free stats

ඇදුම, හතිය. වීස් එක පපුවේ මහන්සිය මේ එක එක නම් වලින් ඇදුම රෝගය හඳුන්වනවා. ඒකට කියන හරිම නම Bronchial Asthma බ්‍රොන්නියල් ඇස්ත්මා. හතිය කියන රෝග ලක්‍ෂණය හෘදය වස්තුවේ ගැටලුවක් නිසා ඇතිවෙන්නත් පුළුවන්. ඉතින් මේ අද කතා කරන්න යන Bronchial Asthma කියන්නේ පෙනහළු ආශ්‍රීතව හටගන්නා තත්ත්වයක්. සාමාන්‍යයෙන් මේ රෝගය හඳුනාගත්තට පස්සේ කුඩා දරුවන්ට ඉන්හේලර් ලබා දෙනවා. ඒ දීලා ළමා රෝග සායනයක දරුවා මාසිකව, ද්වී මාසිකව හෝ ත්‍රෛමාසිකව පරීක්‍ෂා කරලා බලනවා.

ඉන්හේලර් පිළිබඳ අම්මලා දැන ගත යුතු කාරණා මොනවාද ?

ඇදුම රෝගයට බහුලව ලබදෙන ඉන්හේලර් වර්ග දෙකක් තියෙනවා.

සැල්බියුටමෝල් ඉන්හේලර් (නිල් කොපුව සහිත)
බෙක්ලමෙතසෝන් ඉන්හේලර් (දුඹුරු කොපුව සහිත)

ඒ නිල්පාට ඉන් හේලරය හුස්ම ගැනීමේ අපහසුවක්, හතියක් කැස්ස ගතිය ඇති විටක අවශ්‍ය නම් භාවිතා කරන්න තියෙන්නේ.

දුඹුරුපාට ඉන්හේලරය දිනපතා භාවිතා කරන්න තියෙන්නේ

බෙහෙතේ මාත්‍රාව, ඉන්හේලරය දවසකට අදින්න උවමනා වාර ගණන ඔබේ දරුවාට ගැලපෙන අකාරයට ඔබේ වෛද්‍යවරයා කියලා දෙයි.

කුඩා දරුවන්ට ඉන්හේලර් ලබා දෙද්දී ඒ සමඟ තව උපකරණයක් ලබා දෙනවා. ඒකට කියන්නේVolumetric spacer එක කියලා.

ඉන්හේලරයේ කොපුව ඉවත් කරලා ස්පේසර් උපකරණයෙ එක පැත්තකට ඉන්හේලරය සවිකරන්න ඕනෑ. ඒ කරන්න කලින් ඉන්හේලරය හොඳින් සොලවන්න නම් අමතක කරන්න එපා. ස්පේසර් උපකරණයෙ අනිත් කෙළවරට මාස්ක් එක සවිකරන්න පුළුවන්. ඊට පස්සෙ ඔබේ උපකරණයට නිදහස් කරලා අර කීව මාස්ක් එක හොඳට නහය කට දෙක ආවරණය වෙන්න තියාගෙන හොඳට හුස්ම ගන්න ඕනා. ලොකු දරුවන්ට මාස්ක් එකක් නැතිව මේ උපකරණය භාවිතා කරන්නත් පුළුවන්.

ඉන්හේලර්ස් දෙද්දී වාට්ටුවේ ඩොක්ටර් මේ උපකරණය භාවිත කරන හැටි හොඳින් පැහැඳිලි කරලා දෙනවා.

දුඹුරුපාට ඉන්හේලරය භාවිතා කරන හැම අවස්ථාවකම දරුවාගේ කටයි උගුරයි හොඳින් සෝදන්නට ඕනෑ. එහෙම නොකළොත් කටේ සහ උගුරේ දිලීර/පුස් වර්ගයක් වර්ධනය වෙන්න පුළුවන්.

ස්පේසර් උපකරණය මාසෙකට සැරයක් පිරිසිදු ගලායන වතුරෙන් සෝදාගන්න පුළුවන්. සබන් ගාන්නට වුවමණා නෑ. එය අතුල්ලන්නට මදින්නට එපා එතකොට උපකරණය ඇතුළේ ඇතිවන සීරුම් මත බෙහෙත් තැම්පත් වෙලා දරුවාට මුල් මාත්‍රාවම නොයන්න පුළුවන්.

හෝදාගත් ස්පෙසර් උපකරණය මද පවනේ වියලා ගන්න. ඒ නැත්නම් පිරිසිදු කපු රෙදි කැබැල්ලකින් පිසදමන්නත් පුළුවන්.

ඇදුම ඩයරිය කියන්නේ මොකක්ද

දරුවාට ඇදුමට ඉන්හේලර් පටන් ගත්තායින් පස්සේ දරුවා ඒ බෙහෙත්වලට ප්‍රතිචාර දක්වන හැටි බලාගන්නත් බෙහෙත් මාත්‍රාව අඩු වැඩි කරන්න උදව් කරගන්නත් ඇදුම ඩයරිය හරි වැදගත්.

ඒක හරිම සරලයි. පහළ ලියලා තියෙන්නේ එහෙම ලියපු ඇදුම ඩයරියක්.

ඇදුම තියෙන දරුවෙක් ගෙදර ඉද්දී අම්මා විශේෂයෙන් සැළකිලිමත් වෙන්න ඕනෑ කරුණු මොනවාද ?

ගෙදර වහල, බිම දූවිලි රැදෙන ආකාරයේ නොවිය යුතුයි. ඒ කියන්නේ නිතරම බිම දූවිලි ඉවත්කර පිරිසිදු කර තියාගන්න ඕනෑ. කටු සිමෙන්ති පොළවක් නම්, අඩුම තරමින් කාපට් එකක් හෝ අතුරා ගැනීම වැදගත්. සිවිලිමක් නැතිනම් රෙදි වියනක් යොදාගෙන හෝ වහලයේ ඇති දූවිලි මකුළුදැල් දරුවා හා ගැටීම වළක්වාගත හැකියි.

ඇද ඇතිරිලි කොට්ට උර දවස් 3 – 4 කට වතාවක් වත් සෝදා හොඳින් අව්වේ වියලා ගැනීම වැදගත්. මදුරු දැල් භාවිතා කරන්නේ නම් සති දෙකකට වතාවක් වත් ඒවාද සෝදා පිරිසිදු කරනවා යුතුයි.

දූවිලි පිරෙන ටෙඩියන් හැකිතාක් දරුවාට නොදීම වැදගත්. බල්ලන් පූසන් වඩාගෙන සුරතල් කිරීම අවම කිරීමත් වැදගත්

ඒ වගේම ඔබේ දරුවාට ඇදුම අලුත් විය හැකි බාහිර සාධක උදා- සීතල, දූවිලි, මකුළු දැල්, මල් රේණු අම්මාට හැකි අයුරින් හඳුනාගැනීමෙන් දරුවා ඒ සාධක වලින් ඈත්කර තබාගෙන ඇදුම යලි යලි හට ගැනීම අවම කරගන්න පුළුවන්.

නිසි ආකාරයෙන් ඇදුම පාලනය කරගැනීම වැදගත් වන්නේ ඇයි.

ඇදුම පාලනය සඳහා ලබාදෙන උපදෙස් නිසි ආකාරයෙන්ම පිළිපැදීම සහ නිවරදි ආකාරයෙන් ඉන්හේලර් භාවිතා කිරීම මඟින් ඇදුම ඉතා හොඳින් පාලනය කරන්න පුළුවන්. එසේ නොකළහොත් දීර්ඝකාලීන ශ්වසන අපහසුතා ඇති වීමටත් යලි යථා තත්ත්වයට පත්නොවන ආකාරයේ ශ්වසන පද්ධතියට හානි වීමත් අවාසනාවන්ත ලෙස සිදුවෙන්න පුළුවන්.

ඉතින් මේ පැහැදිලි කළ කාරණා එක්ක ඇදුම රෝගයෙන් ඔබේ දරුවාට අනිසි පීඩාවක් ඇති නොවීමට කටයුතු කිරීම අපේ ආදරණීය දෙමාපියන්ගේ වගකීමක්.