free stats

ජීවිතයේ එක් වතාවක් හෝ මුත්‍රා අසාදනයක් ඇති නොවුන කාන්තාවක් හොයාගන්නට නැති තරම්ය. ගර්භණී කාලයේදී සිදුවන විවිධ ශාරීරික, හොමෝනමය වෙනස්කම් නිසා මුත්‍රා ආසාදන හැදෙන්න තියෙන ඉඩකඩ තවත් වැඩි වෙනවා. සාමාන්‍ය කාන්තාවකට වඩා ගර්භණී කාන්තාවක් මුත්‍රා ආසාදන පිළිබඳ බොහෝ සැලකිලිමත් වෙන්න ඕනෑ. ඒකට හේතුව තමයි ගර්භණී සමයේ මුත්‍රා ආසාදන නිසා ඔබේ කුසේ වැඩෙන දරුවාට අහිතකර බලපෑම් වෙන්න පුළුවන් නිසා.

මෙසේ ගර්භණී කාලයේ ඇතිවන මුත්‍රා ආසාදන වර්ග 03 ක් තියෙනවා.

01. Asymptomatic Bacteuria ලෙසින් හඳුන්වන තත්ත්වයේදී ගර්භණී මවට කිසිදු රෝග ලක්‍ෂණයක් පෙන්නුම් කරන්නෑ. ඇය සාමාන්‍ය සෞඛ්‍ය තත්ත්වයකින් පසුවෙනවා. නමුත් ඇගේ මුත්‍රා මාර්ගයේ බැක්ටීරියා වර්ධනය වෙනවා. ඒ නිසා කිසිදු රෝග ලක්‍ෂණයක් නොපෙන්නුවත් තමන්ගේ පළමු ගර්භණී සායනයේදීම මුත්‍රා සාම්පලයක් පරීක්‍ෂා කර ගැනීම ඉතා වැදගත්. මුත්‍රා ආසාදන පැවතීම ඉතා පහසුවෙන් මඟ හරෙන නමුත් භයානක ප්‍රථිඵල ගෙන දෙන්නට පුළුවන්.

02. Acute Cystitis ගර්භණී කාන්තාවක් සෑම සිය දෙනෙකුගෙන්ම එක් අයෙක් මේ තත්ත්වයට මුහුණ දෙනවා. කලින් කතාකළ අවස්ථාවේදී වගේ නෙවෙයි. මෙහිදී මුත්‍රා පිට කිරීමේදී වේදනාව/දැවිල්ල, නිතර නිරතර මුත්‍රා පිටවීම, මුත්‍රා පිට කිරීමට අවශ්‍ය වූ විට දරාගෙන සිටීමේ අපහසුව යටිබඩ වේදනාව රතු පැහැයට මුත්‍රා පිටවීම වැනි රෝග ලක්‍ෂණ ඇතිවෙනවා.

මෙහිදී රෝග ලක්‍ෂණ මතුවීම නිසාත් මෙය වේදනාකාරී තත්ත්වයක් නිසාත් ගර්භණී මව්වරුන් වෛද්‍ය උපදෙස් වෙත යොමු වෙනවා. එවිටද මුත්‍රා සාම්පල දෙකක් පරීක්‍ෂා කරනවා. ඉන් එකක් UFR (Urine Full Report) ලෙස හඳුන්වන අතර එහිදී මුත්‍රා සාම්පලයේ ඒ මොහොතේ ඇති ජීවීන්, සෛල ප්‍රෝටීන පිළිබඳ වාර්තාවක් ලැබෙනවා. අනිත් සාම්පලය Urine culture ලෙස හඳුන්වන අතර එහිදී මුත්‍රා සම්පලයක් වගා මාධ්‍යයකට එකතු කරලා එහි ක්‍ෂුද්‍ර ජීවීන් වර්ධනය වෙනවද කියලා බලනවා. මේ පළමු මුත්‍රා පරීක්‍ෂණය පැය කිහිපයකින් සිදු කරලා වාර්තාව ගන්න පුළුවන්. දෙවැනි පරීක්‍ෂණයට අඩුම තරමේ දවසක්වත් යනවා. මේ Cystitis කියන තත්ත්වයට නම් අඩුම තරමින් සතියක් වත් ප්‍රතිජීවක ඖෂධ(Antibiotrcs) පානය කරන්න වෙනවා.

03. මුත්‍රා ආසාදන වර්ග තුනින් බරපතලම ආකාරය තමයි Pyelonephritis කියන්නේ. මේ තත්ත්වය ඇති වුණහම උණ, වේව්ලීම, අප්පිරියාව, වමනය, කොන්ද අමාරුව ඇතිවෙනවා. මෙය සිද්ධ වෙන්නේ මුත්‍රාවල විෂබීජය වකුගඩු දක්වාම ගමන් කලාම. මේ තත්ත්වය ඇති වුණොතින් නම් බොහෝවිට රෝහලේ නැවතිලාම ප්‍රතිකාර ගන්නට සිදුවෙනවා. මේ තත්ත්වයට බොන බෙහෙත් ප්‍රමාණවත් නැහැ. සතියක් දෙකක් හෝ ඇතැම්විට සති තුනක් පමණ බෙහෙත් විදීමෙන් තමයි මේ තත්ත්වය සුව කරගන්න පුළුවන්.

දැන් අම්මලා හිතනවා ඇති ගර්භණී කාලයේ මුත්‍රා ආසාදන ගැන අපි මේ තරම් වදවෙන්නේ ඇයි කියලා.

අම්මා දන්නවද ගර්භණී කාලයේ ඉහත විස්තර කළ ආකාර තුනෙන් ඕනෑම අකාරයක මුත්‍රා ආසාදනයක් ඇති වුණොත්

අම්මාට
1 සති ගණන පිරෙන්න කලින්, (අඩු මාසෙන්) බබා හම්බවෙන්න පුළුවන්.
2 අධි රුධිර පීඩනය වලිප්පුව වගේ තත්ත්ව ඇති වෙන්න පුළුවන්.
3 නීරක්තිය ඇතිවෙන්න පුළුවන්
4 වැදැමහට හෝ ගර්භාෂයේ තරලයට විෂබීජ ඇතුළු වෙන්න පුළුවන්.

බබාට
1 අඩු බර නොමේරූ දරුවෙක් ලෙස ඉපදෙන්න ඉඩ තිබෙනවා.
2 දරුවාගේ මානසික වර්ධනය සහ ක්‍රියාකාරකම් අඩුවෙන්න පුළුවන්.
3 දරුවා අවාසනාවන්ත ලෙස ගර්භාෂය තුළදීම මිය යන්න පුළුවන්.

හැබැයි ඔය සේරම වෙන්නේ මුත්‍රා ආසාදනයට ප්‍රතිකාර නොගත්තොත් තමයි. හරියට ප්‍රතිකාර ගත්තොත් සාමාන්‍ය කැස්ස හෙම්බිරිස්සාවක් වගේ සුව කරගන්න පුළුවන්.

මුත්‍රා ආසාදන හැදෙන්නේ ඇයි? ඒක අම්මලාට මීළඟ තියෙන ප්‍රශ්න

1. ගර්භණී කාලයේ ඇතිවන ශාරීරික සහ හෝමෝනමය වෙනස්කම් බොහෝමයි. මේවායෙන් අම්මාගේ මුත්‍රා මාර්ගයේ ඇතිවෙන වෙනස්කම් පහසුවෙන් මුත්‍රා ආසාදන ඇති වීමට උදව් වෙනවා.

2. ගර්භණී කාන්තාවන් සෑම සිය දෙනෙකුගෙන් හැත්තෑ දෙනෙකුටම මුත්‍රා සමඟ සීනි පිටවෙන්න පුළුවන්. ඉතින් මුත්‍රා මාර්ගයේ රැදීමත් බැක්ටීරියා වර්ධනයට සහ මුත්‍රා ආසාදන ඇති වීමට හේතුවක්.

3. ලිංගික සංසර්ගයේදී සම මතුපිට ඇති විෂබීජ යෝනි මාර්ගයට ඇතුළු වීමත්, මුත්‍රා මාර්ගයේ අග කොටසෙහි සෛල තුවාල වීමත් මුත්‍රා ආසාදනය ඇති වීමට බලපාන ප්‍රධාන සාධකයක්.

4. ඒ වගේම ගර්භණී සමයේ ඉදිරියට නෙරා එන කුස නිසා මුත්‍රා කරන ප්‍රදේශය හොඳින් සෝදා පිරිසිදු කර ගැනීමට අපහසු වීමත් මලපහ කිරීමෙන් පසු වැරදි ආකාරයට පිරිසිදු කිරීම නිසා මළ පහෙහි සිටින විෂබීජ මුත්‍රා මාර්ගයට ඇතුළු වීමත් මුත්‍රා ආසාදන ඇති වීමට බලපාන්න පුළුවන්.

අද ලිපියේ වැදගත්ම කොටස තමයි මේ ලියන්න යන්නේ.

මුත්‍රා ආසාදනයක් ඇති වීම වළක්වා ගන්නේ කොහොමද?

  1. හොඳින් වතුර බොන්න.
  2. මළපහ කිරීමෙන් පසුව ඉදිරියේ සිට පසුපසට සෝදා හරින්න.
  3. යට ඇඳුම් හොඳින් සෝදා අවුවේ වියලා භාවිතයට ගන්න.
  4. එකම යට ඇඳුම දීර්ඝ වේලාවක් හැඳ සිටීම අවම කරන්න.
  5. ලිංගික සංසර්ගයට පෙර සැමියා සහ බිරිඳ යන දෙදෙනාම තම
    ලිංගික අවයව හොඳින් සබන් යොදා සෝදන්න. ලිංගික සංසර්ගයට පසුවත් දෙදෙනාම හොඳින් ලිංගික අවයව සහ මුත්‍රා කරන ප්‍රදේශය සෝදාගන්න. (ලිංගික සංසර්ගයට පසු මුත්‍රා කිරීම මගින් මුත්‍රා මාර්ගයට එවේලේ ඇතුළු වූ විෂබීජ සෝදා හැරිය හැක.)
  6. ඔබට මුත්‍රා ආසාදනයක් ඇති වූ විට ඔබේ වෛද්‍යවරයා නිර්දේශ කරන ප්‍රතිජීවක ඖෂධ අදාල දින ගණන සම්පූර්ණ වනතුරුම නොනවත්වා පානය කරන්න. එසේ නැත්නම් අඩපණ වූ බැක්ටීරියා යලි ක්‍රියාත්මක වී ඔබට දෙවන වරටත් මුත්‍රා ආසාදනය ඇති විය හැක.

මුත්‍රා ආසාදනයක් වැනි ප්‍රතිකාර මගින් නිට්ටාවටම සුව කළ හැකි තත්ත්වයක් නොසලකා හැර ඔබේ දසමසක කිරි කැටි සිහිනය බොද වෙන්නට ඉඩ නොදෙන්න. අනිවාර්යෙන්ම, ගර්භණී වූ වහාම කිසිම රෝග ලක්‍ෂණයක් නොමැති වුවද මුත්‍රා සාම්පලයක් පරීක්‍ෂා කර ගන්න. ගර්භණී කාලයේ සුළු මුත්‍රා දැවිල්ලක් වත් සුලුවෙන් නොතකන්න. වහාම ඔබේ වෛද්‍යවරයා හමුවන්න.

වෛද්‍ය සුදන්ති අනුරුද්ධිකා සූරියහෙට්ටි