාට මාස 18 ක් තරම් වූ මුල් කාලයේදි ඒවා හඳුනා ගත හැකියි.

මෙවැනි විවිධ වූ ජානමය රෝගාබාධ මවගෙන් හෝ පියාගෙන් එසේ නැතිනම් පවුලේ වෙනත් සාමාජිකයෙකුගේ ජාන ආභාෂයෙන් දරුවාට උපතින්ම වැලඳීමේ සම්භාවිතාවක් තිබෙනවා. එවැනි ඇතැම් රෝග ඖෂධ , ඵලදායී සෞඛ්‍ය ක්‍රියාකාරකම් මගින් යම් දුරකට පාලනය කරගැනීමේ හැකියාවක් පවතින අතර ඇතැම් රෝග එසේ පාලනය කිරීමද අසීරුයි. කෙසේ නමුත් ඔබේ දරුවාට කුඩා කාලයේදීම යම් කිසි ජානමය රෝගයක් තිබෙන බව පෙනේ නම් නිවැරදි වෛද්‍ය ප්‍රතිකාර සඳහා ඉක්මනින් යොමු වීම ඉතා වැදගත්.

              කුමුදිකා ඩී සපුතන්ත්‍රි